2009-09-11

තිස්සනායගම්ගෙන් චන්දන සිරිමල්වත්තට

අජිත් පැරකුම් ජයසිංහ  -
ගේබ්‍රියල් ගාෂියා මාකේස්ගේ I Only Came to Use the Phone (මම ආවෙ ටෙලිෆෝනය පාවිච්චි කරන්න විතරයි) නම් කෙටිකතාවේ කතා නායිකාව කාන්තාරයක් මැදින් ගමනක් යද්දී ඇය ගමන් කළ මෝටර් රිය ක්‍රියා විරහිත වේ. වැස්සක් වසිමින් තිඛෙන මේ මොහොතේ ඇයට පිහිට වන්නේ මානසික රෝගීන් පිරිසක් රැගෙන යන බසයකි. ඇය තෙතබත්ව සිටි හෙයින් කිසිවෙක් ඇයට ජර්සියකි දෙයි. එය මානසික රෝගීන් අඳින වර්ගයේ එකක් බව ඇය නොදන්නීය. මානසික රෝහල ඉදිරිපිටදී පිරිස බස්වන බසය පිටත්ව යයි. ඇය එන තෙක් බලා සිටින සිය සැමියාට දුරකථන ඇමතුමක් ගැනීම සඳහා යන්නට හදද්දී ඇයවද මානසික රෝගියකු ලෙස වරදවා වටහා ගන්නා රෝහල් සේවකයෝ ඇය බලෙන් රෝහලට ඇතුළත් කරති. මම ආවෙ ටෙලිෆෝනය පාවිච්චි කරන්න විතරයි යි ඇය කියන කතාවට කිසිවෙක් ඇහුම්කණ් නොදෙති. ඇය කුපිත වෙයි. කතාව ඉදිරියට ගලා යන විට වෛද්‍යවරු, අගේ සැමියා ඇතුළු සියලු දෙනා ඇයට මානසික රෝගයක් ඇති බව පවසති. අපේ කතා නායිකාව ඇඳ සිටි ජර්සිය පිළිබඳ සමාජයේ පූර්ව විනිශ්චය ඇගේ ජීවිතය විනාශ කළේය.

1971 අරගලය සමයේ ජවිපෙ විප්ලවවාදීන් විසින් බලය අල්ලා ගන්නා ලද ඇල්පිටිය පැත්තේ සිදු වූ සිද්ධියක් මෙසේයි. විප්ලවවාදීන් රතු කමිස ඇඳ, අවි රැගෙන, ට්‍රැක්ටරයක නැඟී ශබ්ද විකාශනයක් ද පවත්වමින් යන සඳ කුඹුරක වැඩ කරමින් සිටි එක් ගොවියෙක් පාරට පැමිණියේ මේ කුමක්දැයි බැලීමටයි. ට්‍රැක්ටරයේ සිටි දන්නා හඳුනන තරුණයෙකුගෙන් මේ කුමක්දැයි ඇසූ කල zසහෝදරයාත් එන්න අප සමඟz යයි ඔහු ගොවියාට ආරාධනා කළේය. උදැල්ල පැත්තකින් තබා ට්‍රැක්ටරයට ගොඩ වූ ගොවියා ආපසු ගෙදර ආවේ පස් වසරකට පසුවයි.


මුල් කතාවේ ජර්සිය හා දෙවන කතාවේ ට්‍රැක්ටරය පිළිබඳ පැවති පූර්ව විනිශ්චයන් මෙන්ම සිංහල මූලික ලාංකීය රාජ්‍යයට නිදහස ඉල්ලා සිටින දෙමළා පිළිබඳ මෙන්ම ධනේශ්වර සූරාකෑමෙන් විමුක්තිය සොයන පීඩිතයා පිළිබඳවද පූර්ව විනිශ්චයන් තිබේ. පසුගිය අඟහරුවාදා ජවිපෙ ධීවර නායක ප්‍රේමසිරි මානගේ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට ධීවර ආම්පන්න කිහිපයක් රැගෙන විත් ඒවායින් රජය අය කරන අධික බදු පිළිබඳ පැහැදිලි කරද්දී ජවිපෙ මන්ත්‍රීවරුන් ද ත්‍රස්තවාදීන් පිරිසක් බව පැවසීමට ඇමති ජයතිස්ස රණවීර උපයෝගී කරගත්තේ ජවිපෙ පාර්ලිමේන්තුවට බෝම්බ ගැසූ අතීතයයි. පසුගිය සමයේ ජවිපෙ ද ත්‍රස්තවාදයට නිර්වචනයක් සැපයුවේය. එයින් ඔවුන් උත්සාහ කළේ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ මිලිටරි ක්‍රියාමාර්ග ත්‍රස්තවාදය ලෙස හැඳින්වීමටයි. 1989 කැරැල්ල වකවානුවේදී ජවිපෙ මිලිටරි ක්‍රියාමාර්ග හා කොටින්ගේ මිලිටරි ක්‍රියාමාර්ග අතර හරයාත්මක වශයෙන් වෙනසක් දක්නට නොහැකිය. එහෙත් ධනේශ්වර රාජ්‍යය පීඩිත ජාතීන්ගේ මෙන්ම පංතීන්ගේ ද සටන් මනින්නේ එකම පූර්ව විනිශ්චයක් මත පිහිටා බව පැහැදිලිය.


මහජන දේපල යොදාගෙන දෙනියායේ පෞද්ගලික මන්දිරයකට කපන පාරක් ඡායාරූප ගත කළ ජවිපෙට සම්බන්ධ ලංකා පුවත්පතේ මාධ්‍යවේදීන් තිදෙනෙකු පොලිස් පරීක්ෂණ ඉදිරියට යද්දී ජනාධිපතිවරයා හා ආරක්ෂක ලේකම්වරයා යන එන බව කියන ඔහුගේ මස්සිනාට අයත් නිවසක් වීඩියෝ ගත කළ පිරිසක් බවට පත් වෙති. ඔවුන් කොළඹට රැගෙන එනු ලබන්නේ ප්‍රභූ ඝාතන පරීක්ෂණයක සැකකරුවන් ලෙසයි. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඔවුන් සිරගත කිරීම සඳහාද යොදාගැනීමේ සූදානමක් තිබිණි. ජනතා විමුක්ති පෙරමුණ ශක්තිමත් ලෙස මැදිහත් වූයේ නැතිනම් ඇතැම්විට ඔවුන්ගේ ඉරණම දෙමළ ජාතිකවාදී මාධ්‍යවේදී ජේ.එන්. තිස්සනායගම්ගේ ඉරණම බඳු එකක් වන්නට තිබිණි. අත්අඩංගුවට පත් වූ සිය මාධ්‍ය සගයන් බැලීමට යන ලංකා කර්තෘ චන්දන සිරිමල්වත්ත ආපසු එන්නේ විසි වසරකට පසුව නම් තත්වය කෙබඳුද?


ලාංකීය ධනවාදය ඉදිරියට තල්ලු වෙමින් ඇත්තේ ජාත්‍යන්තර හුදකලා වීම නිසා ජී.එස්.පී. ප්ලස් බදු සහන වැනි උදව් අහිමි වීම, ඒවා අහිමි වුවහොත් රටේ ප්‍රධානම ආදායම් මාර්ගය වන ඇඟලුම් කර්මාන්තය මුහුණ දෙන අර්බුදය, ඉහළ නංවන බදු බර හා වැඩි වන බඩු මිළ හමුවේ තීව්‍ර වන ජනතා අසහනය, අසීමිත දූෂණය, පාලක කණ්ඩායමේ තරගකාරී උන්නතිකාමය, සෙනසුරු මාරු ආදී කලබැගෑනි මැදින්ය. ජනාධිපති ඝාතන ප්‍රයත්න පිළිබඳ අලුත්ම ප්‍රවෘත්ති මේ ලියන මොහොතේ නිකුත් වෙමින් තිබේ. දේශපාලන හෙට දවස නිර්මානය වනු ඇත්තේ ඒවා පාදක කරගෙන පාලකයන් කටයුතු කරන ආකාරය අනුවය. එල්.ටී.ටී.ඊ. සංවිධානය යුදමය වශයෙන් චප්ප කර දැමීමත් සමග ආණ්ඩුවට දැන් ප්‍රබල අනෙකෙකු නැති වී තිබේ. එම හිස්තැන පුරවන්නට ජවිපෙ තෝරා ගැනෙන්නේ ඔවුන්ගේ කැමැත්ත අකැමැත්ත විමසා කැමති නම් පමණක් නොවේ. එහෙත්, වැඩකරන ජනයාට වැඩි වැටුප් වෙනුවෙන් ඉල්ලීම් අටේ සටන සමග ජනතාව බලමුළුගන්වමින් පෙරට යමින් සිටින ජවිපෙ ඉදිරියේ තිඛෙන අභියෝගයේ තරම මෙම සිද්ධිය විසින් මතු කර පෙන්වන ලදී.


දෙමළුන් දැඩි මර්දනයකට ලක් වෙද්දී ලංකාවේ රාජ්‍යය සමග ජවිපෙ කෑ දීගයේ හා දික්කසාදයේ ප්‍රේම-වෛර සම්බන්ධයේ රස බලමින් මර්දනයට පුළුනෙන් කොට්ට තනා තිබුණු උණුසුම් කැදැල්ලක සිටි ලංකාට හා ජවිපෙට මාටින් නිමලර්ගේ සුප්‍රකට කවිය මතක් වන කාලය දැන් එළඹ තිබේ. දැන් මර්දනය ඔවුන් සොයා එමින් තිබේ. මානව හිමිකම් හා ප්‍රකාශනයේ නිදහස පිළිබඳ කතා කළ සියලු දෙනා එන්ජීඕකාරයන් ලෙස නම් කළ අතීතයේදී ජවිපෙට ආවැඩූ අය දැන් ඔවුන් මර්දනය වන විට ඒ ගැන කතා නොකරති. දෙමළ දිළින්දන්ගේ නායකත්වයෙන් දියත් වූ ජාතික අරගලය සමතලා කර දැමීමෙන් පසු ලාංකීය ධනවාදයේ මීළඟ ඉලක්කය වන්නේ සිංහල පීඩිත පංති ව්‍යාපාරයයි.