රාජමේනියාව නැති කිරීමේ මුල් පියවර තබන්න වික්‍රමසිංහට ගෙදරින් බැරි ද?


(2009 නොවැම්බර් 08 - W3Lanka) රාජපක්‍ෂ රජ පවුල වෙනුවෙන් මාතර දෙනියායේද, ගම්පහ සීදූවේ ද, කොළඹ කිරුළපනේ ද රජමාලිගා තුනක් නිර්මාණය කෙරෙන බව විපක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා එජාප මූලස්ථානය වන සිරිකොතෙහි පැවැති ජාතික යොවුන් පෙරමුණේ සමුළුවකදී පැවසීය.


මේ අතර රාවය පුවත්පත වාර්තා කරන පරිදි පසුගිය දිනෙක නීති විද්‍යාලයේ විභාගයකට පෙනී සිටීම සඳහා පැමිණි නාමල් රාජපක්ෂ කුමාරයා නීති විද්‍යාලයේ විදුහල්පති විසින් පිළි ගනු ලැබ තිබෙන්නේ බුලත් හුරුල්ලත් දෙමිනි. ශිෂ්‍යයා ඉදිරියේ ගුරුවරයා මෙසේ ප්‍රසිද්ධියේ ගැති වූයේ සමහර විට සිද්ධාර්ථ කුමාරයා ඉදිරියේ අසිත තවුසා වැඳ වැටුණායින් පසුව විය හැකි ය.


පසුගිය දිනෙක නැඟෙනහිර පළාතේ පැවති උත්සවයකදී  ජනාධිපතිවරයා පැවසුවේ තමා මේ රටේ රජු නොව භාරකරු බවයි. අතීතයේ දේවානම්පියතිස්ස රජුට මිහිඳු හිමියන් විසින් දෙන ලද්දේ යයි සඳහන් වන  මෙම උපදෙස ජනාධිපතිවරයා එ‍සේ උපුටා දක්වනු ලැබුවේ තමන් දැහැමි රජෙකු බව පෙන්වීමට විය හැකි ය.


සත්තකින් ම ලංකාවේ විධායක ජනාධිපතිවරුනට ඇති බලතල රජ කෙනෙකු සතු බලතලවලට දෙවෙනි වන්නේ නැත. පළමු විධායක ජනාධිපතිවරයා වූ ජේතආර්ත ජයවර්ධන රජ පෙළපතේ අගට තම නම එක් කර ගත්තේ ය. දෙවන විධායක ජනාධිපති ආර්. ප්‍රේමදාස තමන් හඳුන්වා ගැනීමට අතිගරු, ශ්‍රීමත්, උතුමාණන් ආදී විශේෂණ හා නාම පද යොදා ගත්තේ ය.


සිව් වන විධායක ජනාධිපති වූ චන්ද්‍රිකා බංඩාරනායක කුමාරතුංගගේ භූමිකාව විස්තර කිරීම සඳහා වික්ටර් අයිවන් ලියූ පොතෙහි මාතෘකාව අනුව ඇය හැසිරී ඇත්තේ චෞර රැජිනක් ලෙසයි.


නූතන ජනාධිපතිවරයාට ද වැළඳී ඇත්තේ බලයේ සිටි සියලු විධායක ජනාධිපතිවරුන්ට වැළඳී තිබුණු මෙම රෝගය ම ය.


මෙය විධායක ජනාධිපති පුටුවේ තැවරී තිබෙන කිසියම් වෛරසයක් වන්නට පුළුවන. එහෙත් මෙහි ප්‍රභවය ඇත්තේ මෙතැන ම නොවේ. වමේ පක්ෂ ද ඇතුළුව, ලංකාවේ සියලු දේශපාලන පක්ෂවල නායකයෝ ද මෙවැනි ම වෙති. පක්ෂ ඇතුළේ ඔවුහු ද ඇත්තෙන් ම විධායක ජනාධිපතිවරු හෝ රජවරු ම වෙති. ජනාධිපති නම් වාර දෙකකට පසු ගෙදර යයි. පක්ෂ නායකයන් වෙනස් වන්නේ එකෙක් මළ පසු ය. දේශපාලන පක්ෂවල ව්‍යවස්ථා 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට වඩා බොහෝ පසුගාමී ය. 

ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ කතා කරන සිවිල් සමාජ සංවිධානවල තත්වය මීට අන්ත ය. ඒවායේ වෙනස වන්නේ නායකයන් වල පල්ලට යන්නේ සංවිධානත් ඇදගෙන වීමයි.


රාජමේනියාවට බැණ වදින රනිල් වික්‍රමසිංහගේ සිට අහවලා දක්වා සෑම අයෙකු ම ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී නායකත්වය නම් මේ යයි නිදර්ශකයක් දැක්වීමට අසමත් වී තිබේ. මේ අනුව බලන කල, දේශපාලන හා සිවිල් සංවිධාන නායකයෝ " අපි ඔක්කොම රජවරු" ගණයේ අය වෙති.


ඒ නිසා ජනතාව දන්නේ ද රජවරුන් ම පමණි. ජනතාව අතර ද පිරිමි පවුල් ඇතු‍ළේ රජ වෙති. කාකි අන්දා බැටන් පොල්ලක් අතට දුන් විට ඕනෑම අට පාස් ගොන් නාම්බෙක් රජ වෙයි. තම තමන්ට පුළු පුළුවන් පමණින් කවුරු කවුරුත් රජ වෙති.


මේ කොයි රජාත් තමන්ට වඩා ලොකු රජෙක් දුටු විට බලු ගැත්තෝ වෙති. රාජපක්ෂ රජ්ජුරුවන් මුල්‍ය අරමුදල ඉදිරියේ ගැති වෙයි. අපි ගිනි පොලීකාරයා ඉදිරියේ ගැති වෙමු.


රජවරු සහ ගැත්තන් පමණක් සිටින නූතන ලාංකීය සමාජයට ප්‍රජාතන්ත්‍රවාදයේ මුල් පොත ඉගැන්විය යුතු ව තිබේ. එය තම පක්ෂයෙන් ආරම්භ කිරීමට රනිල් වික්‍රමසිංහ සූදානම් ද? 





Comments

  1. ජවිපෙ ප්‍රජාතන්ත්‍රවාදය පිළි ගන්නා පක්ෂයක් ද යන්න පැහැදිලි නැත. ඔවුන් පක්ෂ නිර්ධන පංති පක්ෂය යයි හඳුන්වා ගන්නා තම පක්ෂයේ ආඥාදායකත්වයක‍ටයි. ඒ නිසා ඔවුන් සමග ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කිරීම ළිං ‍මැඩියන් සමග ආලෝක වර්ෂ ගැන කතා කිරීම වැනි විය හැකිය.

    ReplyDelete
  2. we have not learned from the past. it us who who made these persons kings ( or queeens) repeatedly. there are few good sayings.
    " the history repeats itself for those who does not learn from it" and,
    " the people of a country deserves the governmnet thay have"

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

දීප්ති කුමාර ගුනරත්න යනු මොකක්ද?

මාතර දෙයියන්ගෙ හාල්වලින් පිසූ බත් දන්සැල

එළියකන්දේ වැසිකිලි සැප