රාජපක්ෂ සමාගම ටෙලිකොම්ට වයිමැක්ස් දෙන හැටි

(2009 ඔක්තෝබර්  05- W3Lanka) ටෙලිකොම් සමාගම තම පුලුල්පරාස සම්බන්ධතා සඳහා දැනට ඩයලොග්, ලංකාබෙල්, හා සන්ටෙල් සමාගම් වල පුලුල්පරාස අන්තර්ජාල සේවා සදහා යොදා ගන්නා වයිමැක්ස් තාක්ෂණය යොදා ගැනීමට සැරසෙන බව මාලින්දගේ බ්ලොග් සටහනෙහි සඳහන් විය. මෙමගින් ඩයලොග් මෙන්ම PSTN දුරකථන සම්බන්ධතාව හා අන්තර්ජාල සේවාව යන දෙකම ලබාගත හැකි බව ද ‍ADSL මෙන් දුර වැඩි වෙද්දී වේගය දුර්වල වීම හා දෝෂ ඇතිවීම අවම වීමත්, උඩුගත වේගය හොඳින් ලබාගත හැකි වීමත් වයිමැක්ස් තාක්ෂණයේ විශේෂතා බව http://blog.malindaprasad.comහි සඳහන් වේ.


එහෙත් ටෙලිකොම් සමාගම වයිමැක්ස් තාක්ෂණය ලබා ගන්නා ආකාරය පිටුපස භයානක දූෂණයක් ඇති බව www.anticorruptsl.com වෙබ් අඩවිය හෙළි කරයි.

ටෙලිකොම් සමාගම ජනාධිපතිවරයා යටතේ පවතින විදුලි සංදේශ නියාමන කොමිෂන් සභා වයි-මැක්ස් සංඛ්‍යාත පහසුකම් සඳහා සංඛ්‍යාත ඉල්ලා සිටියද විදුලි සංදේශ නියාමන කොමිෂම එය ලබාදුන්නේ නැත. නමුත් ඩයලොග්, සන්ටෙල් හා ලංකා බෙල් පෞද්ගලික සමාගම්වලට ඒ සදහා සංඛ්‍යාත ලබාදී තිබේ. රජයටද කොටස් හිමිකමක් සහිත ලංකාවේ ප‍්‍රමුඛතම සන්නිවේදන සමාගම වන ටෙලිකොම් සමාගමට ඒ සදහා අවසර නොදීමට හේතුව මහා පරිමාණ දූෂණයකි. 

ලංකාවේ ප්‍රමුඛතම විදුලි සංදේශ සේවා සපයන්නා වන ටෙලිකොම්ට වයිමැකිස් සංඛ්‍යාත ලබා නො දුන්න ද විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ස්කයි නෙට්වර්ක්ස් නම් පෞද්ගලික සමාගමකට වයි-මැක්ස් සංඛ්‍යාත පද්ධති තුනක් නිකුත්කරන ලදී. ඒ සමස්ත දිවයින සදහා 2400-2430 khz පරාසයත්, කොළඹ ඇතුළු ප‍්‍රධාන නගර කිහිපයකට 5470-5850 Mhz   පරාසයත්, විශේෂ අවශ්‍යතා සදහා 3500 Mhz පරාසයත් ලෙසිනි. මේ ස්කයි නෙට්වර්ක්ස් සමාගම පිළිබඳ www.anticorruptsl.com වෙබ් අඩවිය මෙසේ කියයි.


ස්කයි නෙට්වර්ක්ස් සමාගමේ වයස අවුරුදු තුනකි. එය පිහිටුවන ලද්දේ 2006 මැයි 09 වනදාය. එම සමාගමට සිටියේ කොටස් හිමියන් දෙදෙනෙකු පමණි. ඒ එච්. සිරිසේන සහ කේ.එම්.එස් බණ්ඩාර යන දෙදෙනාය. ඔවුන් දෙදෙනා රුපියල් 10 බැගින් කොටස් දෙකක් මිලදී ගෙන තිබිණි. ඒ අනුව මෙම සමාගම අරඹන විට එහි සමස්ත වත්කම් ප‍්‍රමාණය රුපියල් 20කි. මෙම රුපියල් 20 ආයෝජනය කළ සිරිසේන සහ බණ්ඩාර අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයන් ලෙස නම්කර තිබූ අතර සමාගම N(PVS)46122 අංකය යටතේ ලියාපදිංචි කර තිබුණේ 175/2, පරණ කොට්ටාව පාර, මිරිහාන, නුගේගොඩ. යන ලිපිනය සමාගමේ ලිපිනය ලෙස ඉදිරිපත් කරමිනි. පසුව 2006 මැයි 24වනදා අජන්ත කරුණාදාස නැමැත්තෙකුද අධ්‍යක්ෂක මණ්ඩලයට එක්කරගෙන තිබිණි. මේ ආකාරයට කිසිදු ගනුදෙනුවක් නොකර වසරක් පුරා මෙම සමාගම ලියාපදිංචි කොට තබා ගන්නා ලදී.

සමාගම නින්දෙන් අවදිවූයේ වසරකට පසුවය. 2007 මාර්තු 15 වැනිදා ස්කයි නෙට්වර්ක්ස් සමාගමේ කොටස් 950,000ක් එක්සත් රාජධානියේ ලයිකාටෙල් ප‍්‍රීපේඞ් සමාගමට අනුබද්ධ පෘතුගාලයේ හෙස්ටින්ග්ස් ටේ‍්‍රඩින් ඊ-සර්විසස් සමාගමට ලබාදෙන ලදී. ඒ සමගම වෙනස්කම් ගණනාවක් සිදුවිය. 2007 මාර්තු 30 වැනිදා කරුණාදාස අධ්‍යක්ෂක මණ්ඩලයෙන් ඉවත්වී ගිමාල් ලලීන්ද්‍ර හෙට්ටිආරච්චි නැමැත්තෙකු අධ්‍යක්ෂ මණ්ඩලයට එක්විය. ඔහු සුවිශේෂි පුද්ගලයෙකි. ටෙලිකොම් සමාගමට පවා නොලැබුණු සංඛ්‍යාත මේ රුපියල් 20 සමාගමට ලැබුණේ ඔහුගේ බල මහිමයෙනි. මේ ලලීන්ද්‍ර කවුද? ඔහු මහින්ද රාජපක්ෂ, චමල් රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ යන අයගේ සොහොයුරියගේ පුත‍්‍රයාය. එනම් මේ බලවත් ලලීන්ද්‍ර, ජනාධිපතිවරයාගේ බෑණාය.

ලලීන්ද්‍ර අධ්‍යක්ෂ මණ්ඩලයට එක්වූයේ 2007දී වුවත් වසරකට පෙර සමාගම ලියාපදිංචි කිරීමට ලබාදී තිබූ නුගේගොඩ මිරිහානේ ලිපිනය ලලීන්ද්‍රගේ පුද්ගලික නිවසේ ලිපිනයයි. එනිසා මෙම අරුම පුදුම රුපියල් 20 සමාගම ගොඩනගා ව්‍යාජ ලෙස නඩත්තු කරන ලද්දේ ලලීන්ද්‍ර බව ඉතා පැහැදිලිය.

මේ අනුව කෙලින්ම වයි-මැක්ස් සංඛ්‍යාත ලබා ගැනීමට හැකියාව නැති නිසා එම සංඛ්‍යාත සහිත සමාගමක් සමග එක්වී වක‍්‍ර ලෙස එම තාක්ෂණය භාවිතා කිරීම ටෙලිකොම් සමාගමට සිදුවිය. 2008 මැයි මාසයේදී ටෙලිකොම් සමාගම ස්කයි නෙට්වර්ක්ස් සමාගම සමග ගිවිසුමක් අත්සන් කොට එහි කොටස්වලින් 40%ක් මිලදී ගත්තේය. ඒ සදහා ගෙවූ මුදල ඇමරිකානු ඩොලර් මිලියනයකි. එය රුපියල් මිලියන සියයකටත් අධිකය. එම රුපියල් මිලියන 100 සම්පූර්ණයෙන්ම අයත්වූයේ ලලීන්ද්‍ර හෙට්ටිආරච්චිටය.

ගිවිසුමද ටෙලිකොම් සමාගමට අතිශය අවාසිදායකය. මෙම තාක්ෂණය මගින් උපයන ආදායමෙන් 60%ක්ම හිමිවන්නේ ජනාධිපතිගේ බෑණාටය. ටෙලිකොම් සමාගමට හිමිවන්නේ 40%ක් පමණි. නමුත් වයි-මැක්ස් ව්‍යාපෘතිය සදහා යන වියදමින් 70%ක්ම ටෙලිකොම් සමාගම දැරිය යුතුය.

Comments

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

දීප්ති කුමාර ගුනරත්න යනු මොකක්ද?

මාතර දෙයියන්ගෙ හාල්වලින් පිසූ බත් දන්සැල

ඕපාදූප, ආවේග, ඉරිසියාව හා ජාතිවාදය නිසා රටේ මාතෘ සෞඛ්‍යය අනතුරේ හෙළමු ද?