සරත් මදිවට චැනල් ෆෝ; වීඩියෝව සත්‍ය එකක් බව විශේෂඥ පවසයි



(2009 දෙසැම්බර් 16 - W3Lanka) ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සුදු කොඩි රැගෙන භාර වීමට පැමිණි කොටි සාමාජිකයන්ට වෙඩි තබන්නැයි බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වාට අණ කළේ යයි හිටපු හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා සන්ඩේ ලීඩර් පුවත්පතට කරන ලද ප්‍රකාශය වහත් ආන්දෝලනයක් ඇති කර තිබියදී, පසුගිය අගෝස්තු 04දා චැනල්-4 රූපවාහිනිය ඔස්සේ විකාශය වූ ලංකාවේ හමුදාව යයි සැක කරන සිංහල කතා කරන පිරිසක් විසින් දෙමළ යයි සැක කෙරෙන පුද්ගලයකු වෙඩි තබා මරා දමන දර්ශනය ඇතුළත් වීඩියෝ පටය අව්‍යාජ එකක් බව විශේෂඥයකු විසින් පවසා ඇත. 

බ්‍රිතාන්‍යයේ 'ද ‍ටයිම්ස්' පුවත්පත වෙනුවෙන් මෙම පරීක්ෂණය සිදු කර තිබෙන්නේ එක්සත් ජනපද රජයේ FBI පරීක්ෂණ කාර්යාංශයේ උපදේශකවරයකු හා කැනඩාවේ වැන්කුවර් පොලිස් වෝහාරික වීඩියෝ අංශයේ හිටපු ප්‍රධානී ග්‍රාන්ට් ෆ්‍රෙඩ්රික්ස් ය. 


ඩිජිටල් වෙනස් කිරීමක්, සංස්කරණයක් හෝ විශේෂ ප්‍රයෝග එකතු කිරීමක් වීඩියෝ පටයෙහි නැති බව ඔහු පවසයි. අවියේ බැරලයෙන් දුම් පිට වීම වැනි නිර්මානය කිරීම දුෂ්කර සත්‍ය වෙඩිතැබීම් හා සම්බන්ධ සියුම් විස්තර වීඩියෝවේ අඩංගු බව ඔහු පවසයි.


නළුවන් යොදා ගත් බවට ඇති චෝදනා ප්‍රතික්ෂේප කළ හිකි ප්‍රබල සාක්ෂි ඇති බව ද ඔහු පවසයි. එවැනි අවියක් හිස් පතුරමක් යොදාගෙන හෝ හිසට එතරම් ආසන්නයෙන් පත්තු කළහොත් වායු නිකුත් වන වේගය හේතුවෙන් 'නළුවකුට' පවා ජීවිත හානි සිදු විය හැකි බව ඔහු පවසයි. 


චිත්‍රපටවල පෙන්වන ආකාරයට ඉදිරියට නොව මෙවැනි ඝාතනයකදී පුද්ගලයා සත්‍ය ලෙස වැටෙන්නේ පිටුපසට බව ද ඔහු පෙන්වා දෙයි.


වීඩියෝවේ පෙන්වන දෙවන සිරුරේ තුවාලයෙන් වෑහෙන රුධිරය සංස්කරණයකින්, කැමරා කෝණ වෙනස් කිරීමකින් හා විශේෂ ප්‍රයෝගවලින් තොරව නිර්මානය කළ නො හැකි බව ද වීඩියෝව තාක්ෂණික ප්‍රබන්ධයකැයි පෙන්වා දීමට හැකි වැරදි එහි කිසිදු තැනක දක්නට නැති බව ද විශේෂඥයා පවසයි.


සැප්තැම්බරයේදී ලංකාවේ රජය විශේෂඥ වාර්තා පදනම් කර ගනිමින් පැවසුවේ මෙම වීඩියෝ පටය උසස් කැමරාවකින් රූපගත කර, සංස්කරණය කර, විශේෂ ප්‍රයෝග යොදා, පසුව ජංගම දුරකථනයකට මාරු කර ඇති බවයි.


ග්‍රාන්ට් ෆ්‍රෙඩ්රික්ස්ගේ වාර්තාවේ පිටපතක් මේ වන විට ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ලබා ගෙන තිබේ.



Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා