එක එක බළලුන් එක එක මලුවලින් එළියට එන යුගයක්


(2009 දෙසැම්බර් 13 - W3Lanka) සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීම සහ රිවිර පුවත්පතේ ප්‍රධාන කර්තෘ උපාලි තෙන්නකෝන් මහතාට පහරදීම පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම සඳහා රහස් පොලිස් කණ්ඩායම් දෙකක් අලුතින් පත්කර ඇති බව ද, මෙතෙක් මෙම සිද්ධීන් සම්බන්ධයෙන් කැර ඇති විමර්ශනයන් ගැන දැඩි අවධානය යොමු කරන බව ද  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් උපුටා දක්වමින් ‘සිළුමිණ’ කියයි.


පොලිස්පති මහින්ද බාලසූරිය මහතාගේ උපදෙස් මත රහස් පොලිසිය බාර නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතාගේ මෙහෙයවීමෙන් සහකාර පොලිස් අධිකාරි සේනක කුමාරසිංහ මහතා ඇතුළු කණ්ඩායම් දෙකක් පරීක්ෂණ අරඹා ඇත.


වික්‍රමතුංග මහතාට අයත් ජංගම දුරකථනය සමග පුද්ගලයකු පොලිස් අත්අඩංගුවට පත් වූ අතර උපාලි තෙන්නකෝන් මහතාට පහරදීම පිළිබඳ කිසිවෙකු මේ වනතුරුත් අත්අඩංගුවට ගෙන නැත.

මෙම සමයේදී ම තවත් මාධ්‍යවේදීන් ගණනාවක් මරා දමන ලද අතර, තවත් පිරිසකට අඩන්තේට්ටම් කෙරිණි.මෙම ක්‍රියා හා එසමයේ සිදු වූ තවත් පැහැර ගැනීම්, ඝාතන හා අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් ද තවමත් කිසිවකු දඬුවම් ලබා නැත. 

දැන් පරීක්ෂණ කඩිනම් කර තිබෙන සිද්ධි දෙක සම්බන්ධයෙන් එකල ඇතැම් මාධ්‍ය හා විපක්ෂය විසින් හිටපු හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකාට චෝදනා කරන ලදී. ඔහු දැන් විපක්ෂ පොදු අපේක්ෂක ලෙස ජනාධිපතිවරණයට තරග කරයි.


මේ අතර, විපක්ෂ ජනාධිපතිවරණ ව්‍යාපාරයේ ප්‍රකාකයෙක් අප වෙත පැවසුවේ සෙසු සිද්ධි සම්බන්ධයෙන් ජනවාරි 26 සරත් ෆොන්සේකා ජයග්‍රහණය කළ පසු පරීක්ෂණ ආරම්භ වනු ඇති බවයි.




Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා