බිත්තර මිළ බස්සන්න "අපි බිත්තර දාමු - රට නඟමු"


(2009 දෙසැම්බර් 25 - W3Lanka අද නත්තල් ය. ලාංකික කිතුනුවෝ හොඳට කන බොන මිනිස්සු ය. ඔවුන් මස්, මාළු කන්නේ හොරෙන් නොවේ. කෑමෙන් පසු පශ්චාත්තාපයක් ද නැත. බීම පිළිබඳ කීමට ඇත්තේ ද එය ම ය. එහෙයින් නත්තල් සමරන්නට යහමින් කෑම බීම අවශ්‍ය ය. නත්තල් කනවා කියන්නේ ඒ නිසා ය. 


රට කන දේශපාලකයන්ට නම් හැමදා ම නත්තල් ය. උන්ගේ බිල් බදු ඔස්සේ ගෙවන මහජනතාව නත්තල් කේක් ගෙඩිය හදන්නට බිත්තරයක් ගත්තේ ඉතිහාසයේ වැඩි ම මිළට ය. කුකුළු මස් හා බිත්තර හිඟ බැවින් ඒවා වහා ම ආනයනය කරන බව පශු සම්පත් සංවර්ධන ඇමැති සී. බී. රත්නායක පවසයි. 


තදියමේ කරන මේ ආනයන ඔස්සේ කුරුළු උණ රටට ඒම වැළැක්වීම සඳහා ගනු ලබන පියවර මොනවාදැයි අපි නො දනිමු. 


පසුගිය කාලයේ දේශපාලකයන් අමුඩ ගසාගෙන "අපි වවමු- රට නඟමු" යයි කියමින් සී සෑවේ දේශීය ආහාර නිෂ්පාදනය වැඩි කරන්නට ය. 


එහෙත්, වෙළඳ ඇමති බන්දුල ගුණවර්ධන නොවැම්බර් මුල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද සංඛ්‍යාලේඛන පෙන්නුම් කරන්නේ ආහාර ආනයනය වැඩි වී ඇති බවයි. 

කිරිපිටිවලින් අධික ලෙස බදු අය කරන්නේ දේශීය කිරි ගොවියා නැංවීම සඳහා යයි ජනාධිපතිවරයා පසුගියදා පැවති ජනපති ජනහමුවකදී පැවසුව ද ගිය අවුරුද්දේ රටේ කිරිපිටි අවශ්‍යතාවෙන් 90%ක් ම පිටරටින් ආනයනය කර ඇති බව බන්දුල ගුණවර්ධන පැවසීය. 2005 අවුරුද්දේ මෙම ප්‍රතිශතය 89.1%ක් විය. 



2005දී රටේ අර්තාපල් අවශ්‍යතාවෙන් ආනයනය කෙරුනේ 33.%ක් පමණක් වුව ද, 2008දී සමස්ත අවශ්‍යතාවෙන් 57%ක් ම ආනයනය කර ඇත.


2005දී රටේ ලොකු ළූනු අවශ්‍යතාවෙන් ආනයනය කළේ 66.6% ක් වුව  ද 2008දී 71.9%ක් ම පිටරටින් ගෙන්වා තිබේ. 


2005දී රටේ මිරිස් අවශ්‍යතාවෙන් ආනයනය කෙරුනේ 67%ක් පමණක් වුව ද 2008දී 73%ක් මආනයනය කර ති‍බේ. 

මේ අතර රටේ සමස්ත සීනි නිෂ්පාදනයෙන් 92.7%ක් ද ආනයනය කෙරිණි. 2005දී ආනයනය කරනු ලැබුවේ 89.6%ක් පමණි. 


මෙම තොරතුරු හෙළිදරව් වූයේ ජවිපෙ මන්ත්‍රී රණවීර පතිරණ විසින් අසන ලද ප්‍රශ්නයකට සපයන ලද පිළිතුරුවලිනි. 



අමුඩ ගසාගෙන කුඹුරු හෑ ජනාධිපති හා ඇමතිවරු දැන් පිටරටින් හාල් ගෙන්වන්නේ මෙට්‍රික් ටොන් ලක්ෂ ගණනේ ය.


දැන් කුකුළු මස් හා බිත්තර ද ආනයනය කරනු ලැබේ. දේශීය බිත්තර නිෂ්පාදනය වැඩි කිරීම සඳහා ද දැන් "අපි බිත්තර දාමු - රට නඟමු" වැනි වැඩපිළිවෙලක් දියත් කිරීමට පුළුවන. එම වැඩපිළිවෙලේ සමාරම්භක උළෙල පවත්වන ආකාරය යෝජනා කිරීමේ අවස්ථාව කරුණාකර  පශු සම්පත් සංවර්ධන ඇමැති සී. බී. රත්නායකට යෝජනා කරන්න. මෙහි තබන සටහන් අදාළ ඇමතිවරයා වෙත යැවීම සඳහා අපට කුමවේදයක් නැති බව කරුණාවෙන් සලකන්න.


Comments

  1. yojanawak-
    in the blog syndicator why won't you categorize this site under the "deshapalana/samaja" category?
    It will attract the attention of a much wide audience i guess.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා