අලූත් ශී‍්‍ර ලංකාවේ දෙමළ ජනයාගේ ඉරණම - ද්වාරකාට සිරගෙදර - කරුණලාට ඇමැතිකම්


අන්තර්විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු උදුල් පේ‍්‍රමරත්න (උපුටා ගැනීම ලංකා පුවත්පතෙනි) -


දිනය පසුගිය බ‍්‍රහස්පතින්දාය වේලාව හරියටම සවස දෙක පසුවී විනාඩි 5කි. ද්වාරකා කඩිනමින් භූගෝල විද්‍යා දේශන ශාලාවෙන් පිටතට පැමිණියේ ඊළඟ දේශනයට සහභාගී විමට යෑමේ අපේක්ෂාවෙනි.
 
"ඒයි ඔහොම නවතිනවා"
 
කාලෙකින් නෑසුණු විධානයක් එකවරම ද්වාරකාගේ පිටුපසින් ඇසුණි.
 
"එනවා යන්න අපි එක්ක"
 
අනුකම්පා විරහිත දෙවන විධානයත් නැගුණා. ඊළඟ මොහොතේ ද්වාරකා  හිටියේ ඒ විධානය දුන් පිරිස පැමිණි ජීප් රථයේ. එය කළු දුමාරයක් විතරක් ඉතිරි කරලා වේගයෙන් කොළඹ දෙසට ඉගිළ ගියා.
 
මේ අසුන්දර සිදුවීම සිද්ධ වුණේ සුන්දර පේරාදෙණිය විශ්වවිද්‍යාල භූමියේදී. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත‍්‍රපීඨයේ දෙවන වසර ශිෂ්‍යාවක් මේ අයුරින් හදිසියේ පැහැරගෙන යාම පිළිබඳව සිසුහු බොහෝ කලබල වූහ.
 
වහාම උපකුලපතිවරයා හමුවීමට ගොස් මේ පිළිබඳ විමසුවද ඵලක් නොවූයේ ඔහු මේ පිළිබඳව කිසිවකුත් නොදත් නිසාය. නියෝජ්‍ය උපකුලපතිවරයා හා විනය පාලකවරයාගේද තත්වය එසේම විය. පසුව සිසුහු පේරාදෙණිය පොලිසියට ගියහ. ඔවුන් පැවැසුවේ "TID"ය හෝ "CID"ය මඟින් රැගෙන ගිය බවයි. නමුත් TID යෙන් හා CID යෙන් දුරකථනය මඟින් විමසූ කල ලබාදුන් පිළිතුරු වූයේ එවැනි කිසිදු අත්අඩංගුවට ගැනීමක් තමන් විසින් සිදු නොකළ බවයි. ඉන් පසු වැඩිදුර සොයාබැලීමේ දී හෙළි වූයේ ත‍්‍රස්ත විමර්ශන අංශයේ රඳවා සිටින බවයි.
 
මෙය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම "පැහැරගෙන යාමකි"ත‍්‍රස්ත විමර්ශන අංශයක්  විසින් යමෙකු අත්අඩංගුවට ගැනීමට සූදානම් වන්නේ නම්, ඒ පිළිබඳ උපකුලපතිටත් මහා ශිෂ්‍ය සංගමයටත් පවසා අඬබෙර ගසා පැමිණිය යුතුයැයි අපි නොපවසමු. නමුත් මෙවැනි අත්අඩංගුවට ගැනීමකදී අනුගමනය කළ යුතු අවම කි‍්‍රයාපටිපාටියක් ඇත.
 
මූලිකම කාරණාවක් ලෙස තමා කවර චෝදනාවකට අත්අඩංගුවට ගන්නේද යන්න පිළිබඳ එම තැනැත්තා දැනුවත් කළ යුතුය. එය විශ්ව ප‍්‍රකාශනයේ පිළිගත් මානව අයිතිවාසිකමකි. එසේම යම් ආයතනයක කෙනෙකු මේ අයුරින් අත්අඩංගුවට ගත් විට අඩුම තරමේ එම කි‍්‍රයාවෙන් පසුව හෝ ඒ පිළිබඳව ආයතන ප‍්‍රධානියා ද දැනුවත් කළ යුතු වේ. නමුත් මෙහිදී ඒ කිසිවක් සිදුව නැත. හැම දෙනා වෙතම පැවැතියේ භයානක නිහ`ඩතාවකි.
 
ඒ අයුරින් මේ අත්අඩංගුවට ගැනීම් කි‍්‍රයාවලියේ කි‍්‍රයාපටිපාටියක වැරැද්දක් ඇත.L.T.T.E. සංවිධානය යුදමය වශයෙන් පරාජය කර ඇති මේ මොහොතේ L.T.T.E. සංවිධානයේ සිටි සාමාජිකයන් යැයි චෝදනා කරමින් දෙමළ ජාතිකයන්වීම නිසා තරුණ තරුණියන් හිතුමතේට අත්අඩංගුවට ගැනීම නවතා දැමිය යුතුයි. සැකකරුවන් පිළිබඳව නිසි පරික්ෂණ නොකොට සිදුවන මෙවැනි පැහැරගැනීම් අවසන් කළ යුතුය.
පේරාදෙණියේදී මේ අයුරින් පැහැරගත් ද්වාරකාටද චෝදනා කොට ඇත්තේ ඇය L.T.T.E. සංවිධානයේ පුහුණුව ලබා ඇති බවට හා බෝම්බ හා පුපුරන ද්‍රව්‍ය ප‍්‍රවාහනය කර ඇතිබවටය.
 
ද්වාරකාගේ ගම කිලිනොච්චියයි. ඇගේ පවුලේ මව හා පියා හැරුණු කොට ඇයට වැඩිමහල් සහෝදරියකද, බාල සහෝදරයකු හා සහෝදරියක්ද සිටී. ඇය උපන්දා සිටම කිලිනොච්චිය තිබුණේ L.T.T.E.පාලනය යටතේය. L.T.T.E. සංවිධානය විසින් පනවා තිබූ නිතිරීතිවලට අනුව එම පාලන ප‍්‍රදේශවල වාසය කරන සෑම පවුලකින්ම එක් සාමාජිකයෙකු තම සංවිධානයට බැඳිය යුතු විය.
 
එම නිසා ද්වාරකාගේ පවුලේ සාමාජිකයන් -ගෙන්ද ඇය හෝ ඇගේ අක්කා හෝ නංගී හෝ මල්ලී අනිවාර්යයෙන්ම එවකට L.T.T.E.යේ නියෝගයට යටත් වන්නට ඇත. එම නිසා ද්වාරකා බොහෝ විට L.T.T.E. සාමාජිකාවක් ද නැද්ද යන්න විවාදාත්මකය.
 
L.T.T.E. සාමාජිකාවක් වූ පසු අල, ලූනු භාරදෙන්නේ නැත. භාරදෙන්නේ බෝම්බ ප‍්‍රවාහනය කිරීමටය. නැතහොත් මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල ප‍්‍රවාහනය කිරීමටය. එම නියෝග ඉටු නොකළොත් ලක්වීමට සිදු වූයේ කවර ඉරණමකටද?. භයානක දඬුවම්වලට ලක්වීමට සිදු විය. නැතහොත් මුළු පවුලම මරා දැමුණු අවස්ථාද විය. දැන් අප මේ කාරණය සාධාරණ ලෙස සිතා බැලිය යුතු නොවේද?
 
ද්වාරකා කිලිනොච්චියේ ඉපදීම ඇයගේ වරදක්ද?. ඒ නිසා ඇයට L.T.T.E. සංවිධානයට බැඳීමට සිදුවීම ඇයගේ වරදක්ද?. එමෙන්ම ඒ හරහා ඇයට බෝම්බ ප‍්‍රවාහනය කිරීමට සිදුවීම ඇයගේ වරදක්ද? දැන් ආණ්ඩුව මේ කිසිවක් නොසලකා ඇය අත්අඩංගුවට ගෙන ඇත. ඒ L.T.T.E. සංවිධානයේ කටයුතු කළ සාමාජිකාවක් බව පවසමිනි.
 
ආණ්ඩුව එසේ L.T.T.E. සංවිධානයේ කටයුතු කළ අය අත්අඩංගුවට ගතයුතු බව පවසන්නේ නම්, මුලින්ම කළයුතු වන්නේ "කරුණා අම්මාන්" අත්අඩංගුවට ගැනීමයි. මන්ද කරුණා අම්මාන් L.T.T.E. යේ නැගෙනහිර ප‍්‍රදේශයේ සන්නද්ධ අංශයේ හිටපු නායකයාය. අහිංසක ගම්වැසියන් සිය ගණනක් ඝාතනය කළ මහා ඝාතකයාය.
 
පොලිසියේ දෙසීයක් පමණ එකවර මරා දැමූ අපරාධකාරයාය. එහෙත් ඔහු අද "ආණ්ඩුවේ දේශපාලන වැසිකිළිය"සේදීමට එකඟවී ඇති නිසා කිසිදු අතුරු ආන්තරාවක් නැත. නඩු නැත. චෝදනා නැත. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉහළ පෙළේ තානාන්තර හිමිය. ඇමැති තනතුරුවල සියලූ වරදාන, වරප‍්‍රාසද හිමිය. හිටපු යුද හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකාටත් වඩා රජයේ ආරක්ෂක හමුදාවන්ගේම ආරක්ෂක බළකායක් හිමිය.
 
නමුත් කරුණා අම්මාන්ලා විසින් බලහත්කාරයෙන් L.T.T.E. යට බඳවාගත් , තුවක්කුව හිසට එල්ලකර, සයනයිඞ් කරල් ගෙලේහි එල්ලූ ද්වාරකාලා අද සිර කඳවුරුවලය. පවුලේ අයෙකු අනිවාර්යයෙන් L.T.T.E.යට බැඳිය යුතු බවට නීති පැනවූයේ කරුණා අම්මාන්ලාය. එසේ නොකළොත් ඔවුන්ගේ පවුල් පිටින් මරා දැම්මේ කරුණා අම්මාන්ලාය. දෙමාපියන් කෑමොර දෙද්දී, ද්වාරකාලා කෙස්වැටියෙන් ඇදගෙන විත් L.T.T.E. වධ කඳවුරුවල ලා බලෙන්ම පුහුණුව දුන්නේ කරුණා අම්මාන්ලාය. රජයේ ආරක්ෂක හමුදාවන්ට සැක නොසිතෙන අයුරින් පහසුවෙන්ම ඉලක්ක වෙත යා හැකි වන පරිදි දෙමළ තරුණියන් "ගැබ්බර" කොට ඒ බඩට යටින් බෝම්බයක් ගැටගසා දකුණේ ඉලක්ක වෙත එව්වේ කරුණා අම්මාන්ලාය.
 
එහෙව් කරුණා අම්මාන්ලා අද මහින්දගේ ඇමැති මණ්ඩලයේය. මරණයට බයේ L.T.T.E. යට බැඳුණු දමිළ යුවතියන් සිරභාරයේය. මෙහි ඇති සාධාරණය කුමක්දැයි අපි ඔබෙන් අසමු. මෙහි ඇති ගැටලූව වන්නේ ද්වාරකාලා සිරකූඩුවල සිර කිරීම පමණක් නොවේ. අපේ රට වසර තිහක් තිස්සේ පීඩාවට පත්කළ ජාතික ගැටලූවසැබෑ ලෙසම විසඳීම සඳහා වනගමනක් වෙනුවට ආණ්ඩුව අතිභයානක වැරදි මඟක, ගමන් කරමින් සිටීමයි.
 
බෙදුම්වාදී, ත‍්‍රස්තවාදී සංවිධානයක් වන L.T.T.E. සංවිධානය බිහිවීම ඉතිහාසයේ අහම්බෙන් සිදුවූවක් නොවේ. දමිළ ජනතාව මත ඔවුන්ගේ ජාතිකත්වයනිසා ඇති වූ පීඩාවත් ඔවුන්ට සාධාරණ අයිතිවාසිකම් හා සමාන අවස්ථා අහිමිවීම නිසා සිදු වූ අසාධාරණයන් විසින් බෙදුම්වාදී සංවිධානයකට බිහිවීමට, වර්ධනය වීමට අවශ්‍ය ඉඩක්නිර්මාණය වී තිබිණි. L.T.T.E. සංවිධානය වර්ධනය වීමට යොදාගත්තේ එම ඉඩයි. එවන් ඉඩක් නිර්මාණය කිරීමේ ඓතිහාසික වැරැද්දට වසර ගණනාවක යුද්ධයකින් අප රටට වන්දි ගෙවීමට සිදුවිය. දැන් තවදුරටත් ආණ්ඩුව සිදු කරමින් සිටින්නේ දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් ලබාදීම වෙනුවට ඔවුන් එළිමහන් සිර කඳවුරු තුළ ගාල් කිරීමය. ඔවුන්ගේ සමාජ ආර්ථික ප‍්‍රශ්න විසඳනු වෙනුවට කරුණා අම්මාන්ලාට පිල්ලෙයාන්ලාට මැති ඇමැතිකම් ලැබේ. දෙමළ තරුණ තරුණියන්ට තවමත් හිමිවන්නේ මර්දනයයි. මෙසේ අයුක්ති සහගත වධ වේදනාවන්ට ලක්වන්නේ සාමය පවතිනවා යැයි කියන වටපිටාවක ය. සාමය මෙය නම් එය වහා වෙනස් කළ යුතු නොවේ ද?
 

Comments

  1. තව ටික කාලයකින් උදුල් පේ‍්‍රමරත්න ඇමති ද්වාරකාල හිරේ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා