2009-09-22

එන්න සාහිත්‍යය කන්න; තෝකියෝ පොත් සල්පිලේ සිට කම්මැල්ලවීර නොදන්නා ගුරුවරුන් දක්වා


අජිත් පැරකුම් ජයසිංහ -

මීට දස වසරකට ඉහත එක් සරත් ඍතුවක ජපානයේ තෝකියෝහි පැවැත්වුණු ජාත්‍යන්තර පොත් සල්පිල බලන්නට යාමේ අවස්ථාවක් මට ලැබිණි. ජපානය සම්ප‍්‍රදායිකවම සෑහෙන්න පොත් පත් කියවන මිනිසුන්ගෙන් පිරි රටකි. එහි පොත් සල්පිල පැවැත්වුණේ පොත් ප‍්‍රකාශන ආයතන හා පොත්හල් බහුල වීදියකයි. එය පොත් සැණකෙළියක් වූ අතර සෑම තරාතිරමකම ජනයා එහි පැමිණියහ.
ඒ වන විට කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රද්ර්ශනය ආරම්භ වී නොතිබුණු අතර, පොත් එතරම් මහජන ආකර්ශනයක් වී තිබීම මගේ විස්මයට තුඩු දුන්නේය.


එහෙත් දැන් අපටද සැප්තැම්බරයේ මහා පොත් සල්පිලක් තිබේ. මුදල් නැති නිසා මම මෙවර පොත් සල්පිල බලන්නට යන්නේ නැත. හමු වන අය "ගියෙ නැද්ද පොත් ප‍්‍රදර්ශනේ බලන්න?’’ යි අසන අසහනකාරී සමය ඉදිරියෙන් තිබේ.


මා එදා තෝකියෝවේදී දුටු පොත් සල්පිල කොළඹ පොත් සල්පිල මෙන් එකිනෙකාට වැලමිටින් අනිමින්, පොදි කමින්, දාඩිය පෙරාගෙන, දූවිලි කාගෙන, ලෝක විනාශයට පෙර සියල්ල කියවා අවසන් කරන්නට මෙන් වියරුවෙන් පොත් තෝරන, තදබද තැනක් නොවේ. පොතපත කියවන්නට මෙන්ම ළමයින්ට දුව පැන ඇවිදින්නට, සෙල්ලම් කරන්නට ඉඩකඩ ද එහි තිබිණි. 


මගේ සිත් පැහැර ගත් දර්ශනයක් වුණේ එහි තිබුණු කියවීම් ප‍්‍රවර්ධන වැඩසටහන්ය. මපට්, රූකඩ, සිනමා පට මෙන්ම කතන්දර කීමේ සැසි ද භාවිතා කරමින් විශේෂයෙන්ම ළමයින් අතර කියවීම ප‍්‍රවර්ධනය කිරීමේ වැඩසටහන් රැසක් එහි තිබිණි.


පොත ආකර්ශනීය භාණ්ඩයක් හා විලාසිතාවක් බවට පත් කිරීම කොළඹ ජාත්‍යන්තර පොත් සල්පිලේ ජයග‍්‍රහණයකි. එහෙත්, ලංකාවේ මිනිසුන් ඇත්තටම පොත් කියවනවාද යන්න වෙන කාරණයකි. කියවීම ප‍්‍රවර්ධනය කිරීමේ වැඩසටහන් අවශ්‍ය වන්නේ මෙම පසුබිම තුළයි.


මීට වසර කීපයකට පෙර මම බස්නාහිර පළාතේ එක් මධ්‍ය මහා විද්‍යාලයක පොත් ප‍්‍රදර්ශනයක් හා ජයතිලක බංඩාරගේ ගී රස වින්දන වැඩසටහනක් සංවිධානය කළෙමි. එදිනට කලින් දිනයේ එකී පොත් ප‍්‍රදර්ශනය පැවැත්වීමට නියමිතව තිබුණේ එක් ජාතික පාසලකයි. පොත් ප‍්‍රදර්ශනය සංවිධානය කළ රංජිත් ඒ හා සමගාමීව සාහිත්‍ය දේශනයක් ද සංවිධානය කර තිබිණි. ඒ සඳහා සහභාගි වීමට ප‍්‍රවීණ ලේඛක ජයතිලක කම්මැල්ලවීර පැමිණිමුත් පාසලෙන් දේශනයට හා පොත් ප‍්‍රදර්ශනයට පහසුකම් සපයා දී තිබුණේ නැත. ආපසු යන ගමනේදී හෙට දිනයේ පැවැත්වෙන පොත් ප‍්‍රදර්නය සඳහා පොත් පෙට්ටි ටික පාසලේ තබා යාමට රංජිත් මා සේවය කළ පාසලට පැමිණියේ ජයතිලක කම්මැල්ලවීර මහතා ද සමගයි. ඔහුගේ කාලයෙන් හා ගමනින් ප‍්‍රයෝජන ගනු පිණිස මම විදුහල්පතිගේ අවසරය ඇතිව උසස් පෙළ හා සාමාන්‍ය පෙළ ළමුන් වෙනුවෙන් දේශනයක් සංවිධානය කළෙමි. දේශනයේ වැදත්කම මගේ සහෝදර ආචාර්ය මණ්ඩලයට ඒත්තු ගැන්වීම සඳහා ජයතිලක කම්මැල්ලවීර යනු කවුරුදැයි හඳුන්වා දීමට ගිය කල මම මහත් අමාරුවක වැටුණෙමි. සිංහල විෂය සඳහා ශාස්ත‍්‍රපති උපාධි, පශ්චාත් උපාධි අධ්‍යාපන චිප්ලෝමා ආදිය තිබුණු ගුරුවරුන් පවා කීවේ ජයතිලක කම්මැල්ලවීර යන නම අසා පුරුදු මුත් මතක නැති බවයි. ඒ කසුන් කල්හාරගේ බිරිඳගේ පියා බව කී විට නම් ඔවුන්ට මේ වැදගත් පුද්ගලයකු විය හැකි බව තේරිණි. කෙසේ වෙතත්, ශිෂ්‍යයෝත්, ගුරුවරුත් ඔහුගේ දෙසුම රස වින්දහ. අනාගත පරපුර හැඩගස්වන ගුරුවරුන්ගේ සාහිත්‍ය දැනුමේ හා රස වින්දනයේ මට්ටම එයයි. පොත් සල්පිල් මෙන්ම කියවීම් ප‍්‍රවර්ධන වැඩසටහන් හා තවත් බොහෝ දේ මේ සමාජයට අවශ්‍ය වන්නේ එබැවිනි.


පොත් සල්පිලට සමගාමීව පාසල් පුස්තකාලවලට පොත් මිළ දී ගැනීම සඳහා අධයාපන දෙපාර්තමේන්තුව මුදල් ලබා දෙන්නේ ඇත්තෙන්ම සිසුන්ට ඇති ආදරයට වඩා පොත් ප‍්‍රකාශකයන්ට ඇති සෙනෙහස නිසා යයි සිතේ. මක් නිසාද යත් පාසල් පුස්තකාලවල පොත් තිබුණත්, ඒවායින් බොහොමයක් සිසු පරිහරණය සඳහා නොයෙදවෙන බැවිනි. එක පැත්තකින් සිසුන් අතර කියවීමේ නැඹුරුව දුර්වල වන අතර, අනෙක් පැත්තෙන් පුස්තකාල ළමුන් පොත් පරිහරණයට දිරි ගන්වන්නේ නැත. පාසල්වල අවුරුදු පතා පැවැත්වෙන භාණ්ඩ සමීක්ෂණ වෙනුවෙන් පුස්තකාල සෑහෙන කාලයක් වසා දමා තිබේ. එසේම, ළමයින් අතින් පොත් නැති වුණොත් අතින් ගෙවන්නට සිදු වන නිසා පුස්තකාල භාර නිලධාරීන් පොත් කියවීම අධෛර්යය කරති. පාසල්වල පුස්තකාල යනු බොහෝ විදුහල්පතිවරුන්ට හා ගුරුවරුන්ට අමතර පංති කාමරයක්, ගබචාවක්, ගුරු විවේකාගාරයක්, කෑම කාමරයක් හෝ ගුරු රැස්වීම් ශාලාවක් හෝ පමණි.


සැප්තැම්බරයට පොත් මතක් වන්නේ පාඨකයන්ට පමණක් නොවේ. පොත් ලියන්නෝද කාලයක් තිස්සේ අතගාමින් සිටි පොත් දඩිබිඩි ගා ඉවර කර මුද්‍රණාලවලට භාර දෙති. එහෙයින් සැප්තැම්බරයේදී මුද්‍රණාලවලින් වැඩක් කර ගැනීමට මුද්‍රණාල හිමියන් පා මුල වැඳ වැටීමට සිදු වේ. ලංකාවේ බොහෝ ලේඛකයන්ගේ පොත්වල මුල් පිටු පනහ පමණක් රසවත් වීමට ප‍්‍රධාන හේතුව පොත් ප‍්‍රදර්ශනයට පෙර පොත පළ කර ගැනීමට තිබෙන තදියමයි. එහෙත්, මේ පොත්වලට රාජ්‍ය සාහිත්‍ය සම්මාන හා වෙනත් සම්මාන ද ලැබේ. එයට හේතුව මෙම පොත් විනිශ්චය කිරීම සඳහා සිටින මණ්ඩලවලට ද මුල් පිටු පනහට වඩා කියවන්නට වෙලාවක් නොමැති වීමයි. එහෙත් සැප්තැම්බරයේදී සම්මාන ප‍්‍රදානය සඳහා පොත් තෝරා දිය යුතු හෙයින් මේ විනිශ්චයකාරවරු එපමණකින් සෑහෙන බව පසුගිය වසරවල සම්මාන ලැබුණු පොත් කියවා බලන විට සිතේ.


පොත් ලිවීම හා පළ කිරීම සම්බන්ධයෙන් ලංකාවේ තිබෙන බරපතල ගැටළුවක් වන්නේ පොත් සංස්කරණය කියා දෙයක් ඇත්තේම නැති වීමයි. තෝකියෝ පොත් සල්පිල පැවැත්වුණ වීදියේ කොඩැන්ෂා පොත් ප‍්‍රකාශන ආයතනය බලන්නට ගිය ගමන මට සිහිපත් වේ. එම සත් මහල් දැවැන්ත ගොඩනැඟිල්ලේ එක් මහලක් පුරා සිටියේ පොත්, කරදාසි සහ ලිපි ගොනු අට්ටි ගසා තිබුණු පරෙවි කූඩු වන් මේස අසල හිඳගෙන වට පිට නොබලා වැඩ කරන සංස්කාරකවරුය. පොතක මුලික සංකල්පයේ සිට කර්තෘවරුන් සමග කටයුතු කරමින් ගුණාත්මක පොතක් පළ කිරීම සඳහා කටයුතු කරන්නේ සංස්කාරකවරුය. එහෙත් ලංකාවේ ලේඛකයන් සිතා සිටින්නේ තමන් ලියන දේ ශුද්ධ වූ බයිබලය සේ කාගේවත් අතින් සංස්කරණය නොවිය යුතු ‍ඓතිහාසික ලේඛන කියා බැවින් ලංකාවේ සංස්කාරකවරුන්ට කිරීමට දෙයක් නැත.


ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා සාහිත්‍යය කන්නදැයි ඇසූ බව කියමින් සාහිත්‍ය ලෝලීහු, ලේඛකයෝ, මාධ්‍යවේදීහු සහ දේශපාලකයෝ අවුරුදු පතා සැප්තැම්බරයේදී බැණ වදිති. එහෙත්, ජයවර්ධනගේ චින්තනය ඉක්මවා ගිය අපි දැන් සාහිත්‍යය හුදු වෙළඳ භාණ්ඩයක් කරගෙන ඇතිවා පමණක් නොව දැන් එය භක්ෂණය කරමින් ද සිටිමු.