රටට රු. කෝටි 35,000ක් ගෙන එන විදේශ ශ්‍රමිකයන් වෙනුවෙන් රජය කර ඇත්තේ කුමක්ද?


(2010 ජනවාරි 16 -W3Lanka) මේ වසරේදී (2010) විදේශ සේවා නියුක්‌තිකයන්ගෙන් අප රටට ලැබෙන මුදල් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 3.5 හෙවත් රු. කෝටි 35,000 ඉක්මවා යනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඇස්‌තමේන්තු කර ඇත.

2008 වසරේදී පිට රටවල වැඩ කරන ලංකාවේ මිනිස්සු ඩොලර් මිලියන 2527ක හෙවත් රු. කෝටි 26,000ක ආදායමක් මෙරටට ගෙන ආහ. එය රටේ දළ දේශීය නිෂ්පාදනයෙන් 8%කි. 



2008දී 252,021ක් ලාංකිකයන් විදෙස් රැකියා සඳහා නික්ම ගොස් තිබෙන අතර, එයින් බහුතරය ගෘහ සේවිකා කාන්තාවෝ වෙති. 


ලංකාවේ විදේශ ශ්‍රමිකයන් විසින් උපයනු ලබන ආදායම රටේ පුරවැසියන්ගේ සංඛ්‍යාවෙන් බෙදු විට ලැබෙන ඒක පුද්ගල විදේශ ශ්‍රම ආදායම මේ වන විට වසරකට එක්සත් ජනපද ඩොලර් 131ක් හෙවත් රු.14,000ක් පමණ වේ. මෙය දකුණු ආසියාතික රටවල සාමාන්‍ය අගය වූ ඩොලර් 33 මෙන් අටගුණයකි. 

විදේශ රටවල රැකියා කරන ලාංකිකයන් වෙනුවෙන් විශ්‍රාම වැටුපක් පිරිනමන බවට පොරොන්දුවක් ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ඊයේ එවැනි ශ්‍රමික පිරිසක් සමග අරලියගහ මන්දිරයේදී පැවති හමුවකදී නිකුත් කරන ලදී.  

විදේශ ශ්‍රමිකයෝ රටේ ප්‍රධාන ම විදේශ විනිමය උත්පාදන මාර්ගයකි. ලංකාවේ ඇමතිවරුන්, නිලධාරීන්, රජයේ සේවකයන් පමණක් නොව සහනාධාර ලබන ගොවීන් හා සමෘද්ධිලාභීන් පවා මෙම විදේශ ශ්‍රමිකයන්ට ණය ය. රජය සෙසු  ජන කොටස් වෙනුවෙන් මෙන් නොව මෙම ශ්‍රමික පිරිස වෙනුවෙන් කිසිදු සුබසාධනයක් නො කරන තරම් ය. එපමණක් නොව විදේශ රැකියා සඳහා යන්නට අපේක්ෂා කරන මිනිසුන් ගැහැණුන් දේශපාලකයන්, නිලධාරීන් හා ඒජන්සිකරුවන් විසින් නිර්දය ලෙස සූරා කනු ලැබේ. මෙම ජනතාවට ණය ලාංකිකයන් අතර ඔවුන්ගේ සේවය පිළිබද යහපත් ආකල්පයක් ඇති කරන්නට හෝ කිසිවක් රජය කර නැත. 

මෙම විදේශ ශ්‍රමිකයන් බොහෝ දුරට වහලුන්ට සමාන වන අතර ඔවුන්ට කිසිදු වෘත්තීය අයිතිවාසිකමක් නැත. මේ අතරින් බහුතරය මෙන් ම පීඩිත ම කොටස වන ගෘහ සේවිකාවෝ අනන්ත තාඩන පීඩනවලට ලක් වෙති. 

2009 වසරේ පමණක් විදේශ ශ්‍රමිකයන් හත්දෙනෙකු එතෙරදී මරා දමා ඇති අතර සිය දිවි නසා ගත් සංඛ්‍යාව 14කි. 63දෙනෙක් හදිසි අනතුරු හේතුවෙන් මිය ගියහ. විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් කරනු ලබන එකම සේවාව වන්නේ පමා වී හෝ මිය ගිය මිනිසුන්ගේ මළ සිරුරු මෙරටට ගෙන ඒමයි. 


2009දී විදේශ ශ්‍රමිකයන් 333ක් එතෙරදී මිය ගිය අතර ඔවුන්ගේ සිරුරුවලින් මෙරටට ගෙන එනු ලැබුවේ 272ක් පමණි. 44ක් එතෙරදී ආදාහනය කර ඇති අතර 2009දී මළ මිනිසුන්ගේ සිරුරු 17ක් තවමත් ගෙන එන්නට තිබේ. 


රු. කෝටි 35,000ක් රටට උපයා දෙන මේ මිනිසුන්ගේ අවමංගල්‍ය වියදම් වෙනුවෙන් රු. ලක්ෂ 20ක් පමණ හා මළ සිරුරු මෙරටට ගෙන ඒම සඳහා රු. ලක්ෂ 43ක් පමණ ද වැය කළ බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය ආඩම්බරෙන් පවසයි. 


විදේශ ශ්‍රමිකයන්ගේ යහපත වෙනුවෙන් රජය විසින් කරන ලද වෙනත් තේරුමක් ඇති සේවාවක් පිළිබඳ අපි නො දනිමු. අපේ පාඨකයන් හෝ විදේශ ශ්‍රමිකයන් භාර ඇමතිවරුන්, නිලධාරීන් හෝ එවැනි තොරතුරක් දන්නවා නම් අපට දැනුම් දෙන්න.

Comments

  1. රට රස්සාවලින් ගිය වසරේදී රුපියල් කෝටි 33,000ක්
    http://www.dinamina.lk/2010/03/24/_art.asp?fn=n1003241

    ReplyDelete
  2. 210 වසරේ මුල් මාස 3 ට ඩොලර් කෝටි 89ක ආදායමක් විදේශ ශ්‍රමිකයන්ගෙන්....රජය ඩොලර් කෝටි 400ක් බලාපොරොත්තු වෙනවලු...
    http://i54.tinypic.com/2lwp4m0.jpg

    ReplyDelete
  3. විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් මේ වසර තුළ රුපියල් කෝටි 42000ක වාර්තාගත ආදායමක්
    1) http://www.dinamina.lk/2010/10/25/_art.asp?fn=n1010252
    2) http://www.dinamina.lk/epaper/art.asp?id=2010/10/25/Pg01_0&pt=p&h=

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා