මැතිවරණ නීතිය වල් වදී -පීපල්ස් මාච්

(2009 දෙසැම්බර් 25 -W3Lanka) ජනාධිපතිවරණ නාම යෝජනාවලින් පසු සෑම අපේක්ෂකයකුගේම නීති විරෝධී පෝස්ටර් කටවුට් දැන්වීම් ඉවත්කිරීමට කටයුතු කරන බව මහත් ගාම්භීරව මැතිවරණ කොමසාරිස්වරයා කළ ප‍්‍රකාශය අද වනවිට හුදු වචනවලට පමණක් සීමාවී තිබේ. මැතිවරණ නීතිය සියළු පාර්ශවයන්ට අදාළ වුවත් ආණ්ඩු පක්ෂයේ අපේක්ෂකයා වෙනුවෙන් එහි සෑම විධිවිධානයක් ම උල්ලංඝනය කිරීමට ඉඩ දී ඇති බලධාරීන් සෙසු අපේක්ෂකයන්ගේ නීත්‍යානුකූල හිමිකම් පවා අහෝසි කරමින් තිබේ.


ආණ්ඩු පක්ෂයේ අපේක්ෂක ජනාධිපතිවරයාගේ රුව රැගත් කටවුට්, පෝස්ටර් හා බැනර් රට පුරාම ප‍්‍රදර්ශනය කිරීමට ඉඩදී ඇති පොලීසිය ඔහුගේ ප‍්‍රධානතම ප‍්‍රතිවාදියා වන විපක්ෂයේ පොදු අපේක්ෂකයාගේ පෝස්ටරයක් හෝ ඉතිරි නොකිරීමට තරම් නීතිය ක‍්‍රියාත්මක කරමින් ඇත.


නාම යෝජනා පත‍්‍ර බාරදීමට ප‍්‍රථමයෙන් තම නීති විරෝධී ප‍්‍රචාරක පුවරු ඉවත් කරන ලෙස ජනාධිපතිවරයා පොලිස්පති වරයාට නියෝග කරනු ලැබුවේ සාධාරණත්වය ඉහළින්ම අගයන මහා ප‍්‍රජාතන්ත‍්‍රවාදියෙකු ලෙස ය. එහෙත් ජනාධිපතිවරයා එසේ නියෝග කළ බව රටටම කී පොලිස්පතිවරයා එම නියෝගය ඉටු කර නැත. එසේ නම් ජනාධිපතිවරයා දැන් කළ යුත්තේ මැතිවරණ කොමසාරිස්වරයාගේ පමණක් නොව තමාගේ ද උපදෙස් නොසලකා සිටින පොලිස්පති ඇතුඵ නිළධාරීන්ට විරුද්ධව වහා පියවර ගැනීම ය. එනමුත් තමාගේ මුළු වැඩ රටාවම බොරු රංගනවලින් පුරවා ගෙන ඇති ජනාධිපතිවරයාගෙන් මෙවැනි පියවර ගැනීමක් කිසිවිටකත් බලාපොරොත්තු නොවිය යුත්තා සේම මෙය ද ඒවා අතුරෙන් තවත් එකක් පමණි.


රාජ්‍ය මාධ්‍ය භාවිතය පිළිබඳ විවිධ වර්ගයේ උපදෙස් සහ මාර්ගෝපදේශ මැතිවරණ කොමසාරිස්වරයා විසින් නිකුත් කරනු ලැබූ උපදෙස් වගකිවයුත්තන් විසින් තඹයකටවත් ගණන් නොගනු ලබන බව එම උපදෙස් අමු අමුවේ උල්ලංඝනය කරමින් රජයේ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ක‍්‍රියා කරන ආකාරයෙන් පැහැදිලි ය. කිසියම් ගුවන් විදුලි හෝ රූපවාහිනී හෝ මුද්‍රිත ආයතනයක සේවකයෙකු හෝ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු දේශපාලන පක්ෂයක කිසියම් නිලයක් දරන්නෙකු බවට ප‍්‍රසිද්ධියක් දරන්නේ නම් එම පුද්ගලයා මැතිවරණය නිමාවන තෙක් එකී ආයතනයන්හි මාධ්‍යවේදීන් ලෙස කටයුතුවලින් ඉවත් විය යුතු බවටත් එම කටයුතුවල යෙදීමට අවසර නොදිය යුතු බවටත් දුන් උපදෙස සම්පූර්ණයෙන් ඉවත ලා ඇත. රජයේ විද්‍යුත් මාධ්‍යවල වැඩි ගුවන් කාලයක් ද මුද්‍රිත මාධ්‍යවල වැඩි ඉඩක් ද ජනාධිපතිවරයාගේත් ගෝල බාලයන්ගේත් කථාවලින් හා ප‍්‍රකාශවලින් පිරී ඉතිරී ගොස් ඇත. අඩුම තරමින් කුඩා ඉඩක් හෝ විපක්ෂයේ ප‍්‍රධාන අපේක්ෂකයාට පවා නොදීමට තරම් රාජපක්ෂ ප‍්‍රජාතන්ත‍්‍රවාදය යටතේ රාජ්‍ය මාධ්‍ය ආයතන සාධාරණ හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී වී ඇත!


රටේ බලපවත්වන නීතී ක‍්‍රියාත්මක කිරීම සඳහා බැඳී සිටින ආයතන ඒවා ක‍්‍රියාත්මක නොකීරීමෙන් මග පෑදිය හැක්කේ අනීතික බලයට එරෙහිව අනීතිකව ප‍්‍රතිකි‍්‍රයා කරන්නට තත්ත්වයන් නිර්මාණය වීමට ය. මෙවන් තත්ත්වයක් උද්ගත වුවහොත් රට අරාජිකත්වය කරා ගමන් කිරීම කිසිවෙකුටත් නැවැත්විය නොහැකි වනු ඇත.


මෙම තත්ත්වයන් නිවැරදි කරන ලෙස ආණ්ඩුවටත් මැතිවරණ කොමසාරිස්වරයාටත් පැමිණිලි කිරීම හෝ ආයාචනය කිරීම කිසිදු පලප‍්‍රයෝජනයක් නොමැති බව විශ්වාස කරන අපි මෙවැනි ක‍්‍රියා ආපස්සට හැරවිය හැක්කේ පුළුල් මහජන උද්ඝෝෂණ ක‍්‍රියාමාර්ගයන්ගෙන්‍ පමණක් බව අවධාරණය කරමු .


-ඒ. ඞී. රත්නායක, ප‍්‍රධාන ලේකම්, පීපල්ස් මාච්

Comments

  1. ලංකාවේ මීලග ජනාධිපතිවරයා කවුද?
    පහත වෙබ් අඩවියට පිවිස ඔබේ මතය දක්වන්න.

    http://www.pollpub.com/who-will-be-the-next-sri-lankan-president.aspx

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා