කරගාටකාරන් කෙසෙල් විහිළුව හා ලංකාවේ ජාතීන්ගේ ප්‍රශ්නය

අජිත් පැරකුම් ජයසිංහ -

කරගාටකාරන් (නැට්ටුක්කාරයා) නම් ගංගෛ අමරන් අධ්‍යක්ෂණය කළ දෙමළ චිත්‍රපටයෙහි ගවුන්ඩමනි සෙන්දිල්ට රුපියලක් දී කෙසෙල් ගෙඩි දෙකක් ගෙන එන්නට කියයි. සෙන්දිල් මගදී එක් ගෙඩියක් කා ඉතිරි එක ගවුන්ඩමනිට ගෙනැවිත් දෙයි. අනෙක් ගෙඩිය කොහෙදැයි ගවුන්ඩමනි අසයි. ඔය තියෙන්නේයි ගවුන්ඩමනි අතෙහි ඇති කෙසෙල්ගෙඩිය පෙන්වමින් සෙන්දිල් කියයි. ගවුන්ඩමනී ඔහුට වඩාත් සරළව පැහැදිලි කර දී අනෙක් ගෙඩිය කොහිදැයි අසයි. සෙන්දිල් කියන්නේ ඔය තියෙන්නේ කියායි.

ගවුන්ඩමනි කෝපයට පත්ව සෙන්දිල්ට පහර දීමට ගිය විට ඔහු වළක්වන ඔහුගේ මිතුරෙක් සෙන්දිල්ට වඩාත් සරළව පැහැදිලි කර දෙයි. සෙන්දිල් තමන්ට තේරෙන බව කියයි. ඉන් පසු ඔහු නැවතත් අනෙක් කෙසෙල් ගෙඩිය කොහිදැයි අසයි. සෙන්දිල්ගේ පිළිතුර ඔය තියෙන්නේ කියායි. වඩාත් කුපිත වන ගවුන්ඩමනි ඔහුට පහර දීමට යන විට කාන්තාවක පැමිණ එය වළක්වා වඩා කරුණාවෙන් සෙන්දිල්ට කියා දී අනෙක් කෙසෙල් ගෙඩිය කොහිදැයි අසයි. එහෙත් ලැබෙන්නේ ඔය තියෙන්නේ යන සුපුරුදු පිළිතුරමය.

අන්තිමේදී ගවුන්ඩමනි කෝපය මැඩගෙන මෙසේ පැහැදිලි කරයි.

    ග: මම උඹට මොනවද ගේන්න කීවෙ?

    සෙ: කෙසෙල් ගෙඩි දෙකක්

    ග: මම උඹට කීයක් දුන්නද?

    සෙ: රුපියලයි.

    ග: රුපියලට කෙසෙල් ගෙඩි කීයක් ගන්න පුළුවන්ද?

    සෙ: දෙකයි.

    ග: උඹට කඩකාරයා කෙසෙල්ගෙඩි කීයක් දුන්නද?

    සෙ: දෙකයි.

    ග: දැන් මෙතන එකක් තියෙනවා. අනෙක් ගෙඩිය කෝ?

    සෙ: (එම ගෙඩියටම ඇඟිල්ල දිගු කරමින්) ඔය තියෙන්නේ.


(කරගාටකාරන් කෙසෙල් විහිළුව බලන්න මෙතැන ක්ලික් කරන්න)

ලංකාවේ ජාතීන්ගේ ප්‍රශ්නය ද කරගාටකාරන් චිත්‍රපටයේ කෙසෙල් ගෙඩි විහිළුව වැනිය. සිංහල ජාතිකවාදියාට කෙතරම් පැහැදිලි කර දුන්නත් දෙමළාගේ ප්‍රශ්නය තේරෙන්නේ නැත. එයට හේතුව, හොරෙන් කෑ කෙසෙල්ගෙඩිය සේ සිංහල ජාතිකවාදයේ පදනම සිංහල මූලික ජාතික රාජ්‍යය ඉදි වන්නේ දෙමළ ජනයාගෙන් පැහැර ගත් ජාතික හිමිකම් මත බැවිනි. දෙමළ ජාතිකවාදියා තම ප්‍රශ්නය හොඳින් කියා දීමට උත්සාහ කරයි. ඒත් අවසානයේදී සිංහල ජාතිකවාදියා නැවතත් අසන්නේ දෙමළ ජනයාට ඇති ප්‍රශ්නය කුමක්දැයි කියාය. එවිට දෙමළ ජාතිකවාදියා කෝපාවිෂ්ඨව පහර දීමට එළවයි.

එසේ එලවාගෙන ආ දෙමළ ජාතිකවාදියාට අවසානයේදී සිදු වූයේ බඩපුරා කන්නටයි. දැන් ප්‍රශ්නය නැවත මුලට ගොස් ඇත. දෙමළ ජනයාට ඇති ප්‍රශ්නය කුමක්දැයි සිංහල ජාතිකවාදියෝ දැන් නැවතත් අසති. ඇත්තෙන්ම කීවොත් දෙමළ ජනයාට ඇති ලොකුම ප්‍රශ්නය වන්නේ තමන්ට ප්‍රශ්නයක් ඇති බව සිංහල ජාතිකවාදීන්ට නොපෙනීමයි. සිංහල ජාතිකවාදියාට ඇති ප්‍රශ්නය වන්නේ දෙමළාගේ ප්‍රශ්නය තේරුම් ගත්තොත් තමන්ගේ ජාතිකවාදයේ පදනම දෙදරා යාමයි. මෙයට විසඳුම වන්නේ එක්කෝ දෙමළ ජාතිකවාදයට ඉඩක් විවෘත වන පරිදි සිංහල ජාතිකවාදය නවීකරණය කිරීමයි. නැතිනම් ලංකාවේ සිංහල හා දෙමළ භාෂා කතා කරන දේශපාලන ප්‍රජාවන් දෙක එක්ව නව ලාංකික ජාතියක් ගොඩනැඟීමේ ව්‍යායාමයකට උර දිය යුතුය.

ලාංකික ජාතියක් ගොඩනැඟීම යනු වර්තමානයේ ශ්‍රී ලාංකික ජාතිය යයි කියන නොපවතින මිථ්‍යාව තුළට දෙමළ ජනයා තල්ලු කිරීමට උත්සාහ කිරීම නොවේ. වත්මන් ශ්‍රී ලාංකික ජාතිය යනු සිංහල රාජ්‍ය ආධිපත්‍යවාදයට පර්යාය පදයක් පමණි. ලාංකිකයා ඉන්දියානුවා වැනි පුළුල් අනන්‍යතාවක් ඇති දේශපාලන ප්‍රජාවක් විය යුතුය. ඉන්දියානුවාට එසේ වන්නට හැකි වූයේ හින්දි කතා කරන මහ ජාතියට මෙන්ම දෙමළ කතා කරන තමිල්නාඩු වැසියා වැන්නන්ට ද කැමැත්තෙන්ම අනුගත විය හැකි සේ ඉන්දීය ජාතික අනන්‍යතාව පුළුල් වූ බැවිනි. සුළුතර ප්‍රජාවන්ගේ භාෂා හිමිකම තහවුරු කිරීම හා සුළුතර ජාතීන්ට තමන් බහුතරය ‍වන ප්‍රදේශ පාලනය කිරීමේ පාලන බලතල ලබා දීම ද ඉන්දීය ජාතික අනන්‍යතාව ශක්තිමත් කිරීමට හේතු විය. ප්‍රාදේශීය පාලන ඒකක 35කින් සැදුම් ලත් ඉන්දියා‍වේ වහරන භාෂාවන් සිය ගණනක් අතරින් 22කට නිල භාෂා තත්වය හිමි වී තිබේ. එසේම මධ්‍යම ආණ්ඩුව තුළ සුළු ජාතීන්ට සමානත්වය ලබා දීම ද ඉන්දීය ජාතික අනන්‍යතාවේ ප්‍රධාන ලක්ෂණයකි. වර්තමාන ඉන්දීය ආණ්ඩුවේ අගමැති සික් ජාතිකයෙකි. 2004දී ඉංග්‍රීසි කතා කරන බෞද්ධයකු වූ දෙමළ නොදත් නමුත් දෙමළ නමක් හිමිව සිටි ලක්ෂ්මන් කදිර්ගාමර් අගමැති කිරීමට ජවිපෙ දැරූ උත්සාහය අසාර්ථක වූයේ ඇයි?

ලංකාවේ සිංහල ජාතිකවාදීන් මෙන්ම දෙමළ ඊලාම් ජාතිකවාදීහු ද අනුගමනය කරන්නේ ඊශ්‍රායල් ජාතිය ගොඩනැඟීමේ ආක්‍රමණශීලී ක්‍රමවේදයයි. අවසාන වරට කොළඹට මරාගෙන මැරෙන ගුවන් ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා පැමිණි එල්.ටී.ටී.ඊ. ගුවන් නියමුවකු ලියා තැබූ මාධ්‍යයට නිකුත් කරන ලද ලියුමක ද ඊශ්‍රායලය උත්කර්ෂයට නඟා තිබිණි. දෙපාර්ශ්වයම යුද උපක්‍රම සම්බන්ධයෙන් ඊශ්‍රායලයට ණයගැතිය. නූතන සංදර්භය තුළ ඊශ්‍රායල් ජාතිකවාදය සෙසු ජාතීන් බැහැර කරන අවකලනාත්මක, පටු, පීඩක ජාතිකවාදයකි. ලංකාවේ සංදර්භය විසින් ඉල්ලා සිටින්නේ ජාතීන්ට ස්වයංව අනුකලනය විය හැකි පුළුල් ලාංකික ජාතික අනන්‍යතාවකි.

සිංහල, දෙමළ දෙජාතීන්ගේ ප්‍රගතිශීලී බලවේග ජාතික සමගිය සඳහා ප්‍රබල මැදිහත්වීමක් නොකරන තාක් කල් කරගාට්ටකාරන් කෙසෙල්ගෙඩි විහිළුව තව බොහෝ වරක් ලාංකීය පොළව මත රඟ දැක්වෙනු ඇත. එහෙත්, එය විහිළුවක් නොවන්නේ සිදු වන්නේ රුහිරු ගංගාවක් මත වන බැවිනි.

Comments

  1. ඕකෙම අනික් පැත්ත තමයි සිංහල බෞද්ධයන්ට මේරටේ තියෙන ප්‍රශ්න, අන්‍ය ජාතියන්ට තබා සිංහල බෞද්ධයන් ට වත් නොතේරීම.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා