යුරෝපා සංගමය කොන්දේසි පිට ලංකාවට ජී.එස්.පී. ප්ලස් බදු සහන දෙන්නට යයි


(2009 ඔක්තෝබර් 01 - W3Lanka) යුරෝපා සංගමය විසින් ලංකාවට ලබා දෙන ජී.එස්.පී. ප්ලස් බදු සහනය කොන්දේසි මත තවදුරටත් ලබා දීමට ඉඩ ඇතැයි ඒ හා සම්බන්ධ සාකච්ඡාවලට සහභාගි වූ නම සඳහන් නොකරන ලද තානාපති නිලධාරියකු උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය පවසයි. ජී.එස්.පී. ප්ලස් බදු සහන පිළිබඳ අවසන් තීන්දුව මෙම මස මැද භාගයේදී යුරෝපා සංගමය විසින් ගන්නට නියමිතය.



ජී.එස්.පී. ප්ලස් බදු සහන ලැබීමට නම් එම රටවල් මානව හිමිකම්, කම්කරු අයිතිවාසිකම්, සංවර්ධනය හා යහපාලනය හා සම්බන්ධ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්ති 27ක් ක්‍රියාත්මක කළ යුතුව තිබේ.


ලංකාවේ මානව හිමිකම් තත්වය පිළිබඳ යුරෝපා සංගමය විසින් ලබාගෙන තිබෙන වාර්තා ලංකාවට අහිතකර වීම නිසා ජී.එස්.පී. ප්ලස් බදු සහන නොලැබීමට ඉඩ තිබෙන බව අපනයන සංවර්ධන හා ජාත්‍යන්තර වෙළඳ කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ ලේකම් එස්. රනුග්ගේ පසුගියදා ප්‍රකාශ කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ජනාධිපතිවරයා ඔහු පරිපාලන නිලධාරීන්ගේ සංචිතයට මාරු කළේය.


බෙන්තර ගඟෙන් එහා ඉපදුණු කෙනෙක් ලෙස ජී.එස්.පී. ප්ලස් බදු සහන ලබා ගන්නා ආකාරය තමන් දන්නා බව ජනාධිපතිවරයා පසුගියදා කීවේය. කෙසේ වෙතත්, ජාත්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ යුරෝපා සංගමය ජී.එස්.පී. ප්ලස් බදු සහන ලංකාවට ලබා දෙන්නේ බෙන්තර ගගට, දකුණට හෝ ජනාධිපති මහින්ද රාජපක්ෂට බියෙන් නොව එය අහිමි වුවහොත් ඇඟලුම් කර්මාන්තය කඩා වැටී බහුතරය දිළිඳු කාන්තාවන් වන ලක්ෂ දෙකක් ඇගලුම් කම්කරුවන්ගේ සහ ලක්ෂ දහයක් ජනයාගේ ජීවනෝපාය අහිමි වී යන හෙයිනි. 

ඩොලර් බිලියන 8.1ක් වන ලංකාවේ සමස්ත අපනයනයෙන් 36%ක් හෙවත් ඩොලර් බිලියන 3.5ක්ම ලැබෙන්නේ ඇඟලුම් කර්මාන්තයෙනි. එයිනුත් 43%ක්ම අපනයනය කරනු ලබන්නේ යුරෝපා සංගමයටයි. ලංකාවෙන් අපනයනය කරනු ලබන භාණ්ඩ වර්ග 7200කට යුරෝපා සංගමය බදු සහන ලබා දෙයි.

Comments

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

දීප්ති කුමාර ගුනරත්න යනු මොකක්ද?

මාතර දෙයියන්ගෙ හාල්වලින් පිසූ බත් දන්සැල

ඕපාදූප, ආවේග, ඉරිසියාව හා ජාතිවාදය නිසා රටේ මාතෘ සෞඛ්‍යය අනතුරේ හෙළමු ද?