ජාතික රූපවාහිනියේ මාධ්‍ය පිළිවෙත කැතයි, නින්දිතයි, පිළිකුල් සහගතයි -එජාපෙ

(2009 දෙසැම්බර් 19 - W3Lanka) (එක්සත් ජාතික පෙරමුණේ මාධ්‍ය ඒකකය වන මීඩියා වොච් විසින් එවන ලද මාධ්‍ය නිවේදනයක් වන මෙය සංස්කරණයකින් තොරව පළ කරන්නේ අප එම දේශපාලන ස්ථාවරයේ සිටින නිසා නොව මෙහිදී පැහැදිලි අසාධාරණයක් සිදු වන හෙයින් බව අවධාරණය කරමි - සංස්කාරක) 

ජනාධිපතිවරණයේ නාම යෝජනා භාර ගත් අවස්ථාව සජීවී ලෙස ආවරණය කිරීමේ දී ශී‍්‍ර ලංකා රූපවාහිනී සංස්ථාව අනුගමනය කළ නින්දිත වූත්, පිළිකුල් සහගතවූත් පක්‍ෂග‍්‍රාහී කි‍්‍රයාකලාපය සමස්ථ රූපවාහිනී පේ‍්‍රක්‍ෂක ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ මූලික අයිතිය අමුඅමුවේ උල්ලංඝනය කිරීමකැයි ‘එක්සත් ජාතික පෙරමුණ’ කියා සිටීයි.


ජාතික වැදගත්කමකින් යුතු මෙවැනි අවස්ථාවක් පිළිබඳව ජනතාවට තොරතුරු වාර්තා කිරීමේ දී අපක්‍ෂපාතීව හා සමබරව එය කළ යුතු වූවත්, ජාතික රූපවාහිනිය මෙහි දී තම වගකීම පැහැර හරිමින්, විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක ජනරාල් සරත් ෆොන්සේකා මහතාට සිදු කළ අසාධාරණය මුළු රටට ම පැහැදිලිව දැක ගත හැකි විය. ඔහුගේ සේයාව රූපවාහිනී තිරයේ දිස් වූයේ තත්පර කිහිපයක් පමණකි.


රාජ්‍ය මාධ්‍යයෙන් විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකයාට කිසිදු සාධාරණයක් ඉටු නොවන බව පෙනේ. ඔහුගේ ප‍්‍රකාශ විකෘති කරමින් වැරදි අර්ථකථනයන් දීමට ද උත්සාහ දරනවා පමණක් නොව, දැන් ජනරාල් ෆොන්සේකා නමැති චරිතය පේ‍්‍රක්‍ෂක ජනතාව ඉදිරියේ යටපත් කිරීමේ නින්දිත ප‍්‍රයත්නයක ද රජය නිරත වී සිටින බව ජාතික රූපවාහිනියේ මේ විලිලැජ්ජා නැති මාධ්‍ය පිළිවෙතින් නැවත වරක් ඔප්පු වී තිබේ.


රාජ්‍ය මාධ්‍ය පවතින රජයට පක්‍ෂව කටයුතු කිරීම අරුමයක් නොවූව ද, ජාතික රූපවාහිනිය මෙතරම් නින්දිත හා පහත් තත්ත්වයට ඇද වැටුණු තවත් යුගයක් රූපවාහිනී ඉතිහාසයේ නොවීය. රාජ්‍ය රූපවාහිනියේ පක්‍ෂග‍්‍රාහී බව රහසක් නොවූවත්, ජනාධිපතිවරණ නාම යෝජනා භාරදීම වැනි ජාතික වැදගත්කමකින් යුතු අවස්ථාවකදීවත් මොවුන් අවම මට්ටමක හෝ සමබර පිළිවෙතක් අනුගමනය කරනු ඇතැයි ජනතාව බලාපොරොත්තු වූහ. එහෙත් එම අපේක්‍ෂාව ඉටු වූයේ නැත.


ජාතික රූපවාහිනියේ පිළිවෙත වඩාත් අසාධාරණ වන්නේ, නාම යෝජනා භාරදීමේ අවස්ථාව සජීවී ලෙස ආවරණය කිරීමේ අවසරය ලැබී තිබුණේ එම මාධ්‍ය ආයතනයට පමණක් බව සලකන විටය. සෙසු මාධ්‍ය ආයතනවල මාධ්‍යවේදීන් ද මැතිවරණ කාර්යාලය වෙත රැගෙන ගොස් තිබුණ ද ඔවුනට නිදහසේ කටයුතු කිරීමට ඉඩක් ලැබුණේ නැත. එම නිසා පේ‍්‍රක්‍ෂක ජනතාවට ජාතික රූපවාහිනිය දෙස පමණක් බලා සිටීමට සිදු විය.


ජාතික රූපවාහිනිය මේ ඓතිහාසික අවස්ථාව ඉතාමත් කුරිරු ලෙස ඒකපාක්‍ෂිකව යොදා ගත්තේය. රූපවාහිනිය එසේ කළේ මන්දැයි මාධ්‍ය අමාත්‍යවරයාගෙන් විමසූ විට ඔහුගේ පිළිතුර වූයේ, තමාට නම් එවැනි පක්‍ෂග‍්‍රාහී ස්වභාවයක් නොදැනුනු බවය. මුළු රටම ඇස්පනාපිට දුටු දේ ගැන කෙලින් කතා කරන්නට මාධ්‍ය අමාත්‍යවරයාට කොන්දක් තිබුණේ නැත. ජාතික රූපවාහිනියේ කි‍්‍රයා කලාපය තමන් අනුමත නොකරන්නේ යැයි පමණක්වත් අමාත්‍යවරයා කීවා නම්, ඔහුට සිය මධ්‍යස්ථභාවය රැක ගන්නට තිබුණි. එසේ ම, මෙම අවස්ථාවවත් සමබරව ආවරණය කළේ නම් මේ වන විට මුළුමනින් බිඳ වැටී ඇති ජාතික රූපවාහිනියේ විශ්වාසවන්ත භාවය යන්තමින් හෝ යළි ගොඩනඟා ගැනීමට ඉඩකඩ තිබුණි. එහෙත් ඒ කිසිවක් සිදු වූයේ ද නැත.


මේ සිද්ධියෙන් නැවත වරක් ඔප්පු වූයේ ආණ්ඩුව තුළ පවතින ‘‘සරත් ෆොන්සේකා භීතිකාව’’ යි. ජනරාල් ෆොන්සේකා දැනටමත් ජනාධිපතිවරණයේ ඉදිරියෙන් සිටින බව රූපවාහිනියේ මෙම පිළිකුල්සහගත මාධ්‍ය පිළිවෙතින් පැහැදිලිය. නාම යෝජනා අවස්ථාව පක්‍ෂග‍්‍රාහී ලෙස ආවරණය කළා පමණක් නොව, එම රූපරාමුවලට යටින් ජනසභා නිලධාරීන් සඳහා දහස් ගණනක් බඳවා ගන්නා බව කියන ප‍්‍රවෘත්තියක් ද නිරන්තරයෙන් ප‍්‍රකාශයට පත් කෙරිණ. රාජ්‍ය අංශයේ සියලූ පත්වීම් අවලංගු කර ඇති අවස්ථාවක මෙවැනි පුවතක් පළ කිරීමෙන් රජය බලාපොරොත්තු වන්නේ කුමක් ද යන්න පැහැදිලිය. නිදහස් හා සාධාරණ ජනාධිපතිවරණයක් සඳහා රාජ්‍ය මාධ්‍යයේ පාලනයට නිසි බලධරයකු පත් කිරීමේ හදිසි අවශ්‍යතාවය මේ සිද්ධීන්ගෙන් නැවත ඔප්පු වී තිබේ. මැතිවරණ කොමසාරිස්වරයාගේ කාර්යාලයේ සිටම ඔහුගේ මුහුණ ඉදිරියේ ම ඇති වූ මෙම තත්ත්වය කොමසාරිස්වරයාගේ ඇස් ඇරවීමට හේතුවන්නක් විය යුතු බව පවසන ‘එක්සත් ජාතික පෙරමුණ’ රාජ්‍ය මාධ්‍ය සඳහා නිසි බලධාරියකු නොපමාව පත් කරන ලෙස නැවත වරක් කොමසාරිස්වරයාට බල කර සිටී.


Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා