රජය අවතැන් කඳවුරු වැසියන්ට දුන් නිදහස පෙරළා රජයට ම හානිකර වෙයි


(2009 දෙසැම්බර් 21 - W3Lanka) 'ලොව දැවැන්ත ම මානුෂීය මෙහෙයුමෙන්' 'මුදා ගන්නා ලද' වන්නි ජනතාව මාස හයකට අධික කාලයක් 'සුබසාධන ගම්මානවල' රඳවා තබා‍ගෙන සිටිය ද ජාත්‍යන්තර බලපෑම හා එළඹෙන ජනාධිපතිවරණයේදී දෙමළ ඡන්ද ලබා ගැනීම වෙනුවෙන් ඔවුනට නිදහස ලබා දීමට සිදු වීමෙන් පසු මහින්ද රාජපක්ෂ රජයට ඒ වෙනුවෙන් පසුතැවීමට සිදු වන තත්වයක් උදා වෙමින් තිබේ. 


යුද්ධයේ අවසන් අදියරේදී වන්නියේ යුද මුක්ත කලාපයේ හා ඉන් අනතුරුව අවතැන් කඳවුරුවල ජීවත් වූ ජනයා මෙතෙක් කල් දෙන දෙයක් කන්නට පමණක් අරිමින් සිටි කටවල් දැන් සිදු වූ දේ පිළිබඳ කතා කිරීම සඳහා ද අරින්නට පටන් ගෙන තිබීම යුද අපරාධ චෝදනාවලට ද ලක් වෙමින් තිබෙන ලංකාවේ රජය තවත් අපහසු තත්වයකට ඇද දමමින් තිබේ. 


යුද මුක්ත කලාපයේ සිට අවතැන් ව මැනික් ෆාම් අවතැන් කඳවුරට පැමිණ එහි මාස ගණනක් සිටීමෙන් පසු නිදහස ලද බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි ශ්‍රී ලාංකික දෙමළ තරුණියක් වන 25 වියැති තමිල්වානි ඥානකුමාර් බ්‍රිතාන්‍යයේ 'දි ඔබ්සර්වර්' පුවත්පතට කර තිබෙන ප්‍රකාශ මහත් ආන්දෝලනයක් ඇති කිරීමට හේතු වී තිබේ. එම තොරතුරුවලට විශාල ජාත්‍යන්තර ප්‍රසිද්ධියක් ද ලැබෙමින් ති‍බේ. 


මැනික් ෆාම් කඳවුර රැඳවුම් කඳවුරක් ලෙස හඳුන්වන ඇය එහි ජීවත් වූ ජනයාට පිටතට තබා වැට අසලටවත් යන්නට නො දුන් බව පවසයි. ඇය කියන්නේ නිදහස ලබා ආපසු බ්‍රිතාන්‍යයට ගොස් මාස ගණනක් ගත වන තුරු පවා ඇය කඳවුරුවල තත්වය පිළිබඳ හෙළිදරව් නො කළේ ඇය රැඳී සිටි පවුලේ අයට හිරිහැරයක් වනු ඇතැයි සිතා බවයි. මේ වන විට ඔවුන් නිදහස ලබා ඇති බව ඇය පවසයි.

ලිංගික අතවර සාමාන්‍ය දෙයක් බව ද, තමන් ඒවා දුටු බව ද ඇය පවසයි. ඇය පවසන ලිංගික අඩන්තේට්ටමක් වන්නේ හමුදා නිලධාරීන් තරුණියන්ගේ සිරුරු නො මනා ලෙස ස්පර්ශ කිරීමයි. අතවරයට පත් වූවන් ඒ පිළිබද විරෝධය දැක්වූයේ නම් ඔවුනට ඕනෑම දෙයක් විය හැකිව තිබුණු බව ද ඇය කියයි. දැඩි දුගීභාවයකට මුහුණ දෙමින් සිටි ඇතැම් කාන්තාවන්‍ට මුදල් හෝ ආහාර හෝ ලබා දී සොල්දාදුවන් ඔවුන් ලිංගික සේවය සදහා යොදා ගත් බව තමිල්වානි පවසයි.

හමුදා නිලධාරියකුට යමක් කීවේ යයි ඇය සිතන මහළු මිනිසෙකුට හමුදා නිලධාරියකු පහර දුන් අන්දම දුටු බව ද, නිලධාරීන් සමග තර්ක කළ පුද්ගලයන් ඇතැම් විට පැය ගණන් අව්වේ දන ගස්වා තැබූ ආකාරය ද ඇය විස්තර කරයි.

මිනිසුන් කැඳවා නම් ගම් සහ කිසියම් ආකාරයක සම්බන්ධයක් කොටින් සමග තිබුණේදැයි සටහන් කර ගැනීමෙන් පසු පරීක්ෂණ පැවැත්වූ බව ද, ඉන් අනතුරුව වෑන් රියකින් ඔවුන් ගෙන ගිය බව ද, ඉන් අනතුරුව ඔවුන්ට සිදු වූ දේ කිසිවකු නො දත් බව ද ඇය පවසයි.

විවෘත ස්ථානයක නිලධාරීන් ඇතුළු සෙසු අය ඉදිරියේ නාන්නට සිදු වීමේ අපහසුව මගහරවා ගැනීමට පාන්දර 3.30ට අඳුරේ නෑමට ඇය පුරුදු ව සිටි බව ද, වතුර ලබා ගැනීමට පෝලිම්වල ඉන්නට සිදු වූ බව ද ඇය කියන්නී ය.

වැසිකිලි පිරිසිදු කළ නො හැකි තරම් දුර්වල තත්වයක තිබූ බව ද, දින දෙක තුනක වැසිවලින් පසු අසූචි ජලය මත පා වෙමින් කූඩාරම්වලට ද ගිය බව ද දනහිස දක්වා එම වතුරේ බසින්නට කඳවුරු වැසියන්ට සිදු වූ බව ද ඇය පවසයි.




Comments

  1. ජාතික අසමගිය වගේම තම ජාතියද බෙදා වෙන්කරන්නේ දේශපාලකයින් විසින් තම පැවැත්ම උදෙසාය. අන්ධ ජනයා තම වර්ගයාටම එරෙහිව ආයුධ ඔසවන්නේ දුර නොදකින දෑසින් දේශපාලක බලකායන් වෙත පවතින සදාකාලික වහල්භාවය හේතුවෙනි. මේ මිහිමත විනාශකාරී යුද්ධයකින් සාමය කිසිදා බිහිවී හෝ බිහිවීමට ඉඩක් නොමැත. යුද්ධ පවතින්නේ මනුෂ්‍යත්වයට එරෙහිවයි. මනුෂ්‍යත්වය මියගිය කල සාමය පවතින්නේ තිරිසන් මනස් වල විය හැක. සැබෑ සාමය බිහිවිය යුත්තේ එකිනෙකාගේ හදවත් තුලිනි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා