සිංහලයන්ගේ හරා-කිරි දේශපාලනය



අජිත් පැරකුම් ජයසිංහ -


ලංකාවේ සිංහල පාලකයන් දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය සමග යුද්ධය දිනුව ද, ලද අවස්ථාව තිරසාර සාමය සඳහා අවශ්‍ය ජනවාර්ගික සමගිය ගොඩනැඟීම සඳහා අවශ්‍ය රාජ්‍ය ප්‍රතිසංස්කරණ ඇති කිරීම සඳහා යොදා නො ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස දෙමළ ඊලාම්වාදය නැවත වරක් වෙනස් මුහුණුවරකින් සාර්ථක ලෙස හිස ඔසවමින් තිබෙනු දක්නට ලැබේ. වෙන ම දෙමළ ඊලාම් රාජ්‍යයකට කැමති ද නැද්ද යන කරුණ සම්බන්ධයෙන් දෙමළ ජාතිකවාදීන් විසින් ප්‍රංශයේ දෙමළ විදෙස්ගත ප්‍රජාව අතර පවත්වන ලද ජනමත විචාරණයකදී 99%ක්දෙනා ඊලමට පක්ෂව ඡන්දය දී ඇති බව ටැමිල්නෙට් වාර්තා කළේ ය. වයස 18ට වැඩි ලාංකික දෙමළ 31,148ක් මෙම ඡන්දයට සහභාගි වී ඇත.


කොටි සංවිධානයේ පරාජයත් සමග දෙමළ විදෙස්ගත ප්‍රජාවේ දෙමළ ජාතිකවාදීන්ගේ උපාය මාර්ගය වී තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී අයුරින් ඊලාම් අරගලය ඉදිරියට ගෙන යාමයි. මේ සඳහා එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ඉතිරි වී සිටින කොටස් විසින් යෝජනා කර ඇති ඊලාම් පාරජාතික පාලනයට එතරම් හොඳ ප්‍රතිචාරයක් ලැබී නැති වුව ද, දෙමළ ඊලමක් පිහිටුවීම සඳහා 1976දී දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ විසින් සම්මත කර ගන්නා ලද වඩුක්කොඩෛ යෝජනාව යළි වලංගු කර ගැනීම සඳහා ක්‍රියාමාර්ග මේ වන විට දෙමළ ජාතිකවාදීන් විසින් ඉදිරියට ගනිමින් තිබේ.


මෙවැනි මැතිවරණයක් මීට මාස කීපයක‍ට පෙර නෝර්වේහිදී ද පැවැත්විණි. ජනමතවිචාරණ දෙමළ ජාතිකවාදී අරගලයේ මූලික පදනම යුක්තියුක්ත කිරීම සඳහා ඉවහල් කර ගනු ලබන අතර, පාරජාතික පාලනය හෝ වෙනත් ක්‍රමවේදයක් අවශ්‍ය වනු ඇත්තේ සටන ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක ඉදිරියට ගෙන යාමටයි.


ලංකාවේ දෙමළ ජනයා රාජ්‍යය තුළ සම තැන් වෙනුවෙන් කරන ඉල්ලීමට ලොව පුරා පිළිගැනීමක් තිබේ. දෙමළ ඊලම මෙහිදී පරමාදර්ශී ඉල්ලීමක් ලෙස යුක්තියුක්ත වනමුත් ප්‍රායෝගිකව දෙමළ ඊලාමක් සඳහා ලෝක සහයෝගයක් නැත. ලංකාවේ සිංහල අධිපතිවාදී රාජ්‍යයට නෛතික රාජ්‍ය බලය හිමි වී තිබුණ ද, සුළු ජාතීන් අන්තර්ග්‍රහණය කර ගන්නා රාජ්‍ය ප්‍රතිසංස්කරණයක් නො කරන තාක් කල් එය සදාචාරාත්මකව දුර්වල ය. සිංහල ජාතිකවාදීන්ට මෙම දුර්වලකම ආවරණය කර ගැනීම සඳහා මැයි 18දා දක්වා පිහිටට සිටියේ වේලුපිල්ලෛ ප්‍රභාකරන් ම ය. ඔහුගේ අනම්‍යශීලිත්වය හා සීමාන්තික ප්‍රචණ්ඩත්වය සිංහල ආණ්ඩුවේ ක්‍රියාමාර්ග සාධාරණීකරණය කිරීමට උපකාරී විය.


යුද්ධයේ අවසන් අවධිය නිරීක්ෂණය කරන යාපනය විශ්වවිද්‍යාලයේ මානව හිමිකම් පිළිබඳ ආචාර්යවරු සංවිධානය පවසන්නේ දෙපාර්ශවයට ම යුදමය ආධිපත්‍යය සඳහා යතුර තිබුණේ දක්ෂ යුද මූලෝපායන් තුළ නොව මුළු හිතින් ම පෞද්ගලික බලය හඹා ගිය නායකයන් විසින් සිවිල් වැසියන්ගේ හා සටන්කරුවන්ගේ ජීවිත ආරක්ෂාව එක ලෙස නො තකමින් ගෙන ගිය ක්‍රියාකලාපය තුළ බවයි. (For both parties, the key to military dominance lay not in brilliant strategies, but in an utter disregard for the lives of civilians and combatants alike, driven by their leaders’ single-minded pursuit of personal power.)


කෙසේ වෙතත්, දකුණේ දේශපාලන ප්‍රජාව දකින්නේ මෙය වීරත්වයක් ලෙසයි. සිංහලයන් බහුතරය දෙව්දතුන්ට පවා මෛත්‍රී කළ තිලෝගුරු බුදුරදුන්ගේ දහම අදහන්නන් වුව ද, ජාත්‍යන්තර යුද නීතිය අනුව යටත් වීමට සුදු කොඩි රැගෙන එන කොටි සටන්කරුවකු වෙඩි තබා මරා දැමීම වුව වරදක් ලෙස පිළි ගන්නේ නැත. සිංහල ජාතිකවාදී දෘෂ්ඨිවාදී නායකයන් වන නලින් ද සිල්වා, ගුණදාස අමරසේකර වැනි අය ශිෂ්ඨ ලෝකය විසින් සම්මත කරගෙන තිබෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රඥප්තිය පවා නිර්දය ලෙස විවේචනය කරන අයයි.


සිංහල ධනේශ්වර නායකයන් අතර කොල්ලකාරී දේශපාලන ජාවාරමේ ආධිපත්‍යය හෙවත් රාජ්‍ය බලය හිමි කර ගැනීම සඳහා තිබෙන කුළල් කා ගැනීමේදී පටු වාසි පිණිස ඔවුන් මෙම ආචීර්ණකල්පිත අතීතකාමී ජාතිවාදීන් සරණ යමින් ධනේශ්වර ලිබරල් ප්‍රතිපත්ති පාවා දුන්හ. ඒ ඔස්සේ දෙමළ ඊලම අනෙකා කර ගත් යුද්ධයක් ඔස්සේ රාජ්‍යය රැක ගැනීමට ඔවුන් සමත් වුව ද, මැයි 18දා කොටි සංවිධානය පරාජය වීමෙන් පසු සිදු වූ සුසමාදර්ශීය වෙනස තුළ දැන් අර්බුදය උත්සන්න වී තිබේ.


එක පැත්තකින් ලංකාවේ ධනවාදයට ලෝක ධනවාදය සමග ශක්තිමත් සම්මුතියක් ඇති කර ගැනීමට භූ දේශපාලනික තත්වයන් විසින් බල කරමින් තිබේ. අනෙක් පැත්තෙන්, ඒ සඳහා අවශ්‍ය පරිවර්තනය අත්පත් කර ගැනීමට වැඩවසම්වාදී පසුගාමිත්වයන්ගෙන් පෝෂණය වී සිටින වත්මන් පාලක පැළැන්තිය අසමත් වී තිබේ. බරවා කකුලක් වි තිබෙන මෙම පාලනය ඉවත් කිරීමට දේශීය හා ලෝක ධනවාදීන්ට අවශ්‍ය වී ඇත්තේ මෙම සංදර්භය තුළයි. එහෙත්, ලංකාවේ ශක්තිමත් මධ්‍යම පංතියේ දේශපාලන ආධිපත්‍යය තුළ මෙය ලෙහෙසි පහසු කාර්යයක් නො වේ. රාජ්‍යය විසින් සූරාකන අතිරික්ත ශ්‍රමය රාජ්‍ය අංශයේ වැටුප්, කොන්ත්‍රාත්, සහනාධාර ආදිය හරහා භුක්ති විඳින මෙම අලස සමාජ පංතිය රාජ්‍ය මූලික ධනවාදය සමග දැඩිව බැඳී සිටියි. එය වෙනස් වීම ඔවුනට දරා ගත නො හැකි ය. එහෙත්, ලංකාවේ ධනවාදයට ද‍ තව දුරටත් මෙකී අකාර්යක්ෂම, දූෂිත රාජ්‍යය කර ගසාගෙන ඉදිරියට යා නො හැකි ය. එසේ ම යුද්ධය දිනූව ද ආර්ථික සාමය චිරස්ථායී කර ගැනීම සඳහා ජාතීන් අනුකලනය කර ගැනීමට රාජ්‍යය සමත් විය යුතු බව ධනවාදීහු දනිති.


ලංකාවේ රාජ්‍යය දූෂිත එකක් යයි කීම සත්‍යය අවප්‍රමාණ කිරීමකි. ඇත්ත වශයෙන් ම සිදු වෙමින් ඇත්තේ මහ දවල් මංකොල්ලයකි. එවන් කොල්ලකාරී පාලනයකට ප්‍රජාතාන්ත්‍රික බලය මාරු වීමක් දරා ගත නො හැකි ය. දණ්ඩනයෙන් මුක්ත සම්මුති සහගත පසුබිමක් සඳහා අවකාශයක් විවර කර ගැනීමට ද ඔවුහු අසමත් වී සිටිති. සීමාන්තික ලෙස රාජ්‍ය බලය හා සම්පත් යොදාගෙන මැතිවරණ ප්‍රචාරක කටයුතු කරන්නට පාලකයන් පෙළඹෙන්නේ මෙම සංදර්භය තුළයි. එතැනින් තිරිංග තද වන්නේ ද නැත. සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීම සහ රිවිර පුවත්පතේ ප්‍රධාන කර්තෘ උපාලි තෙන්නකෝන් මහතාට පහරදීම පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම සඳහා රහස් පොලිස් කණ්ඩායම් දෙකක් අලුතින් පත්කර ඇති බව ද, මෙතෙක් මෙම සිද්ධීන් සම්බන්ධයෙන් කැර ඇති විමර්ශනයන් ගැන දැඩි අවධානය යොමු කරන බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් උපුටා දක්වමින් දෙසැම්බර් 13 ‘සිළුමිණ’ පැවසීය. පරීක්ෂණ කඩිනම් කර තිබෙන සිද්ධි දෙක සම්බන්ධයෙන් එකල ඇතැම් මාධ්‍ය හා විපක්ෂය විසින් හිටපු හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකාට චෝදනා කරන ලදී. එදා ම 'සන්ඩේ ලීඩර්' පුවත්පත වෙනස් අකාරයක බෝම්බයක් හෙළීය. කොටි සංවිධානයට එරෙහි යුද්ධයේ අවසන් දිනවල නෝර්වේ ජාත්‍යන්තර සංවර්ධන ඇමති එරික් සෝල්හයිම්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම්ගේ කාර්ය මණ්ඩල ප්‍රධානී විජේ නම්බියාර්, ජනමාධ්‍යවේදිනී මාරි කොල්වින්, ජාත්‍යන්තර රතු කුරුස කමිටුව හා විදේශ අමාත්‍යංශයේ හිටපු ලේකම් පාලිත කොහොන හා ජනාධිපති උපදේශක බැසිල් රාජපක්ෂ වැනි පුද්ගලයන් අතර සිදු වූ සන්නිවේදනයක් හරහා රජයට භාර වීම පිණිස සුදු කොඩි රැගෙන පැමිණි කොටි සංවිධානයේ දේශපාලන අංශ ප්‍රධානී බී. නඩේසන්, ඔහුගේ බිරිඳ, එල්.ටී.ටී.ඊ. සාම ලේකම් කාර්යාලයේ ප්‍රධානී එස්. පුලිදේවන්, සන්නද්ධ නායකයකු වූ රමේෂ් යන අය ඇතුළු භාර වූවන්ට වෙඩි තබා මරා දමන්නැයි එම මෙහෙයුම් භාරව සිටි බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වාට අණ කළේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් යයි විපක්ෂ ජනාධිපති අපේක්ෂක හිටපු හමුදාපති විශ්‍රාමික ජනරාල් සරත් ෆොන්සේකා සන්ඩේ ලීඩර් පුවත්පතට ප්‍රකාශ කළේය. පසුව ඔහු එසේ නො කී බව කීව ද ඒ වන විට හාිය සිදු වී හමාර ය. මේ වන විට සරත් ෆොන්සේකාගේ ප්‍රකාශයට පුළුල් ජාත්‍යන්තර ප්‍රචාරයක් ලැබෙමින් තිබේ. ඒ සමග ම විදෙස්ගත දෙමළ නායකයෝ ද ප්‍රතිචාර දක්වමින් සිටිති. IANS පුවත් සේවයට කැනේඩියානු දෙමළ කොංග්‍රසයේ නායක ඩේවිඩ් පූබාලපිල්ලෛ පැවසුවේ දෙමළ විදෙස්ගත ප්‍රජාව එක්සත් ජාතීන්ට, ජාත්‍යන්තර අධිකරණයට හා කැනඩාවේ, ඉන්දියාවේ රාජ්‍ය නායකයන් ඇතුළු ලෝක නායකයන්ගෙන් ලංකාවේ ජනාධිපතිට එරෙහිව නඩු විභාග කරන ලෙස ඉල්ලා ලිපි ලියමින් සිටින බවයි.


සිංහල දේශපාලනයේ වත්මන් ඛෙදවාචකය පසුගිය දිනෙක 'දි අයිලන්ඩ්' පුවත්පතේ කුතවැකියක් විසින් හඳුන්වා දී තිබුණේ 'හරා-කිරි' ප්‍රයත්නයක් ලෙසයි. 'හරා-කිරි' යනු සියතින් බඩ කපාගෙන මිය යාමේ සම්ප්‍රදායික ජපන් සිය දිවි නසා ගැනීමේ ක්‍රමයකි.



Comments

  1. අජිත් ගේ ගොං පාට් දේශපාලන ව්ග්ගරහය

    ReplyDelete
  2. අජිත් තෙරුම් ගන්න ඕන පිටරැටියොත් මහ බොරුකාරයො බව. එයාට ලාංකිකයො විතරයි බොරුකාරයො. ඔක්කොම බොරුකාරයො වංචාකාරයො.

    ReplyDelete
  3. අජිත් මහත්තයො.. ගෙදර ගෑණි මිනිහා කොළඹ වැඩ ඇරිල ගෙදර එනකන් විඳපු දුක ඔබ තුමා නොදන්න කාරණයක්‌ වෙන්න ඇති නේද?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා