ලාංකික නඩුකාරයෝ හයදෙනෙක් ෆීජි රටේ පල් වලක

(2009 නොවැම්බර් 17 - W3Lankaලාංකිකයන් සයදෙනෙක් මේ වන විට මහේස්ත්‍රාත්වරු සිව්දෙනෙක් සහ විනිසුරුවරු දෙදෙනෙක් ලෙස ෆීජිහි අධිකරණ සේවයට එක් වී තිබේ. ලංකාවේ අධිකරණ අමාත්‍යංශයේ අවසරය මත ඔවුන් විසින් භාර ගෙන තිබෙන මෙම තනතුරු හේතුවෙන් ලංකාව ඔස්ට්‍රේලියාව හා නවසීලන්තය සමග පවත්වන රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට ද බලපෑමක් ඇති වී තිබේ.


කුමන්ත‍්‍රණයකින් බලයට පැමිණ ෆීජිහි අගමැති ලෙස නම් කරගෙන සිටින ෆ‍්‍රෑන්ක් බයිනිමරමා සිය රටේ අභ්‍යන්තර කටයුතුවලට අත පෙව්වේ ය යන චෝදනාව මත නවසීලන්ත හා  ඕස්ටේ‍්‍රලියා තානාපතිවරුන්ට පැය 24ක් ඇතුළත රටින් පිට වන ලෙස ඔක්තෝබර් අග දැනුම් දුන්නේ ද මෙම විනිසුරු පත්වීම් හා අදාළ සිද්ධි හේතුවෙනි.

අධිකරණයේ විනිසුරුවරුන් ඉවත් කළ බයිනිමරමා ලංකාවෙන් නව විනිසුරන් ඇණවුම් කළේය. ලංකාවේ මෙවැනි ඕනෑ මරාලයකට කර ගැසීමට සූදානම් පිරිස් සිටින අතර ආණ්ඩුව ද ඔවුන්ට ඉණිමං තනා දෙයි.

මුලින් තනතුරෙන් ඉවත් කරනු ලැබීමෙන් පසුව මැයි මාසයේදී යළි තනතුරට පත් කරනු ලැබූ ෆීජි අග විනිසුරු ඇන්තනි ගේට්ස් ලංකාවේ ඔහු සතු සබඳතා හරහා විනිසුරුවරුන් සත්දෙනෙකු එරටට ගෙන්වා ගැනීමට කටයුතු කළේය. මෙම විනිසුරුවරුන් ඇමතූ  ඕස්ටේ‍්‍රලියා තානාපති කාර්යාල නිලධාරියෙක් ඔවුන් එම තනතුරු භාර ගතහොත් ඔවුනට එම රටට ගමන් කිරීම තහනම් විය හැකි බව පවසන ලදී. ෆීජි අගවිනිසුරුවරයා මෙය එරට ස්වෛරීත්වයට අත පෙවීමක් බව පවසයි. මෙම විනිසුරුවරුන්ට එම පත්වීම් ප‍්‍රදානය කර තිබෙන්නේ පෞද්ගලික මටිටමින් වන අතර ලංකාවේ රජය ඔවුන්ට ඒ සඳහා නිවාඩු අනුමත කර තිබේ. ඔවුන්ගෙන් කොටසක් ෆීජි ගියේ දකුණු කොරියාව හරහා ය.  ඕස්ටේ‍්‍රලියාව පසුව ඔවුනට එරට හරහා ගමන් කිරීමට අවසර ලබා දුන්නේය. ඒ වන විට ඔවුන් එම තනතුරු භාරගෙන නො සිටි බැවින් තහනම අදාළ වූයේ නැත. 


1987 සිට හමුදා කුමන්ත‍්‍රණ හතරක් සිදු වූ ෆීජිහි 2006 සිදු වූ කුමන්ත‍්‍රණය සම්බන්ධයෙන් එහි නායකයා වූ ෆ‍්‍රෑන්ක් බයිනිමරමා වැරදිකරු බව අධිකරණයක් විසින් තීරණය කර දෙදිනක් ගත වන්නටත් පෙර පසුගිය අපේ‍්‍රල් මාසයේදී ජනාධිපතිවරයා විසින් බයිනිමරමා අගමැති ලෙස පත් කරන ලදී.

වහා රටේ අධිකරණය හා රජයේ සේවකයන්ගෙන් බොහෝ දෙනෙක් ඉවත් කළ බයිනිමරමා දැඩි මාධ්‍ය වාරණයක් පැණවීය.

ෆීජි රටේ ප‍්‍රධාන ආධාරකරුවන් සහ වෙළඳ සහායකයන් වන නවසීලන්තය හා  ඕස්ටේ‍්‍රලියාව වහා මැතිවරණයක් පවත්වන ලෙස ඉල්ලා ඇත.

යළි ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිහිටුවීම සඳහා දෙන ලද කාල වකවානුව තුළ එය නො කිරීම නිසා පොදු රාජ්‍ය මණ්ඩලය පසුගිය සැප්තැම්බරයේදී ෆීජි සාමාජිකත්වය අක්හිටෙව්වේය.

ඕස්ටේ‍්‍රලියාවට ඊසානදිගින් පිහිටි ප‍්‍රධාන දූපත් 322කින් සහ කුඩා දිවයින් 322කින් සැදුම් ලත් ෆීජි දූපත් රාජ්‍යයේ ජනගහණය 850,000ක් පමණ වේ. රන් හා තඹ නිධි, දැව, සමුද්‍ර සම්පත් ඇතුළු ස්වභාවික සම්පතින් ආඪ්‍ය ෆීජි බි‍්‍රතාන්‍යයෙන් නිදහස ලැබුවේ 1970දී ය. 


(ඡායාරූපයේ සිටින්නේ ෆ්‍රෑන්ක් බයිනිමරමා ය.) 


Comments

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා