ෆොන්සේකාගේ කතාව විශාලනය කර පෙන්වන අයගේ අරමුණ රාජපක්ෂලා පන්නා මුල් පුටු සියතට ගැනීම ද?


(2009 දෙසැම්බර් 23 - W3Lanka) ශ්‍රී ලංකා යුද හමුදාවට යටත්වන එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ට වෙඩි තබන ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවේ 58 වැනි සේනාංකාධිපතිවරයාට ආරක්ෂක ලේකම්වරයා නියෝග කළ බවට හිටපු හමුදාපති සරත් ෆොන්සේකා විසින් නඟන ලද හා පසුව ඉල්ලා අස් කර ගන්නා ලද චෝදනාව ලංකා ආණ්ඩුවට අපකීර්තියකි. එසේ ම ජනාධිපතිවරණයේදී ආණ්ඩුව වාසි ලබා ගැනීම පිණිස එම ප්‍රකාශය විශාලනය කර ප්‍රදර්ශනය කිරීම ද ඒ තරමට ම හානිකර වී තිබේ. 


රාජ්‍ය තාන්ත්‍රිකව කළ යුතු ආකාරයට නීති ප්‍රකාර නොවන අත්තනෝමතික ඝාතන පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ සම්බන්ධීකාරක පිලිප්ස් ඇල්ස්ටන් විසින් ලංකාවේ රජය වෙත යොමු කරන ලද ලිපියට පිළිතුරු ලිවීමටත් පෙරාතුව ආණ්ඩුව එක්සත් ජාතීන් විසින් රජයට විරුද්ධව යුද අපරාධ නඩු විභාගයක් කරන්නේ යයි ප්‍රචාරය කිරීම රට තුළදී කෙසේ වෙතත්, ජාත්‍යන්තරව නම් ආණ්ඩුවේ ප්‍රධානීන්ට මහත් සේ හානිකර ය. 


ආණ්ඩුවේ ඇතැම් ලොක්කන්ගේ ප්‍රකාශ එක්සත් ජාතීන් හා ප්‍රධාන පෙළේ රටවල් විසින් ගත යුතුව තිබෙන ක්‍රියාමාර්ග මේවා යයි පෙන්වා දීමක් වී තිබේ. 


නිදසුනක් ලෙස ජාතික ආරක්ෂක උපදේශක හා සේවයේ යෙදී සිටියදී යුද හමුදාපති සරත් ෆොන්සේකා සමග කතා නො කරන තත්වයක සිටි හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ පවසන ආකාරයට ලංකාවට යුද්ධාධිකරණයට පවා යාමට සිදුවන අතර බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වා ප්‍රමුඛ 58 වැනි සේනාංකයට ද ජාත්‍යන්තර යුද අධිකරණය හමුවේ පෙනී සිටීමට සිදු වනු ඇත.


"මෙවැනි තත්ත්වයක් මෑතකදී බොස්නියාවේත් සිදු වුණා. එම රටේ හිටපු නායකයන් වන රැඩවෑන් කැනඩික්ස්, ස්ලෝබොදාන් මෝල්ස්වික් යන දෙදෙනා ජාත්‍යන්තර යුද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු වරදකරුවන් වී සිරගත වුණා.එක් අයෙකු සිර ගෙදරදී මියගියා. අනෙක් පුද්ගලයා සිර දඬුවම් විදිමින් තවමත් සිටිනවා," යි කරන්නාගොඩ පවසයි.

එසේ ම සරත් ෆොන්සේකා කර තිබෙන ප්‍රකාශය නිසා හමුදාවට සහ පොලීසියට වාර්ෂිකව පුහුණුව සඳහා ලැබන ජාත්‍යන්තර ශිෂ්‍යත්ව නොලැබී යාමට ඉඩ ඇතැයිද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාම හමුදාවට සෑම වසරක ම කරන ආකාරයට ලංකා හමුදාවෙන් 1700 ක් පමණ බඳවා ගැනීමේ අවස්ථාව නොලැබී යාමේ අවදානමක් ඇතැයිද ඔහු කියයි. 


ඔහු මේ බව පවසන්නේ මේ කිසිදු ක්‍රියාමාර්ගයක් පිළිබඳව එක්සත් ජාතීන්ගේ අවධානය යොමු වීමට පෙරයි. 


එසේ ම නීති මහාචාර්ය ඇමති ජී.එල්. පීරිස් ද විචිත්‍ර ලෙස ලංකාව මුහුණ දිය හැකි තත්වය පිළිබඳ විස්තර කරයි. ඔහු කියන ආකාරයට ‍පිලිප්ස් ඇල්ස්ටන්ගේ ලිපිය හේතුවෙන් ලංකාව යුද අපරාධ හා මනුෂ්‍ය වර්ගයාට එරෙහිව අපරාධ සිදු කළ නීච රාජ්‍ය තත්වයකට පත් වන අතර දැඩි දණ්ඩනයන්ට ලක් වනු ඇත.


ජනාධිපති මහින්ද රාජපක්ෂ, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, 58 සේනාංකයේ හිටපු අණ දෙන නිලධාරි බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වා අනතුරට මුහුණ දී සිටින අය ලෙස හඳුන්වන පීරිස් මානව වර්ගයාට එරෙහිව කළ අපරාධ පිළිබඳව ස්පාඤ්ඤ උසාවියක වරෙන්තු මත චිලියේ හිටපු ඒකාධිපතියා වන පිනෝචේ වෛද්‍ය ප්‍රතිකාර පිණිස බ්‍රිතාන්‍යයට ගොස් සිටියදී අත්අඩංගුවට ගනු ලැබූ ආකාරය හා හිට්ලර්ගේ අනුගාමිකයන්ට එරෙහි නියුරම්බර්ග් යුද අපරාධ විනිශ්චය සභාවේ නඩු විභාග ආදිය පිළිබද විචිත්‍ර විස්තරයක් පසුගියදා මහවැලි කේන්ද්‍රයේ පැවති රජයේ පුවත්පත් සාකච්ඡාවකදී කළේ ය. ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් විදේස් රටවලදී අත්අඩංගුවට පත් විය හැකි බව ද ඔහු පවසයි. 

හිටපු හමුදාපති සරත් ෆොන්සේකා කළ ප්‍රකාශය ජාතික මෙන් ම ජාත්‍යන්තර ගැටලුවක් බවට පත්ව ඇතැයි අගමැති රත්නසිරි වික්‍රමනායක මහතා මාධ්‍යවේදීන් අමතා පැවැසීය.  

දැවැන්ත සටනකින් පසු අත්පත් කරගත් විජයග්‍රහණය පාවාදීමට උත්සාහ දැරීම යනු බරපතළ දේශද්‍රෝහි ක්‍රියාවක් බවත්, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අතපෙවීමට අවස්ථාවක් අපේක්ෂාවෙන් සිටි විජාතික බළවේගවලට ෆොන්සේකා ප්‍රවේශය සකස් කර දී ඇති බවත් ඒ මේ යුගයේ වේගවත් ම සිංහල දේශප්‍රේමී කථිකයා බවට පත් වී සිටින ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පවසයි. 


මේ ප්‍රකාශ නිකුත් වන්නේ එක්සත් ජාතීන් හෝ අන් පාර්ශ්වයක් හෝ විසින් මේ කිසිදු ක්‍රියාමාර්ගයක් පිළිබඳ සලකා බලන්නටත් පෙරයි. සරත් ෆොන්සේකාගේ ප්‍රකාශය කර ගසාගෙන යන පිරිස් එම චෝදනාවලින් අනතුරට පත් අය නො වන අතර, ආණ්ඩුවේ මුල් පුටු දෙස ඇස ගසාගෙන සිටින අය වීම විශේෂ ලක්ෂණයකි. රාජපක්ෂ පවුල දේශපාලයෙන් ඉවතට විසි වී යාම මේ අයගේ සත්‍ය ප්‍රාර්ථනය වී තිබේ. ඔවුන් මෙම චෝදනාව මෙතරම් විශාලනය කර දක්වන්නේ හා එක්සත් ජාතීන්ට පවා කළ යුතු දේ පිළිබඳ උපදෙස් දෙන්නේ රටට එයින් වන හානිය පිළිබඳ නොව තම උන්නතිය ගැන සිතා බව අපේ අදහසයි.





Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා