ජනාධිපතිතුමනි, ගිය නුවණ ඇමති ජී.එල්. පීරිස් ලවා හෝ ඉක්මනින් අද්දවන්න


(2009 නොවැම්බර් 25 - W3Lanka) විපක්ෂ පොදු අපේක්ෂක සරත් ෆොන්සේකා ජනාධිපතිවරණයේදී විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීම හා 17වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම වැනි ප්‍රජාතන්ත්‍රවාදය වැඩිදියුණු කිරීමට ඉවහල් වන හා යහපාලනය අරමුණු කර ගත් බලාපොරොත්තුවේ අපේක්ෂකයකු බවට පත් කිරීමට විපක්ෂය පියවර ගනිමින් සිටිද්දී ජනාධිපති මහින්ද රාජපක්ෂ ද එම පොරොන්දු සිය දෙවන ධුර කාලය තුළදී සපුරන බවට නැවතත් පොරොන්දු නිකුත් කරන්නට පටන් ගෙන ඇත. 


පාර්ලිමේන්තුවට බලය ලැබෙන සේ වත්මන් ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ ක්‍රමවේදයක් තමන් සතුව ඇතැයි  ද දෙවැනි වරටත් රාජ්‍ය නායක පදවියට පත් වී එම සැලැස්ම හා ක්‍රමවේදය ප්‍රකාශයට පත් කරන බවද ජනාධිපතිවරයා ඊයේ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ප්‍රධානීන් කර්තෘ වරුන් හා මාධ්‍ය ආයතන හිමිකරුවන් අමතා පැවසී ය.



විධායක ජනාධිපතික්‍රමය අහෝසි කිරීමට විපක්ෂයෙන් ඉදිරිපත් වී ඇති අදහස් ගැන පුවත්පත් කර්තෘවරයකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් රාජපක්ෂ මහතා “විධායක ජනාධිපතික්‍රමය අහෝසි කරන්න පුළුවන් මට විතරයි.ඕන කමක් ඇත්තේත් මටයි. වෙන කාටවත් නැහැ. ඇත්තම තත්ත්වය ඒකයි," යි කීය. 

මේ පිළිබඳව 2005 ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන ලද මහින්ද චින්තන ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වන්නේ මෙසේ ය. 


මහජන මතය නියෝජනය වීම ද ස්ථාවර ආණ්ඩුවක් බිහි කිරීම ද
තුලනය වන අයුරින් පාර්ලිමේන්තු මැතිවරණ ක‍්‍රමය සංශෝධනය කිරීමට යෝජනා කරමි.


විධායක ජනාධිපති ධූරය අහෝසි කෙරෙන්නා වූ හා රටේ සෙසු
ප‍්‍රශ්න වලට ද විසඳුම් ලබා දෙන්නා වු නව ආණ්ඩුක‍්‍රම
ව්‍යවස්ථාවක් සියල්ලන්ගේ සම්මුතියෙන් ඉදිරිපත් කිරීමට
බලාපොරොත්තු වෙමි. එතෙක් ජනාධිපතිවරයා නිල මට්ටමින්
පාර්ලිමේන්තුවට වගකියන ලෙසින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට
සංශෝධන ඉදිරිපත් කරන්නෙමි.


පාර්ලිමේන්තුව කෙරෙහි ජනාධිපතිවරයා ගේ ඇති වගකීම සහතික කිරීම සඳහා මසකට වරක් පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි වන්නෙමි.


පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ - විපක්ෂ මන්ත‍්‍රීන් කාර්යක්ෂම ලෙස රාජ්‍ය පාලනයට සහභාගිවීම තහවුරු කිරීම සඳහා අමාත්‍යාංශ කාරක සභාවන්හි බලතල පාර්ලිමේන්තූවේ එකඟතාවෙන් වැඩි දියුණු කිරීමට යෝජනා කරමි.


මේ හත්වලාම මතක් වූයේ හදිසියේ වන්නට පුළුවන. දේශපාලනයේ හැටි ඉතින් ඔහොම තමයි බව අපි දන්නෙමු. ජනාධිපතිවරයාට දැන් තිබෙන්නේ  ඔය කාරණය ගැන ජී.එල්. පීරිස් ඇමතිතුමා වැනි උගතකුගෙන් අසා (එතුමා එජාපයට යන්නට පෙර) මේ පොරොන්දු හැකි ඉක්මණින් ඉටු කරන ආකාරය පිළිබඳව නිශ්චිත ප්‍රතිඥාවක් දින වකවානු සහිතව දෙන එක ය. අවශ්‍ය නම් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ යෝජනාවක් ද ජනවරමක් ලබා ගැනීම සඳහා ඡන්දයට ඉදිරිපත් කිරීමට පුළුවන. මේ කාරණය සම්බන්ධයෙන් තව වරක් ලංකාවේ ජනතාව රවටන්නට යනවාට වඩා හැකි ඉක්මණින් මේ පොදු අවශ්‍යතාව ඉටු කර විධායක අගමැති ලෙස චිරාත් කාලයක් යෙහෙන් වැජඹෙන ක්‍රම හදා ගන්නට සිතීම එතුමාට වැඩදායී වේ.

පීඩිත ජනතාව වන අපට නම් ඔය කෝකත් එක ය. මොකද සිරිමා බංඩාරනායක අගමැති නෝනා 70-77 කාලයේ නැටූ නැටිල්ලට විධායක බලතල ඕනෑ වුණා යැ. 

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා