අනර්කලී: දකුණු පළාත් ඡන්දයේ දිදුලන තරුව

අජිත් පැරකුම් ජයසිංහ විසිනි

ජනප්‍රිය නිළි අනර්කලී ආකර්ශා මාතර දිස්ත්‍රික්කයෙන් දකුණු පළාත් සභා ඡන්දයට ඉදිරිපත් වීම බොහෝ දෙනෙකුගේ උපහාසයට හා අපහාසයට නිමිත්තක් වී තිබේ. ඉහළ දේශපාලන සම්බන්ධයක් හරහා පළාත් සභා අපේක්ෂකත්වය දිනා ගත්, 'සුදුසුකම්' රහිත පළමු හා එකම තැනැත්තිය ඇය ලෙසයි, ඇතැමෙකුට පෙනෙන්නේ. ලංකාවේ දේශපාලනය සඳහා අවශ්‍ය සුදුසුකම් නිශ්චිතව අර්ථකථනය කළ නොහැක. අනර්කලී නුසුදුසු යයි කියන අය හමුවේ ඇති ලොකුම අභියෝගය වන්නේ මැතිවරණ අපේක්ෂකයකු සතු විය යුතු සුදුසුකම් මොනවාදැයි පෙන්වා දීමයි.

යකාගේ හැටිය‍ට විමානය කිව්වා සේ රටක පාලකයන් බිහි වන්නේ ඒ රටේ ජනතාවගේ හැටියටය. නීතිය පිළිබඳ ජාත්‍යන්තර වශයෙන් පවා කීර්තිමත් මහාචාර්යවරයතු වන ජී. එල්. පීරිස් සිටින මේ ආණ්ඩුවේ නීතිය පිළිබඳ වගකියන්නේ මහජන මුදල් අපහරණය කළ නීති විරෝධී ක්‍රියාවල යෙදුන බවට කෝප් වාර්තාවේ සඳහන් වූ කෙනෙකි. සසිරිබර මෙසිරිලක හැටි එහෙමය. මාතර දිස්ත්‍රික්කයම වෙනුවෙන් සන්ධාන ලැයිස්තුවට දමන ලද අනර්කලී එම දිස්ත්‍රික්කයෙන් සොයා ගත හැකි සුදුසුම ගැහැනිය නොවන බව අමුතුවෙන් කියන්නට ඕනෑ නැත. මක් නිසාද යත්, සියයට අනූනමයක්ම පිරිමින් වන  මේ රට කරවන අනෙක් සියල්ලන්මත් ඒ සඳහා සුදුසුම අය නොවන බව අප දන්නා බැවිනි. හොරකමට, මැරකමට, තක්කඩිකමට, තකතිරුකමට, ජඩකමට, වාචාලකමට හා වනචරකමට පමණක් සුදුසු කී දෙනෙකු අපි පාලකයන් ලෙස අපේම ඡන්දයෙන්, මනාපයෙන් පත් කරගෙන ඇද්ද?

ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකේම අපේක්ෂක ලැයිස්තුවල සිටින බහුතරයක් පිරිමින්ගේ කෙරුවාව සහ අනර්කලීගේ කෙරුවාව අතර වෙනසක් තිබේ නම් තිබෙන්නේ අනර්කලී ගැහැනියක් වීම නිසා පමණි. යමෙකුට ආණ්ඩු පක්ෂ සන්ධානයේ අපේක්ෂක ලැයිස්තුවට රිංගා ගැනීමට ලැබෙන්නේ ජනාධිපතිවරයාගේ හෝ ඇමතිවරුන්ගේ හෝ නෑයන්, යාළුවන්, මෙහෙකරුවන්, කේලමුන් හා තවත් අය වීම යන අංක එකේ සුදුසුකම නිසාය. තවත් හේතු ඇත්නම් ඒවා ඉහත කී කාරණාවලට දෙවෙනි වන ඒවාය. පළාත් සභා අපේක්ෂක පිරිමිද, දේශපාලක පිරිමිද, මාධ්‍ය පිරිමිද, සෙසු සුචරිතවාදී පිරිමිද දැන් අනර්කලී ඉහළ මනාප ඡන්ද ගණනක් ගනු ඇතැයි බියෙන් වෙව්ලමින් සිටිති. ඇයට එරෙහිව නඟන අවලාද කෙළින්ම ලිංගිකත්වය සමග සම්බන්ධය. අනර්කලී 'සෙක්සි මැතිවරණ කැම්පේන් එකක්' කළොත් ඇත්තෙන්ම රෙදි ගැලවෙන්නේ මේ ආණ්ඩුවේ සිටින බොරු සුචරිතවාදීන්ගේය. අනර්කලී නිරුවත් කරන්නට උත්සාහ කරන පිරිමි ඇත්තෙන්ම කරන්නේ තම තමන්ගේම සළු ඉනීමයි. අනර්කලීගේ ‍භෞතික නිරුවත සුන්දරය. මහජන දේපල සූරා කා අධි පෝෂිත වූ මේ බොහෝ පිරිමින්ගේ හිස කඳ ගාත්‍රා වෙන් කර හදුනා ගත නොහැකි හෙළුවැල්ල වස අජූවය. ඔවුන්ගේ චරිත නිරුවත නම් කිව නොහැකි තරම් පිළිකුල්සහගතය. මේ රටේ මහජනතාව  ශාරීරිකව මෙන්ම මානසිකවද රෝගී තමන්ට ඡන්දය දීමට මෝඩ වෙනවාට වඩා සුන්දර සිරුරු ඇති අනර්කලී වැනි අයට ඡන්දය දීම සඳහා මෝඩ වනු ඇතැයි දැන් ඔවුහු බිය වී සිටිති. මේ මෝඩකම් දෙකෙන් කොයි මෝඩකම කළත් මහජනතාවට ලැබෙන්නේ එකම ආනිශංසයයි.

අප දන්නා තරමින් අනර්කලී මහජන දේපල සොරකම් කර නැත. ඇතැම් මහ ඇමතිවරුන් මෙන් මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ කරන්නට සිතාවත් නැත. ඇය ඇගේ මව් බසට අමතරව සිංහලත් කතා කරන්නීය. රටේ ජනාධිපති දෙමළෙන් කතා කරන විට තිබෙන්නේද ඔය හුරතලයමය. වර්තමානයේදී පාර්ලිමේන්තු, පළාත් සභා ආදියෙහි මන්ත්‍රීන්ට, ඇමතිවරුන්ට නැති කිසිදු නොසුදුසුකමක් අනර්කලීට නැත. සත්තකින්ම ඇයට දකුණේ මහඇමතිකම වුව කරන්නට බැරිකමක් තිබේ යයි මහඇමතිකම් කරන උදවියගේ කෙරුවාව දෙස බැලූ විට පෙනේ. හැරත් දැන්, දැන් පලාත් සභාවල වැදගත් චරිතය වන්නේ ඡන්දයෙන් පත් වන මහඇමතිවරයා නොව ජනාධිපති විසින් පත් කරනු ලබන ආණ්ඩුකාරයා බව සබරගමුව, නැඟෙනහිර වැනි පළාත් සභා දෙස බලන විට පෙනේ.

ප්‍රධාන විපක්ෂය වන එක්සත් ජාතික පක්ෂය, ආණ්ඩු පක්ෂයේම දේශපාලනඥයන් හා ජනමාධ්‍ය හුදෙක්ම ගැහැනියක වීම යන එකම හේතුව මත අනර්කලී අපහාසයට උපහාසයට ලක් කිරීම විසින් ප්‍රකාශ වන්නේ ලංකාවේ සමාජ-දේශපාලන අර්බුදයේ එක් භයානක පැතිකඩකි. 2005 ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේදී රනිල් වික්‍රමසිංහට එදිරිව මහින්ද රාජපක්ෂගේ ප්‍රචාරක ව්‍යාපාරයේ සිටි ජවිපෙ ප්‍රමුඛ සංවිධායකයන් විසින් උත්කර්ෂයට නඟනු ලැබූ ප්‍රධාන ලක්ෂණයක් වන්නේ වත්මන් ජනාධිපතිවරයාගේ පුරුෂවාදී ශාරීරික හැඩරුව හා චරිත ලක්ෂණයි. ඍජුවම නොවුණත්, එයින් පහත්භාවයට ඇද හෙළනු ලැබුවේ ස්ත්‍රීත්වයයි. ලිබරල් දේශපාලනඥයන් විසින් ගැටලුවක් ලෙස හඳුනාගෙන තිබුණු ලංකාවේ දේශපාලනයේ ස්ත්‍රී සහභාගිත්වයේ ප්‍රශ්නය 2005න් පසු තීව්‍ර වනු දක්නට ලැබේ. මේ වන විට කැබිනට් මණ්ඩලයේ, පාර්ලිමේන්තුවේ, පළාත් සභාවල හා පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය සියයට දහයට වඩා අඩු වන අතර මෑතදී පවත්වන ලද බස්නාහිර පළාත් සභා මැතිවරණයේදී මෙම ප්‍රතිශතය සියයට පහටත් වඩා අඩු විය. වඩාත්ම මෑතදී පැවැත්වුණු ඌව පළාත් සභා මැතිවරණයේදී තේරී පත් වූයේ එකම එක කාන්තාවක් පමණි. අවාසනාවන්තම තත්වය වන්නේ ලිබරල්වාදී එක්සත් ජාතික පක්ෂය හෝ සමාජවාදී ජනතා විමුක්ති පෙරමුණ හෝ ඌව පළාත් සභා මැතිවරණයේදී එකම එක කාන්තාවක්වත් තම අපේක්ෂක ලැයිස්තුවලට ඇතුලත් කිරීමට අසමත් වීමයි.

දකුණු පළාත් සභා මැතිවරණයේදීද මෙම කණගාටුදායක තත්වයේ සැලකිය යුතු වෙනසක් දක්නට නොමැති මුත්, ආණ්ඩු පක්ෂයෙන් අනර්කලී ආකර්ශා හා සුසන්තා චන්ද්‍රමාලි යන නිළියන් පළාත් සභාවට තරග කිරීමත් සමග ඔවුන් දෙදෙනාම සභාවට තේරී පත් වනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. එපමණක් නොව, වැඩිම මනාප ලබා ගන්නා අපේක්ෂකයාට මහ ඇමතිකම දෙන සන්ධාන ප්‍රතිපත්තිය හා ආණ්ඩුවේ ඉහළම තැන්වලට ඇති සම්බන්ධතා සැලකිල්ලට ගත් විට අනර්කලී එළඹෙන දකුණු පළාත් සභා මැතිවරණයේදී වැඩිම මනාප ලබා ගතහොත් ඇය මහ ඇමතිවරිය වීමට වුව ඉඩ තිබේ. දකුණු පළාත් සභා මැතිවරණය හරහා වර්තමාන දේශපාලන ක්‍රමයට කළ හැකි කිසියම් බලපෑමක් තිබේ නම් එය කළ හැක්කේ අනර්කලී ප්‍රධාන ඇමතිනිය කිරීමෙන් පමණි.

ආණ්ඩුවේ දේශපාලන චින්තනය හැසිරවීමේ ලා වැදගත් කාර්යභාරයක් කරන කිසිදු කාන්තා නායිකාවක් නැති ජාතික හෙළ උරුමයේ පුරුෂෝත්තම සිංහල ජාතිකවාදය පමණක් නොව, නමට පමණක් කාන්තාවන්ට සම තැන දෙන ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු වාමාංශිකයන්ගේ ස්ත්‍රී විරෝධී සමාජවාදයද, එක්සත් ජාතික පක්ෂයේ බොල් ලිබරල්වාදය ද එක පෙළට තබා අභියෝග කිරීමට අනර්කලීට හැකියාව තිබේ.

Comments

  1. Anarkalli is great than other Politicians. Pl see my blogpost http://srilankan-stars.blogspot.com/search/label/Anarkalli%20Arkasha

    ReplyDelete
  2. හික්ස්...අනර්කලීට (හොද)හැකියාව(ක්)තිබේ.

    ReplyDelete
  3. පාදඩයින් විසින් තමන්ගේ අවශ්‍යතාවයන්ට පාවිච්චි කරල හප කරල විසි කර දැමීමට නියමිත තවත් ලස්සන කෙල්ලක්.

    ReplyDelete
  4. Elakiri kellekne chande deela yavamu maha emathikamatama ekihari goda yanavane

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා