පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් යෝජනා කිරීම හා 'අපි විසඳුමක් නො දෙන්නෙමු' යන ප්‍රකාශය කිරීම අතර වෙනසක් නැත

(2011 ජුලි 04, W3Lanka) ජාතීන්ගේ ප්‍රශ්නය විසඳීම සඳහා බව කියන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පත් කිරීම සඳහා වන යෝජනාව මේ සතියේ සභානායක නිමල් සිරිපාල ද සිල්වා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නට යන බව ආණ්ඩුවට සමීප ආරංචි මාර්ග කියයි. 


යෝජනාව ඉදිරිපත් කරන නිමල් සිරිපාල ද සිල්වා දැන් දෙමළ ජාතික සන්ධානය සමග සාකච්ඡා පවත්වමින් සිටින රජයේ නියෝජිත පිරිසේ  ද සාමාජිකයෙකි. 


මෙම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට මන්ත්‍රීන් 31ක් ඇතුළත් කිරීමට සැලසුම් කර තිබේ. ඒ අනුව, එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන කුඩා පක්ෂවලට එකකට එක ආසනය බැගින් ලබා දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආසන හතරක් දී සමස්තයක් ලෙස ආණ්ඩු පක්ෂයට ආසන 19ක් ද විපක්‍ෂයට ආසන 12ක් ද ලබා දීමට නියමිත ය. 


ජාතීන්ගේ ප්‍රශ්නය විසඳීම සඳහා මෙම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව යෝජනා කරන ඕනෑම දෙයක් ක්‍රියාත්මක කිරීමට සූදානම් බව ජනාධිපතිවරයා පවසා තිබේ.  2005දී ජාතීන්ගේ ප්‍රශ්නයට විසඳුම් දසවීම සඳහා ය කියමින් සර්ව පාක්ෂික සම්මේලනයක් කැඳවූ අවස්ථාවේදී ද ජනාධිපත්වරයා එසේ කීවේ ය. 


සර්ව පාක්ෂික සමුළුව විසින් පත් කරන ලද ගැටුම් නිරාකරණය පිළිබඳ හා ව්‍යවස්ථා සම්පාදනය පිළිබඳ විද්වත් මණ්ඩලය විසින් ඉතා හොඳ යෝජනාවලියක් සකස් කරන ලදී. එහෙත්, හෙළ උරුමය වැනි ජාතිවාදී පක්ෂවල විරෝධය හමුවේ එය කුණු කූඩයට දැමූ ජනාධිපතිවරයා එම කමිටුව ද විසුරුවා හැර විද්වතුන් නො වන සර්ව පාක්ෂික නියෝජිත කමිටුවක් ඔස්සේ මේ ජාතීන්ගේ ප්‍රශ්නය විසඳීමට යයි බොරුවට සාකච්ඡා පවත්වමින් යුද්ධය සඳහා කල් ගත්තේ ය.  


ජනාධිපතිවරයාගේ මේ කල් ගැනීමේ උපාය ක්‍රියාත්මක කළේ මාක්ස්වාදියකු හා මානව හිතවාදියකු ලෙස තමන් හඳුන්වා ගන්නා සමසමාජ නායක මහාචාර්ය තිස්ස විතාරණ වීම අතිශය කණගාටුදායක තත්වයකි. සමසමාජ කොඩිය රතු වී ඇත්තේ ජාතීන්ගේ ප්‍රශ්නයට විසඳුම් දීම සඳහා ක්‍රියාමාර්ග නො ගැනීම නිසා විනාශ වූ සිංහල දෙමළ ජීවිතවල රුධිරයෙනි. 


දැන් නැවතත් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට ගෙන ඇති පියවර ද තවත් කල් ගැනීමේ උපාය මාර්ගයකි. එයට විරුද්ධ පක්ෂ සහභාගි නො වන තරමට ආණ්ඩුවට හොද ය. එවිට වැඩියෙන් කල් ගැනීමට හා අවසානයේදී එය යමක් යෝජනා කරන විට එය අවලංගු කාසියක තත්වයට පත් කිරීමට පුළුවන. 


ආණ්ඩුව කියන පරිදි මෙම කල් ගැනීමේ උපාය මාර්ගයට ඉන්දීය මධ්‍යම රජයේ අනුග්‍රහය ලැබේ. ආණ්ඩුව පසුගියදා ලංකාවට පැමිණි ඉහළ පෙළේ ඉන්දීය දූත පිරිසට මේ බව කියා ඇත.


ලංකාවේත්, ඉන්දියාවේත් ආණ්ඩු දෙමළ ජනයාගේ ජීවිත මතින් කරන මෙම ක්‍රීඩාව අතිශය භයානක එකකි. ආණ්ඩුව මේ ක්‍රියාත්මක කරන්නේ ජාතීන්ගේ ප්‍රශ්නයට විසඳුම් ලබා දීමට ඇති නො කැමැත්ත වසා ගැනීමේ උපායක් බව මුළු ලෝකය ම අවබෝධ කර ගෙන ඇත. 


මෙයින් සිදු වන්නේ දෙමළ ජනයාගේ ඉල්ලීම්වල යුක්ති යුක්තභාවයට ජාත්‍යන්තර පිළිගැනීම වැඩි වීමයි. සිංහල අධිපතිවාදී රාජ්‍යය ව්‍යූහාත්මකව වෙනස් කිරීමේ නො කැමැත්තක් රජය හා බහුතර සිංහල ජනතාව ප්‍රදර්ශනය කරන විට, දෙමළ ජනයාට සාධාරණය ඉටු කර දීම සඳහා ජාත්‍යන්තර මැදිහත්වීමක් කිරීම වඩා සාධාරණ වේ. ඉන්දියාව වුව මේ තත්වයට කැමැත්තක් දක්වනවා ඇත. ඔවුන් ජනාධිපති මහින්ද රාජපක්ෂගේ කල් ගැනීමේ උපායට සහාය දක්වන්නේ ඒ නිසා විය හැකි ය. 


ආණ්ඩුව කල් ගන්නේ කුමක් සඳහා ද? ණය බර උග්‍ර වීම හා දැවැන්ත 'සංවර්ධන' යෝජනා ක්‍රමවලින් ප්‍රතිලාභ නො ලැබීම නිසා ආණ්ඩුව මුල්‍යමය වශයෙන් තව තවත් අසීරු තත්වයකට පත්වන තුරු ය. අධික බදු පැනවීම හා වැඩ කරන ජනයාගේ මූර්ත වැටුප් පහළ වැටීම නිසා ආණ්ඩුවේ ජනප්‍රියත්වය තවත් පහළ වැටෙන තුරු ය. දූෂණ අක්‍රමිකතා තවත් ඉහළ ගොස් ජනතාවට මේ ආණ්ඩුව එපා වන තුරු ය. යුද අපරාධ චෝදනා ආදිය හේතුවෙන් ජාත්‍යන්තර දේශපාල‍නයේදී කරවටක් එරී සිටින ආණ්ඩුවේ නහයට උඩින් ද වතුර ගලා යන තුරු ය. රටින් පිට සිටින දෙමළ සංවිධාන සිය ඊලාම්වාදී සටන තවත් තීව්‍ර කරන තුරු ය. ලංකාවේ ප්‍රශ්නයට ජාත්‍යන්තර මැදිහත් වීමක් සිදු වන්නට ඔන්න මෙන්න තත්වයක් ඇති වන තුරු ය. 


‍කෙටියෙන් කීවොත්, ජාතීන්ගේ ප්‍රශ්නය විසඳීම සඳහා කිසිදු තීරණාත්මක පියවරක් ගැනීමට ශක්තියක් ආණ්ඩුවට නැති වන තුරු ය. 


මෙම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට ආණ්ඩු සන්ධානයේ පක්ෂ ටික හැර විපක්ෂයේ වෙනත් කිසිදු පක්ෂයක් සම්බන්ධ වේ යයි ද බලාපොරොත්තු විය නො හැකි ය.


පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් යෝජනා කිරීම හා 'අපි විසඳුමක් නො දෙන්නෙමු' යන ප්‍රකාශය කිරීම අතර වෙනසක් නැත.  


ආණ්ඩුව ලෑස්ති වෙන්නේ රට බෙදන්නට අවශ්‍ය පසුබිම තහවුරු කරන්නට ය. සැබෑ දේශප්‍රේමීන් දැන්වත් අවදි විය යුතු ය. 


ලංකාව එක් රාජ්‍යයක් ලෙස පැවතිය යුතු ය. ඒ සඳහා ජාතීන් අතර යහපත් සහජීවනයක් තිබිය යුතු ය. එය ඇති කළ හැක්කේ වාර්ගික සීමා අතික්‍රමණය කළ ලාංකීය ජාතිය ගොඩනැඟීම සඳහා කරන අරගලයකිනි. සුළුතර ජාතීන් ශක්තිමත් වන අන්දමින් සිංහලයා ඔවුන් සමග බලය බෙදා ගැනීම ඒ සඳහා මූලික කොන්දේසියකි. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා