ලිබරල් මීයෝ රාජපක්ෂලා පාවා දුන්නා ද?


(2009 දෙසැම්බර් 24 - W3Lanka) මහින්ද රාජපක්ෂ පාලනය යුද අපරාධ චෝදනා හා රාජ්‍ය තාන්ත්‍රිකභාවයේ ගැටළු හේතුවෙන් ජාත්‍යන්තර දේශපාලයේදී හුදකලා වෙමින් සිටියදී සහ ජනාධිපතිවරණයේදී තියුණු තරගයකට මුහුණ දෙමින් සිටියදී ඔවුන්ට එම තත්වය වෙත තල්ලු වීම සඳහා උදව් කළ ලිබරල් ධනවාදී නිලධාරීන් එක එකා අත සෝදා ගනිමින්, කර අරිමින් සහ පාවා දෙමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. 

මෙහි නවතම නිදසුන වන්නේ නීති ප්‍රකාර නොවන අත්තනෝමතික ඝාතන පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ සම්බන්ධීකාරක පිලිප්ස් ඇල්ස්ටන් හිටපු හමුදාපති සරත් ෆොන්සේකා විසින් සන්ඩේ ලීඩර් පුවත්පතට කරන ලද ප්‍රකාශය පිළිබඳ කරුණු පැහැදිලි කරන ලෙස ඉල්ලා එවන ලද ලිපියට මානව හිමිකම් අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය රජීව විජේසිංහ විසින් හැරෙන තැපෑලෙන් පිළිතුරු ලියා මාධ්‍යවලට ද එම පිළිතුර ප්‍රසිද්ධ කිරීමයි. 


දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ රැජිනගේ ඉංගිරිසියෙන් ලියන්නට පුළුවන්කම නිසා යුද මෙහෙයුම් කාලයේ සුද්දන්ට ලියුම් ලියන්නට බඳවා ගත් මෙම ලියන ආරච්චි රජය වෙනුවෙන් පිළිතුරු ලියා ඇත්තේ අඩු තරමේ තම ප්‍රධානියා වන මානව හිමිකම් ඇමති මහින්ද සමරසිංහගෙන් පවා නො විමසා බවයි. මෙවැනි ලිපියකට පිළිතුරු ලියන්නට ඔහුට කිසිදු බලයක් නැති වුවත්, ඔහුගේ ලියුම රජයේ නිල පිළිතුරක් බවට පත් වීම වැළැක්විය නො හැක. 



සරත් ෆොන්සේකා එවැනි ප්‍රකාශයක් කළේ නැති බව කියා ඇතැයි රජීව විජේසිංහගේ ලිපියෙන් කියවේ. සරත් ෆොන්සේකාගේ ප්‍රකාශය දේශද්‍රෝහී පාවා දීමක් ලෙස ප්‍රචාරය කරමින් සිටින ආණ්ඩු පක්ෂ බලවේගවලට මෙයින් මහත් පාඩුවක් සිදු වී තිබේ. එහෙත්, ජනාධිපතිවරණය නො තකා හළ විට ඔහුගේ ලියුම රාජපක්ෂලාට ද චෝදනා ප්‍රතික්ෂේප කිරීම සඳහා උපකාරී වන්නකි. 



තවත් මෙවැනි නිලධාරියකු වූ හිටපු විදේශ ලේකම් සහ දැන් ජිනීවාහි තානාපති ඔස්ට්‍රේලියානු පුරවැසියකු වන ආචාර්ය පාලිත කොහොන ද සති කීපයකට පෙර ඕස්ට්‍රේලියානු ගුවන් විදුලිය සමග සම්මුඛ සාකච්ඡාවක යෙදෙමින් යුද අපරාධ චෝදනාවලින් ගානට තම අත සෝදා ගත්තේ ය. සුදු කොඩි රැගෙන පැමිණ යටත් වන්නැයි එල්.ටී.ටී.ඊ. දේශපාලන අංශ නායක නඩේසන් හා සාම ලේකම් කාර්යාංශ ප්‍රධානී පුලිදේවන්ට උපදෙස් දුන් බව කියන මෙම නිලධාරියා එම යටත් වූවන්ට වෙඩි තැබුවේ ය යන චෝදනාව සම්බන්ධයෙන් දැන් කියන්නේ තමන් මෙම යුදමය කරුණු ගැන කිසිවක් දැන  නො සිටි බවයි. රාජපක්ෂ සහෝදරයින්ට කිට්ටු ම කවයේ සිටි අයෙකු වන මොහු ද රාජපක්ෂලාගෙන් යැපී අවදානම එන විට හිමින් සැරේ මාරු වෙමින් සිටින අයකු බව රජයට සමීප ආරංචි මාර්ග පවසයි.



Comments

  1. ලංකාවේ මීලග ජනාධිපතිවරයා කවුද?
    පහත වෙබ් අඩවියට පිවිස ඔබේ මතය දක්වන්න.

    http://www.pollpub.com/who-will-be-the-next-sri-lankan-president.aspx

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා