දඹර අමිල හිමි අත්අඩංගුවට ගැනීම පිටුපස විමල්?

(2009 දෙසැම්බර් 28 -W3Lanka) රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද දේශහිතෛෂී ජාතික මධ්‍යස්ථානයේ සභාපති පුරාවිද්‍යා විශාරද අධිකරණ සංඝ නායක පූජ්‍ය දඹර අමිල හිමියන් රිමාන්ඩ් භාරයට ගෙන යාම සදහා රැගෙන ගිය වාහනයේ සිටි පොලිස් නිලධාරියකුගේ ජංගම දුරකථනයට කතා කර විස්තර විමසූ විමල් වීරවංශ මන්ත්‍රීවරයා හිමියන් සමග කතා කිරීමට උත්සාහ කර ඇති මුත් එහිමි එය ප්‍රතික්ෂේප කර ඇති බව ද වාර්තා වේ. 

විමල් වීරවංශ සහ දඹර අමිල හිමි කලක් දේශ ශිතෛෂී ජාතික ව්‍යාපාරයේ නායකයන් ලෙස එකට කටයුතු කළ අතර විමල් ජවිපෙන් වෙන් වූ පසු අමිල හිමි එම සංවිධානයෙන් වෙන් වී දේශහිතෛෂී ජාතික මධ්‍යස්ථානය බිහි කර දිගට ම ජවිපෙට සමීපව කටයුතු කළේ ය.



දිනමිණ පුවත්පතට අනුව, පුද්ගලයන් රවටා විවිධ රටවලට යවන බවට පොරොන්දු වී දඹර අමිල හිමියන් මුදල් ලබාගත් බවට මේ වන විට පැමිණිලි 15 ක් ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අයි. එම්. කරුණාරත්න පවසයි. වංචාවට හසු වූ තවත් පුද්ගලයන් පැමිණිලි කිරීමට ඉදිරිපත් වනු ඇතැයි ද පොලිසිය විශ්වාසය පළ කරයි. ඒ අනුව බලන විට දඹර අමිල හිමියන් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ අනාගතයේ එන පැමිණිලි ද වෙනුවෙනි.


මේ පැමිණිලි ලැබීමෙන් පසු සිදුකළ විමර්ශන මඟින් සැකකාර හිමියන් තවත් කීප දෙනකුගේ සහාය ඇතිව දිගුකලක සිට මේ වංචාව සිදුකර තිබෙන බවට හෙළිව ඇතැයි පොලීසිය කියයි. එසේ නම් පැමිණිලි ලැබී ඇත්තේ මෑතකදී විය යුතු ය. දිගු කලක සිට කරන ලද වංචාවක් සම්බන්ධයෙන් පැමිණිලි කිරීම පමා වී ඇත්තේ මන්ද?


දඹර අමිල නාහිමි රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීම පිළිබඳව කරුණු පැහැදිලි කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක් ඊයේ දේශහිතෛෂී ජාතික මධ්‍යස්ථානය විසින් හදිසියේම කැඳවා තිබිණි. එහිදී අදහස් දක්වමින් එම මධ්‍යස්ථානයේ ලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මහතා මෙසේ පැවසීය.


"මේක ඉතාම පැහැදිලි දේශපාලන පලිගැනීමක්. රට වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ පූජ්‍ය දඹර අමිල නායක හාමුරුවන්ගෙන් ඉතා පහත් අන්දමින් සිදු කළ දේශපාලන පලිගැනීමක්. මේක තමයි රාජපක්‍ෂ පාලනයේ ඒකාධිපති වියරුව. මේ වගේ පහත් බාල වර්ගයේ මර්දන ක‍්‍රියාමාර්ගවලින් අපව නතර කරන්න බැහැ. අපි තවත් ශක්තිමත් වෙනවා. තවත් ධෛර්යවත් වෙනවා. මේ තමයි රාජපක්‍ෂ මහත්තයාගේ වෛරී දේශපාලනය. මව්බිමේ නිදහස වෙනුවෙන් දඹල අමිල ස්වාමීන් වහන්සේ සමග පෙළ ගැහෙන්න අපි සූදානම්. ඒ වගේම අපි මේ රටේ සියලූ ප‍්‍රගතිශීලි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා පූජ්‍ය දඹල අමිල නාහිමි බේරා ගැනීම සඳහා පෙරමුණ ගන්නා ලෙස"


විජිත හේරත් මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය. "පූජ්‍ය දඹර අමිල හාමුදුරුවෝ කියන්නේ මේ රටේ නිදහස වෙනුවෙන්,ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් දිවි නොතකා සටන් කළ කෙනෙක්. උන්වහන්සේ පසුගිය 23 වැනිදා දේශහිතෛෂී ජාතික මධ්‍යස්ථානයේ මාධ්‍ය හමුවේදී,විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන,ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කරන නිර්පාක්‍ෂික පොදු අපේක්‍ෂක සරත් ෆොන්සේකා මහතාට සහාය පළ කරන බව පැවසුවා. ඒ වගේම 24 වැනිදා ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් කැපවූ තවත් ස්වාමීන් වහන්සේලා පිරිසක් සමග මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූවා. එදා සවස මේ "මහජරා" ආණ්ඩුවේ රහස් පොලිසියේ සුදු වෑන් රථයක් පැමිණ උන්වහන්සේගේ හොරණ පන්සලට ඇවිත් සොයා තිබෙනවා. ඒ වගේම ඊට පසුවදා උදේ සිවිල් ඇඳුමෙන් සැරසුනු රහස් පොලිස් නිලධාරියෙක් උන්වහන්සේව සොයා තිබෙනවා.


ඉන් පසුව අමිල හාමුදුරුවෝ පොලිස්පතිවරයාට කතා කොට මේ සම්බන්ධයෙන් ප‍්‍රශ්න කළාම ඔහු පවසා තිබෙනවා චෝදනා තුනක් ලැබී තිබෙනවා,ඒ ගැන ප‍්‍රශ්න කරන්න අවශ්‍යයි කියා. මේ දින කිහිපයම නිවාඩු දින නිසා,හාමුරුවෝ දැනුම් දුන්නා සඳුදා උදේ ඇවිත් ප‍්‍රකාශයක් දෙන්නම් කියා.


එහෙම තිබියදී උන්වහන්සේ ඊයේ හෝමාගමදී රැලියට සහභාගි වුණා. ඒ රැලියේදී නිදහස හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය උදෙසා අදහස් පළ කළා. ඉන් පසුව උන්වහන්සේගේ විශ්වවිද්‍යාල මිත‍්‍රයකුගේ දරුවකුගේ උපන් දිනයක් වෙනුවෙන් පිරිත් කියන්න ගියා. අද උදේ රහස් පොලිසියෙන් පැමිණ ප‍්‍රශ්න කරන්න තිබෙන බව පවසා රැගෙන ගොස් තිබෙනවා."


දඹර අමිල නාහිමියන් රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට විරෝධය දක්වමින් අද (28) සවස 2.00 ට කොටුව බෝධිය ඉදිරිපිටදී දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වීමට කටයුතු සංවිධානය වෙමින් පවතින බව ජවිපෙට සම්බන්ධ ලංකා ටෲත් වෙබ් අඩවිය පවසයි.






Comments

  1. මේ අපිලාට හිතෙන විදියට අය්යා,දඹර ලොකු හාමුදුරුවෝයි විරවංශලායි,කෙහෙලියලායි,බොගොල්ලාගමලයි,අරගොල්ලොයි,මේගොල්ලොයි ඒගොල්ලොයි ඔක්කොම ගොල්ලොයි හරි යාළුවෝනේ.දැන් මේ හාමුදුරුවෝ ගත්තයි කියන සල්ලි මේ කට්ටිය ඔක්කෝම අතරේ බෙදා හදා ගත්තාද කවුද දන්නේ.මොකෝ සාමාණ්‍යයේන් එකට ඉන්න කාලේට එක් පතේ කන කට්ටියනේ මේ ශ්‍රි දුපතේ ඉන්නේත්,ඉඳලා තියෙන්නේත්.නැද්ද බොලව්.

    ReplyDelete
  2. මාධ්‍ය මර්දනයේදී ඔයාලා කට පියාගෙන හිටියා...මානව හිමිකම් මර්දනයේදී ඔයාලා අහක බලන් හිටියා.. මහත්වරැණි කරැණාකරලා මාටින් නිමලර් ගේ කුඩා කවිය කල්පනාවෙන් තව සැරයක් කියවන්න..ඔයාලා දැන් කරණදේට සහ කරපු දේවල විපාකයන්ට අවංක සුභ පැතුම්...

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා