2009-09-06

ලංකාව කොයිබට ද?

අජිත් පැරකුම් ජයසිංහ -
දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය යුදමය වශයෙන් පරාජයට පත් වී ඇත. එපමණක් නොව, දේශපාලනික වශයෙනුත් අභියෝග රැසක් එය ඉදිරියෙහි ඇත. එහි යළි නැඟී සිටීම මුළුමනින්ම වැළැක්වීම සඳහා රජය පිඹුරුපත් අඳිමින් සිටින බව රහසක් නොවේ.


පශ්චාත් එල්.ටී.ටී.ඊ. සමයේ දෙමළ අරගලය හෙවත් ප්‍රභාකරන් මරා දැමීමෙන් පසු අවධියේ දෙමළ අරගලය දැන් යළි හැඩගැසෙමින් තිබේ. රජය විසින් යාපනය මහ නගර සභාව වෙනුවෙන් හා වවුනියාව නගර සභාව වෙනුවෙන් පවත්වන ලද මැතිවරණ විසින් මෙම නව හැඩගැස්මේ යම් යම් ලක්ෂණ විදහා දක්වනු ලැබේ. රජයේ බලාපොරොත්තු සුන් කරමින් වවුනියාවේ හා යාපනයේ දෙමළ ජනයා දෙමළ ජාතිකවාදී ඉලං‍ගෛ තමිල් අරසු කච්චි හෙවත් දෙමළ ජාතික සන්ධානය කෙරෙහි බලාපොරොත්තු පළ කළහ.


එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි නැඟී සිටියත්, නො සිටියත් හෙට දවසේත් ලංකාවේ දේශපාලනය ඉදිරියේ ජාතීන්ගේ ප්‍රශ්නය අභියෝගයක් ලෙස ඉතිරි වන බව පැහැදිලි ය. එයට හේතුව, ලංකාවේ සිංහල ජනයාටත්, ඔවුන් විසින් බලයට පත් කරනු ලැබ තිඛෙන පාලකයන්ටත් ජයග්‍රහණයේ ගිනිකණ වැටීම තුළ තිස් වසක යුද විනාශයට හේතු පාදක වු ජාතීන්ගේ ප්‍රශ්නයේ ගැඹුර දර්ශනය නොවීමයි.


ලංකාවේ ජාතීන්ගේ ප්‍රශ්නයට විසඳුම් සෙවීම දුෂ්කර වීමට හේතු වී තිඛෙන්නේ ජාතීන් අතර දුරස්ථභාවය නැති කිරීමට සිංහල මෙන්ම දෙමළ ජාතිකවාදී නායකයන් විසින් ද සැබෑ ප්‍රයත්නයක් නොදැරීමයි.  රාජ්‍ය බලය හිමි සිංහල ජාතිකවාදීන් දිගින් දිගටම උත්සාහ කරන්නේ එමගින් දෙමළ ජාතිකවාදී අභිලාෂයන් යටපත් කිරීමටයි. දෙමළ ජාතිකවාදීහු විකල්ප රාජ්‍ය ගොඩනැඟීමක් වෙනුවෙන් දැවැන්ත යුද-දේශපාලනික ප්‍රයත්නයක් දැරූහ. එක් වීමේ විභවයන් අවම කළ මෙම සිවිල් යුද්ධයේ උච්චතම තලයෙහිදී දෙමළ ජාතිකවාදීහු අසමමිතික යුද්ධයක් තුළ නියත පරාජයක් වැළඳ ගත්හ. ඒ සමග අස්ථායී තත්වයකට පත් වී සිටින දෙමළ ජාතිකවාදීන් මේ මොහොතේ උත්සාහ දරමින් සිටින්නේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ දෙමළ රාජ්‍ය ගොඩනැගීමේ ව්‍යායාමය ප්‍රතිව්‍යූහගත කරගැනීමටයි. එහි යුක්තියුක්තභාවය තීරණය වනු ඇත්තේ තවත් දැවැන්ත විනාශයක් දෙමළ ජාතියට අත්පත් කර නොදෙමින් සිය අභිලාෂයන් සපුරාගැනීමට දෙමළ ජාතිකවාදීන් සමත් වන්නේ නම් පමණි.


සිංහල රාජ්‍ය පාලකයන් විසින් දෙමළ අරගලයට විසඳුම් ලෙස යෝජනා කරමින් සිටින්නේ කුමක්ද යන්න ගැඹුරින් විමසා බලන විට පෙනෙන්නේ දැවැන්ත ධනේශ්වර සංවර්ධනයක් ඔස්සේ සුළු ජාතීන්ගේ වෙන් වී යාමේ විභවයන් පරාජය කිරීමේ ප්‍රයත්නයක් එහි ඇති බවයි. ඒ සඳහා සිවිල් යුද සමයේ ඇණහිට තිබුණු යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති යළි ආරම්භ කර තිබේ. දැවැන්ත මාර්ග සංවර්ධනයක්, බලශක්ති හා සන්නිවේදන ජාලයක් ඔස්සේ කොළඹ කේන්ද්‍රීය රාජ්‍යයෙන් දුරස්ථ වී තිඛෙන ප්‍රදේශ යළි ඈඳාගැනීම අපේක්ෂා කෙරේ. එසේම, ධනේශ්වර ප්‍රාග්ධනයට හා වෙළඳපොළට දෙමළ ජනයා බහුතරය ලෙස ජීවත් වන ප්‍රදේශ විවෘත කිරීමෙන් සිදු වන 'සංවර්ධනය' ඔස්සේ දෙමළ ධනේශ්වර පංතියක් බලසතු වීමත්, එම 'සංවර්ධනය' පහළට කාන්දු වීමෙන් දෙමළ පීඩිත ජනයා වැඩි වැඩියෙන් ධනවාදය සමග සම්බන්ධ වීමත් අපේක්ෂා කරන බව නිරීක්ෂණය කළ හැකිය.


මේ සඳහා රජය අතිවිශාල වශයෙන් විදේශයන්ගෙන් ණය ගැනීම කරගෙන යයි. කලින් පැවති ආණ්ඩුවල ප්‍රතිපත්තිය වූ රාජ්‍ය අංශය හැකිළීම හා පෞද්ගලික අංශය සංවර්ධනයේ යන්ත්‍රය බවට පත් කිරීම වෙනුවට දැවැන්ත, අකාර්යක්ෂම රාජ්‍ය අංශයක් නඩත්තු කිරීමේ ප්‍රතිපත්තියක වත්මන් ආණ්ඩුව පිහිටා තිබේ. රාජ්‍ය සේවය හරහා සමාද්ධිය සලස්වා ගන්නා පාර්ලිමේන්තු, පළාත් සභා, ප්‍රාදේශීය සභා ආදී දේශපාලක පැළැන්තියත්, ආණ්ඩුවට ශක්තිය සපයන ප්‍රධාන පංතිමය බලවේගය වන ඉහළ හා පහළ මධ්‍යම පංතික නිලධාරි තලයත් සතුටු කර තබාගැනීමට මෙම ප්‍රතිපත්තිය ඔස්සේ ආණ්ඩුවට හැකියාව ලැබේ. එහෙත්, මෙම දැවැන්ත අකාර්යක්ෂම රාජ්‍ය සේවය නඩත්තු කිරීමේ බර අවසානයේදී දරා ගැනීමට සිදු වන්නේ රටේ නිෂ්පාදනයට සම්බන්ධ වන පීඩිත පංතියටයි.


මෙම උපායමාර්ගය සාර්ථක කරගැනීමෙහි ලා දෙමළ ජාතික හැඟීම් යටපත් කර තබාගැනීම පිණිස රජය දැවැන්ත මිලිටරි බලයක් ස්ථාවර ලෙස යෙදීම සඳහා සැලසුම් සකස් කරමින් තිබේ. විශේෂයෙන් ම දෙමළ ජනයා බහුතරයක් ලෙස ජීවත් වන උතුරු නැගෙනහිර ප්‍රදේශත්, සමස්තයක් ලෙස මුළු දිවයිනමත් ආවරණය වන පරිදි එළනු ලබන මෙම මිලිටරි ආස්ථරණය විනිවිද යාම කිසිදු කැරළිකාරී ව්‍යාපාරයකට පහසු වන්නේ නැත. රාජ්‍යය හා හමුදාව තුළ මෙම උපාය මාර්ගය ස්ථාපිත කර ඇති සංදර්භය තුළ ආණ්ඩු වෙනසකින් වුව මෙම තත්වයෙහි සුසමාදර්ශීය වෙනසක් සිදු වේ යයි අපේක්ෂා කළ නොහැකි ය.


ආණ්ඩු වෙනසක් තුළින් බලාපොරොත්තු විය හැකි එකම සාධනීය වෙනස වන්නේ ජාතීන් බලහත්කාරයෙන් අනුකලනය තරනවා වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදී අනුකලනය දිරිගන්වන ආණ්ඩුවක් බලයට ඒම පමණි. ප්‍රජාතන්ත්‍රවාදී  අනුකලනය වනාහි අන් කිසිවක් නොව ලාංකීය ජාතියක් ගොඩනැඟීමේ බැරෑරුම් ප්‍රයත්නයකි. 

මෙම සංදර්භය තුළ ලංකාවේ ප්‍රගතිශීලී ව්‍යාපාරයකට මේ මොහොතේ කළ හැකිව තිඛෙන සාධනීය කාර්යභාරයක් වන්නේ ජාතීන් අතර සහජිවනය, සංහිඳියාව හා ප්‍රජාතාන්ත්‍රික අනුකලනය ප්‍රවර්ධනය කරන, පුළුල් ලාංකීය ජාතියක් ගොඩනැඟීමේ ව්‍යායාමයකට උර දීමයි.