යළි පදිංචි කරන ලද ජනයා වෙත සේවා සපයන්න ඉඩ දෙන්න - සිවිල් සමාජ සංවිධානයක් ඉල්ලයි



(2009 නොවැම්බර් 13 - W3Lanka) රජය විසින් යළි පදිංචි කරමින් සිටින උතුරේ අවතැන් වූ ජනයා වෙනුවෙන් සේවා සැපයීමට එම කාර්යයන්හි පළපුරුදු රාජ්‍ය නො වන සංවිධානවලට අවස්ථාව ලබා දෙන ලෙස ජාතික සාම මණ්ඩලය රජයෙන් ඉල්ලීමක් කරයි. 

නිල වාර්තා අනුව 130,000ක් පමණ අවතැන් වූ ජනයා ඥාතීන්ගේ හෝ හිස් නිවෙස්වල පදිංචි කර ඇති බව පෙන්වා දෙන ජාතික සාම මණ්ඩලය මෙම තාවකාලික පියවර මගින් ඔවුන්ගේ දීර්ඝ කාලීන ගැටළුවලට විසඳුම් නො ලැබෙන බව ද ඔවුන් යළි තම ගම්බිම්වල පදිංචි කළ යුතු බව ද ‍පවසයි. 


රජයේ යළි පදිංචි කිරීම් පිළිබඳ අසුබවාදී අදහස් රැගත් වාර්තා ජාත්‍යන්තරව පළ වීම ආරම්භ වී තිබේ. පසුගියදා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පළ වූ වාර්තාවකට අනුව, රජය අවතැන් වූ ජනයා යළි සිය ගම් බිම්වල පදිංචි කිරීම වෙනුවට කුඩා කඳවුරුවල නැවත රැඳවීම කරන බවට චෝදනාවක් එල්ල කරන ලදී. මෙමගින් ජාත්‍යන්තර පීඩනය මගහැරවීම, විශාල අවතැන් ජනගහණයක් දීර්ඝ කාලයක් තිස්සේ එකට රැඳී සිටියදී ඇති වන පාලනයට එරෙහි ආතති කළමනාකරනය කර ගැනීම පමණක් නොව ඉදිරි මැතිවරණවලදී මෙම අවතැන් වූවන්‍ අතර ඡන්ද ව්‍යාපාර වාසියට හරවා ගැනීම මෙහි අරමුණ බව වාර්තාවල සඳහන් වී තිබිණි. 

යළි පදිංචි කරන ලද අවතැන් වූවන්ගේ ජන ජීවිතය පිළිබඳ ස්වාධීන වාර්තා කිසිවක් මෙතෙක් පළ වී නැත.


කෙසේ වෙතත්, රජය මේ වන විට සාමාන්‍ය ජන ජීවිතය යළි ඇති කිරීමේ යම් ක්‍රියාමාර්ග ගනිමින් සිටියි. දීර්ථ කාලයක් තිස්සේ වසා තිබුණු ඒ-9 මාර්ගය ද විවෘත කිරීමට ආරක්ෂක ලේකම්වරයා අවසර ලබා දී තිබෙන බව අද දිනමිණ පුවත්පත වාර්තා කළේ ය.



Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා