ජනාධිපතිවරණය පැවැත්වෙන අතරතුර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නීතිමය පසුබිම

(2009 දෙසැම්බර් 20 - W3Lanka) ශ්‍රී ලංකා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 62 (2) වගන්තිය අනුව සෑම පාර්ලිමේන්තුවක්‌ම රැස්‌වූ මුල් දවසේ සිට අවුරුදු 6 ක්‌ සම්පූර්ණ කළ දිනයේදී ඉබේම විසුරුවා හැරේ. වත්මන් 13වන පාර්ලිමේන්තුව මුල්වරට රැස්‌වූයේ 2004 අප්‍රේල් 22 දා බැවින් පාර්ලිමේන්තුව 2010 අප්‍රේල් 22 වැනිදා ස්‌වයංක්‍රීයව විසුරුවා හැරේ. 

පාර්ලිමේන්තුව ඉබේම විසිරුවා හැරුණහොත් ව්‍යවස්‌ථාමය අර්බුදයක්‌ හටගත හැකි ය. එහෙයින් නිසා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත්, නව පාර්ලිමේන්තුවක්‌ තෝරා පත්කර ගැනීම සඳහා දින නියමය කිරීමත්, නව පාර්ලිමේන්තුව රැස්‌වන දිනය නියම කිරීමත් කල් තබා කළ යුතුය. 

ව්‍යවස්‌ථාවේ 70 (1) වගන්තිය අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමටත්, කැඳවීමටත් බලය ඇත්තේ ජනාධිපතිවරයාටය. ව්‍යවස්‌ථාවේ 70 (5) වගන්තිය අනුව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසිරුවා හරිමින් ප්‍රකාශයක්‌ නිකුත් කරන විට එයත් සමගම අලුත් පාර්ලිමේන්තුව මුල්වරට රැස්‌වන දිනය ද නියම කළ යුතුය. ව්‍යවස්‌ථාවේ 70 (5) (අ) (ආ) සහ (ඇ) වගන්ති අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත්, ඡන්දය සඳහා නාම යෝජනා කැඳවීමත්, ඡන්දය පැවැත්වීමත්, ඡන්ද ප්‍රතිඵලය ප්‍රකාශයට පත් වීමත් සහ නව පාර්ලිමේන්තුවේ පළමුවන රැස්‌වීම පැවැත්වීමත් යන සියල්ල මාස තුනක උපරිම කාල පරාසයක්‌ තුළ සිදුවිය යුතුය.


1981 අංක 1 දරන පාර්ලිමේන්තු ඡන්ද පනතේ 10 වැනි වගන්තිය මේ කාල පරාසයන් පිළිබඳ වඩාත් සවිස්‌තර කරුණු ගෙනහැර දක්‌වයි. මෙකී වගන්තියට අනුව පාර්ලිමේන්තු මැතිවරණයක්‌ කැඳවමින් ජනාධිපතිවරයා ප්‍රකාශයක්‌ නිකුත් කිරීමෙන් දින 10 ක්‌ ගෙවුණු තැන නාම යෝජනා භාර ගැනීම ආරම්භ වෙයි. ඊට දින 7 කට පසු නාමයෝජනා භාර ගැනීම අවසන්වෙයි. නාමයෝජනා භාර ගැනීම අවසන් වූ දින සිට සති 5 සිට 7 දක්වා කාලය ඇතුළත මැතිවරණය පැවැත්විය යුතුය. 

මේ අනුව බැලුවොත් පාර්ලිමේන්තු මැතිවරණයක්‌ පවත්වා අලුත් පාර්ලිමේන්තුව රැස්‌වන දිනය නියම කිරීම සඳහා අවම වශයෙන් මාස 2 ක්‌ වත් තිබිය යුතුය. එනම් නාමයෝජනා භාර ගැනීමට දින 17 කුත් එතැන් සිට ඡන්ද දවස වන තුරු සති 5 ක අවම විරාමයකුත් වශයෙන්ය. මේ අවම කාල පරාසය අපි සැලකිල්ලට ගතහොත් ජනාධිපතිවරයාට පෙබරවාරි 22 වැනිදාට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සිදුවනු ඇත. සියලු දේ ව්‍යවස්‌ථාවෙන් නියමිත අවම කාල පරාසයන් තුළ කිරීම ප්‍රායෝගික නැති නිසා පෙබරවාරි 22 වැනිදාට වඩා බොහෝ කලින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සිදුවනු ඇත.


ජනාධිපතිවරණයක්‌ කැඳවා තිබෙන අවස්‌ථාවක පාර්ලිමේන්තු ඡන්දයකුත් කැඳවිය නොහැකි යෑයි ව්‍යවස්‌ථාවේ කොතනකවත් සඳහන් වී නැත. ඇත්ත වශයෙන්ම ව්‍යවස්‌ථාවෙන් මෙවන් තත්ත්වයකට විශේෂ විධිවිධාන පවා සලසා ඇත. උදාහරණයක්‌ වශයෙන් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 70(6) වගන්තිය අනුව යම් හෙයකින් ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය පාර්ලිමේන්තු ඡන්දයක්‌ ප්‍රකාශයට පත් වීමත් අලුත් පාර්ලිමේන්තුව රැස්‌වන දිනයත් අතර කාල පරාසය තුළට වැටෙන්නේ නම් අලුත් පාර්ලිමේන්තුව රැස්‌විය යුතු දිනය අවශ්‍ය වුවහොත් මාසයකින් කල් දැමීමට පවා විධිවිධාන සලසාදී ඇත. 

(මෙම කරුණු උපුටා ගනු ලැබුවේ නීතිඥ සී.ඒ. චන්ද්‍රප්‍රේම විසින් නොවැම්බර් 23දා දිවයින පුවත්පතට ලියන ලද ලිපියකිනි.)



Comments

  1. කැමෙන් හොඳ කැම ඉල්ලාගෙන කැම.මතකද "කොළ පාට සමාජය"මල්ලිට.චන්ද්‍රප්‍රේමගේ උස අඩි 6ක් වුනාට මොලේ ග්‍රැම් 75යි.මොලේ මඤ්ඤං.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා