2009-09-14

රාජ්‍ය සේවක සංඛ්‍යාව වැඩි වේ; එහෙත් සේවය දිනෙන් දින පිරිහේ

(2009 සැප්තැම්බර් 14 - W3Lanka) එක්සත් ජාතික පක්‍ෂය ලෝක බැංකුව සමඟ සාකච්ඡා කර මෙරට රජයේ සේවකයන් ලක්‍ෂ 06 දක්වා අඩු කිරීමට සැලසුම් කර තිබුණද, වත්මන් රජය බලයට පත්වීමෙන් පසු රජයේ සේවකයන් ලක්‍ෂ 12 දක්වා වැඩි කිරීමට හැකි වූ බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කෙළේය. මෙරට ජනගහණයෙන් පුද්ගලයන් 17 දෙනෙකුගෙන් එක් අයෙකු රජයේ සේවකයකු බවද ජනාධිපති වරයා කීවේය.
දිනමිණ (2009 සැප්තැම්බර් 14)
රජයේ සේවා අතරින් ප්‍රධානතම අංශ දෙක වන අධ්‍යාපනය හා සෞඛ්‍යය දෙස මොහොතකට බලන්න. ප්‍රධාන රෝහල්වල අධික තදබදයක් තිබියදී ග්‍රාමීය රෝහල් රෝගීන් නැතිව වේලෙයි. පාසල් දස දහසක් අතරින් තුන්සියයකට පමණ ඇතුල් වන්නට මහ පොරයක් පවතින අතර සෙසු පාසල්වල සිසුන් අඩු වේ. අවුරුදු පතා පාසල් සිය ගණනක් සිසුන් නැතිව වැසී යයි.රෝගීහු චැනල් මධ්‍යස්ථානවලද, සිසුහු ටියුෂන කඩවලද රස්තියාදු වෙති.

රජයේ කාර්යාලයකින් සේවාවක් ලබා ගැනීමට අයදුම් කළ විට එම අයදුම්පත ලැබුණු බවට ලිපියක්වත් නොලැබෙන අවස්ථා එමටය. ගමේ ග්‍රාමසේවා නිලධාරිවරයා හමු වීම සඳහා ඔහු සොයා ඔහුගේ නිවසට, කඩපිල්වලට මෙන්ම ඇතැම් විට හොර සුරා පොළවලටද බඩ ගෑ යුතුය. සමෘද්ධි නියාමක, කෘෂි නියාමක ආදී ඇතැම් රජයේ සේවකයන් කරන කාර්යය කුමක්දැයි දන්නේ ‍උඩ ඉන්නා දෙවියන් පමණි. මහජන ආරක්ෂාව සඳහා මහජන මුදලින් නඩත්තු වන පොලිසිය යනු මහජනයාට තම ආරක්ෂිත හැඟීම තුරන් කරන ස්ථානයකි. 

රජයේ සේවක සංඛ්‍යාව වැඩි වෙද්දී රජයෙන් සපයන සේවා දිනෙන් දින පිරිහෙන්නේ ඇයි? එම සේවාවන් සපයන පෞද්ගලික අංශය වෙත මහජනයා වැඩි වැඩියෙන් යොමු වන්නේ ඇයි? රජයේ සේවකයන් සංඛ්‍යාව වැඩි වෙද්දී රාජ්‍ය සේවයේ ඇතැම් අංශ පෞද්ගලීකරණය කරන්නට රජය පෙළඹෙන්නේ ඇයි? 
බත් ඇටයක්, තේ උගුරක් ගානේ බදු බරට උර දෙන මහජනයාට රාජ්‍ය සේවය පිළිබඳ සතුටු විය හැක්කේ නිකම් ඉඳ පඩි ගත හැකි මොකක් හෝ තනතුරක් තමන්ටත් ලැබී තිබේ නම් පමණි. එහෙත් සෑම සියදෙනෙකුගෙන්ම අසූතුන්දෙනෙකුට (83%) එම අවස්ථාව ලැබෙන්නේ නැත.
රටක රජයේ සේවකයන් සංඛ්‍යාව වැඩි වීම ආඩම්බර වීමට තරම් දෙයක් නොවේ. බදු ගෙවන ජනයාට අවශ්‍ය වන්නේ තමන්ගෙන් සූරා කන බදු මුදලින් පඩි ලබන සංඛ්‍යාව වැඩි වනු දකින්නට නොව රජයෙන් සිදු වන සේවය ඵලදායී හා කාර්යක්ෂම එකක් බවට පත් වනු දැකීමටයි.
ජනාධිපතිතුමනි, කළ යුතුව තිබෙන්නේ රාජ්‍ය සේවය තව තවත් දේශපාලන නිකමුන්ගෙන් පිරවීම නොවේ. එය කාර්යක්ෂම කිරීමයි.