අනේ ලංකාවෙ බිස්නස් ක්ලාස් එක දන්න පාක් ඇන් රයිඩ්!


(2009 සැප්තැම්බර් 23 - W3Lanka) ප්‍රවාහන ක්ෂේත්‍රයේ ගුණාත්මක බව රැක ගැනීමට යයි කියමින් හඳුන්වා දුන් කටුබැද්දේ මොටෝ රිය නවතා කොළඹ දක්වා සුඛෝපභෝගී බසයෙන් යා හැකි සල්ලිකාරයන්ගේ හෙවත් බිස්නස් ක්ලාස් එකේ පාක් ඇන් රයිඩ් සේවාව දැන් නියම සුදු අලියෙක් වී තිබේ.


පසුගිය මාර්තු මස මෙය ආරම්භ කළ අතර "මාර්තුවල ඉඳන් සැප්තැම්බර් දක්වා මගීන් 12 ක් විතර තමයි හිටියේ" යි ප්‍රවාහන ඇමති ලසන්ත අලගියවන්න පවසයි.  "ඒත් දැන් මගීන් 40 දක්වා සංඛ්‍යාව වැඩි වෙලා තියෙනවා," යි ද සැප්තැම්බර් 23දා දිනමිණ පුවත්පතට කී ඔහු මොරටුව -කොළඹට අමතරව හයිලෙවල් පාර, මීගමු පාර වැනි පාරවල් වලත් මේ ක්‍රමය ක්‍රියාත්මක කරන බව පවසයි.


මේ අතර නිල් පාට අලුත් සුඛෝපභෝගී හිස් බස් ඉන්ධන පුළුස්සාගෙන, මාර්ග තදබදය වැඩි කරමින්, පාරවල් අබලන් කරමින් මාර්ගවල සැරිසරනු ගාලු පාරේ බස්වල ‍ටින් මාළු සේ තෙරපෙමින් වවුලන් සේ එල්ලී යන ජනයාට දකින්නට ලැබේ.


පාක් ඇන් රයිඩ් සාර්ථක නොවන්නට ප්‍රධාන හේතුව අපේ රටේ ඉහළ මධ්‍යම පංතියට හා ධනපති පංතියට සංස්කෘතියක් නැතිකමයි. ප්‍රධාන වශයෙන් ම ජනතා දේපල මංකොල්ලකෑමෙන් හා ගසාකෑමෙන් තර වන මෙම සමාජ තීරයේ අයට ඇත්තේ පුළුවන් තරම් පරිභෝජනය කිරීමේ බඩජාරි සංස්කෘතියක් බව කාටත් වඩා හොඳින් දන්නේ මෙම සංකල්ප හඳුන්වා දෙන දේශපාලකයන්ය.පාක් ඇන් රයිඩ් වෙතින් බලාපොරොත්තු වන සමාජ වගකීම ඇත්තේම නැත්තේ මේ බස්වල ලියා තිබෙන බිස්නස් ක්ලාස් යන පංතියට අයිති අයටයි.


ආණ්ඩුවේ මහා පරිමාණ දූෂණ හා නාස්ති අතරට මෙය ද එක් වීම වළක්වා ගැනීම සඳහා ආණ්ඩුවට වහා කළ හැකි දෙයක් වන්නේ මේ බස් කොළඹ වටා යන ඉස්සර තිබුණු ආකාරයේ කොළ කවය බස් වැනි සාමාන්‍ය ජනතාවට පරිහරණය කළ හැකි බස් සේවාවක් බවට පත් කිරීමයි. එම බස්වල ලියා ඇති බිස්නස් ක්ලාස් යන වචන දෙක කටු ගා නොදැමුවොත් සාමාන්‍ය ජනයා ඒවාට නැඟීමට බිය වනු ඇත.


කටුබැද්දේ පාක් ඇන් රයිඩ් රථ නැවතුම්පොළේ දඩාවතේ යන බල්ලන්ට අනාථාගාරයක් හැදිය හැකිය. පාක් ඇන් රයිඩ් බෝඩ් ලෑල්ල ගලවා කටුබැද්ද රජයේ බලු අනාථාගාරය කියා බෝඩ් ලෑල්ලක් දැමිය හැකිය. 

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා