ලංකාවේ නාවික හමුදාව සමග චීනුන් ඇතැයි කතාවකට ඉන්දීය අවධානය


(2009 නොවැම්බර් 03 - W3Lanka) ලංකාවේ නාවික හමුදාවත් සමග චීන ජාතිකයන් සිටින බවට දකුණු ඉන්දියාවේ රාමනාදපුරම් ධීවරයන් කර ඇති ප්‍රකාශත් සමග ඉන්දීය මාධ්‍ය අවධානය ඒ කෙරෙහි යොමු වී තිබේ. 

ලංකාවේ නාවික හමුදාව ගැඹුරු මුහුදේදී තමනට පහර දුන් බව පවසන මෙම ධීවරයෝ එහිදී ලංකාවේ නාවික හමුදාව සමග එම නිල ඇඳුමෙන් සැරසුණු චීන හැඩරුව ඇති අය සිටින බව ද පවසා තිබේ. 

මෙම ප්‍රකාශ තහවුරු වී නැතිමුත් ජනමාධ්‍ය විසින් මෙම තත්වය ඉන්දීය ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බව පෙන්වා දී තිබේ. චීනයත් ඉන්දියාවත් අතර කලාපීය ආධිපත්‍යය වෙනුවෙන් බල අරගලයක් ඇත.



1962දී දේශසීමා ප‍්‍රශ්නයක් මත චීනය ඉන්දියාව සමග යුද වැදුණේය.  ඉන්දීය උපායික විශේෂඥයන් වර්තමානයේදී පෙන්වා දෙන්නේ අනාගත ගැටුම්වල සැබෑ රණබිම වන්නේ ඉන්දීය උප මහාද්වීපය වටා ඇති මුහුද බවයි. 

ලෝකයේ සමුද්‍ර වෙළඳාමෙන් අඩක් පමණ සිදු වන්නේ ඉන්දීය සාගරය හරහායි. එයට මුහුණ ලා පිහිටි රටවල් ලෝකයේ තෙල් සම්පත්වලින් 60%කට වඩා සහ ගෑස් සංචිතවලින් තුනෙන් දෙකකට උරුම කියති. විශේෂයෙන්ම අප‍්‍රිකාවෙන් සිය රටට අවශ්‍ය දැවැන්ත තෙල් සහ ස්වාභාවික සම්පත් සැපයුම තහවුරු කරගැනීම සඳහා මලක්කා සමුද්‍ර සන්ධියේ සිට ශුභ ප‍්‍රාර්ථනා තුඩුව දක්වා ඉන්දීය සාගර පරිධිය ඔස්සේ මුතු පොටක් වන් වරාය ජාලයක් ඉදි කිරීම සඳහා චීනය කටයුතු කරමින් සිටියි. ඒවා පිහිටි ඇතැම් රටවල් ඉන්දීය බලපෑම් රාමුව තුළ පිහිටි ඒවායි. චීන ආධාර මත ඉදි වන ලංකාවේ හම්බන්තොට වරාය ද මෙම පොටේ එක් මුතු ඇටයක් වන අතර එය ඉන්දියාවේ විශේෂ අවධානයට ලක් වී තිබේ. පාකිස්තානයේ ග්වඩාර්හි ද මෙවැනි තවත් වරායක් ඉදි වෙමින් තිබේ. අවසානයේදී ඉන්දීය සන්නිවේදන හා නැව් මාර්ග අඩාල කළ හැකි වැදගත් නාවික මර්මස්ථාන කීපයක චීනය ස්ථානගත වේ.

මේ අතර ඉන්දීය නාවික හමුදාව ද සිය බලය නවීකරණය කරගන්නට පටන් ගෙන තිබේ. ජුලි මාසයේදී ප‍්‍රථම න්‍යෂ්ඨික සබ්මැරීනය දියත් කළ ඉන්දියාව රුසියාවෙන් හා එක්සත් ජනපදයෙන් අලූත් ප‍්‍රහාරක යාත‍්‍රා මිළ දී ගත්තේය. එහෙත්, චීනයට ඇත්තේ ගුවන් යානා ගෙන යා හැකි යාත‍්‍රා තැනීම හා සබ්මැරීන් බලකාය වැඩිදියුණු කිරීම වැනි ඉන්දියාවට වඩා බොහෝ දුර ගිය සැලසුම්ය.


මුරුසිය, සීෂෙල්ස්, මැඩගස්කරය, මාලදිවයින වැනි දූපත් රාජ්‍ය සමග ආරක්ෂක සබඳතා වර්ධනය කර ගත් ඉන්දියාව චීනයේ වර්ධනය නොරුස්සන ජපානය හා වියට්නාමය වැනි රටවල් සමග නාවික අභ්‍යාස පවත්වා තිබේ. එහෙත්, චීනය ද මේ බොහෝ රටවල් සමග දැඩි සබඳතා පවත්වන අතර දුප්පත් ඉන්දියාවට සැපයිය හැකි දේවලට වඩා එම රටවලට පිරිනමයි.

Comments

Popular posts from this blog

දීප්ති කුමාර ගුනරත්න යනු මොකක්ද?

මාතර දෙයියන්ගෙ හාල්වලින් පිසූ බත් දන්සැල

කෙනෙකුට පොන්නයා කියා කියන්නට පෙර දෙවරක් සිතන්න