මම කවුරුවත් හිරේ දානවා කියලා කියන්නේ නැහැ. නමුත් කැපවීමක් කරන්න වේවි - ෆොන්සේකා



(2009 දෙසැම්බර් 15 - W3Lanka) ජනාධිපතිවරණයේ විපක්ෂ පොදු අපේක්ෂක සරත් ෆොන්සේකා ජයග්‍රහණය කළහොත් වත්මන් පාලකයන්ට සිදු වන දේ පිළිබඳව ඉඟි කෙරෙන කතාවක් පසුගිය 13දා ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කරන ලද විද්වත් හමුවකදී කළේ ය.

"රටවල් දියුණු වුණේ වංචාව දූෂණය නතර කරලා. ඇතැම් රටවල්වල ඇමතිවරුන්ට හිරේ යන්න වුණා. සමහරු දිවි නසා ගත්තා. මම කවුරුවත් හිරේ දානවා කියලා කියන්නේ නැහැ. නමුත් කැපවීමක් කරන්න වේවි," යි ෆොන්සේකා පැවසීය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ ජය ගතහොත් සිදු වීමට ඉඩ ඇත්‍තේ ද මෙවැනි ම දේ බවට රජය විසින් ද ඉඟි කරමින් තිබේ. මෙම තත්වය හමුවේ ජනාධිපතිවරණය ඉතිහාසයේ අන් කිසි කලෙක නො වූ අන්දමේ 'මියෙම්වා! රැකෙම්වා!' සටනක් වන ලකුණු දක්නට ලැබේ. 

ෆොන්සේකා විසින් පවත්වන ලද සම්පූර්ණ කතාව මෙසේ ය.


‘‘දැන් කියනවා විශ‍්‍රාම යන්න හිටපු සරත් ෆොන්සේකා හමුදාපති ධුරයට පත් කළා කියලා. ඒක පට්ටපල් බොරුවක්. කලින් හමුදාවේ විශ‍්‍රාම යන වයස අවුරුදු 55යි. චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය ඒක අවුරුදු 58 දක්වා වැඩි කළා. ඒ වගේම හමුදාපති කෙනෙකු අවුරුදු තුනක් එම ධුරයේ කටයුතු කළ යුතු බවත් නිර්දේශ කළා. මට කලින් හිටපු හමුදාපති විශ‍්‍රාම යන කොට මට අවුරුදු 55යි. ඔහු අවුරුදු එක හමාරක් හිටියා. තවත් එක හමාරක් හිටියා නම් මගේ වයස අවුරුදු පනස් හය හමාරයි. ඒ වෙන කොට මම දෙවැනියා නිසා විශ‍්‍රාම යන්න අවුරුදු එකහමාරකට කලින් මට හමුදාපති වෙලා තවත් අවුරුදු තුනක් හමුදාපති විදියට වැජඹෙන්න තිබුණා.


ඊළඟට කියනවා මට යුද්ධය ඉගැන්නුවා කියලා. මට යුද්ධය උගන්වලා තිබෙන්නේ යුද්දෙට බයේ පැනලා ගිහින් අවුරුදු 15ක් විදේශයක කොම්පියුටර් ඔපරේටර් කෙනෙක් විදියට වැඩ කළ කෙනෙක්. සාමාන්‍යයෙන් කොම්පියුටර් ඔපරේටර් කෙනෙක් හමුදාවට බඳවා ගන්නේ කෝප‍්‍රල් කෙනෙක් විදියටයි. මම ඉහළ නිලධාරියෙක් ලෙස සිටියදීත් හමුදාවේ ඉදිරිපෙළ බලඇනිවලට අණ දුන්නා. දෙවරක් තුවාල ලැබුවා. රිවිරැුස වගේ මෙහෙයුම්වලට සහභාගි වුණා. එතකොට ඒ පුද්ගලයා කොමිපියුටර් එක්ක සටන් කළා. එහෙම කෙනෙක් තමයි මෙහෙට ඇවිත් මට යුද්ධ කරන්න ඉගැන්නුවේ. මම මේ කතාව කිව්වේ දැන් යුද්ධය විකුණාගෙන කන නිසා.


දැන් හැම තැනම මගේ ප‍්‍රතිවාදියා කටවුට් දාලා. පාරේ මැද ලයිට් කණුවලත් කටවුට්. දකුණු පැත්තේ ලයිට් කණුවලටත් කටවුට්. වම් පැත්තේ ලයිට්කණුවලත් කටවුට්. සමාවෙන්න මෙහෙම කියනවාට, සුනඛයකුටවත් පාවිච්චි කරන්න ලයිට් කණුවක් නැහැ. සුනඛයන්ට ඒ වැඬේ කරන්නත් වෙන්නේ කටවුට්වලට. මීටර් හතරෙන් පහෙන් කටවුට් දාලා තියෙන්නේ, ජනතාවට ඊට වඩා දුර පේන්නේ නැහැ කියලා ඒවා දාන අය හිතන නිසා වෙන්න ඇති. නමුත් අපි දන්නවා ජනතාවට ඊට වඩා දුර පේනවා කියලා.


රටට කොඩි විනයක් වුණු ඒකාධිපති ජනාධිපති ධුරය මම අහෝසි කරනවා.ඒක කරන්න බැරි වුණොත් ඉල්ලා අස් වෙනවා. වැඩක් නොකර පිංපඩි ගන්න මම කැමති නැහැ.


වෘත්තිය වේදීන්ගේ ගැටළු ගැන මට අවබෝධයක් තිබෙනවා. අවුරුදු හතලිහක් රජයේ රැුකියාවක් කළ එකම දේශපාලනඥයා මම වෙන්න ඇති. සුදුස්සා හඳුනා නොගැනීම, සුදුස්සාට නිසි තැන නොදීම නිසා දැන් ඇති වී තිබෙන්නේ ඉතා දුක්ඛදායක තත්වයක්. එය වෙනස් විය යුතුයි. මම හමුදාවේ ඒ වෙනස සිදු කළා.


මම පසුගියදා රැුස්වීමකදී කිව්වාම රජයේ සේවකයින්ට රුපියල් 10,000කින් වැටුප් වැඩි කරනවා කියලා, ඒක අහපු ඇමතිවරුන්ට කලන්තෙ දාලා වැටුණා. එක ඇමතිවරයෙක් කියනවා රජයේ සේවකයින්ට වැටුප් වැඩි කිරීම ගැන කතා කරන්නේ ආර්ථික විද්‍යාව ගැන දන්නේ නැති නිසා කියලා. මම කොහේ හරි කිව්වොත් බඩු මිල අඩු කරනවා කියලා ඒකටත් කියාවි ආර්ථික විද්‍යාව දන්නේ නැහැ කියලා. එහෙම නම් පඩි වැඩි කළොත් බඩු මිල අඩු කළොත් ඒවා කරන්නේ ආර්ථික විද්‍යාව ගැන දැනුමක් නැති නිසා. ඔය කතාව කියපු පුද්ගලයා සාමාන්‍ය පවුලකින් ආපුකෙනෙක්. දැන් ඔහුගේ ආදායම් තත්වය බැලූවාම තේරුම් ගන්න පුළුවන් පඩි වැඩි කිරීමට විරුද්ධ ඇයි කියලා.


රටවල් දියුණු වුණේ වංචාව දූෂණය නතර කරලා. ඇතැම් රටවල්වල ඇමතිවරුන්ට හිරේ යන්න වුණා. සමහරු දිවි නසා ගත්තා. මම කවුරුවත් හිරේ දානවා කියලා කියන්නේ නැහැ. නමුත් කැපවීමක් කරන්න වේවි.’’



Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා