ලෝක මානසික සෞඛ්‍ය දිනය - ලංකාවේ මානසික රෝගීන් ලක්ෂ හයක්; වෛද්‍යවරුන් ඉන්නේ රෝගීන් 17,000ට එක්කෙනයි


(2009 ඔක්තෝබර්  10 - W3Lanka) ලෝක මානසික සෞඛ්‍ය දිනය අදට (10 දා) යෙදී ඇත. ප්‍රාථමික සෞඛ්‍ය තුළ මානසික සෞඛ්‍ය ප්‍රතිකාර තත්ත්වයන් උසස් කරලීම හා මානසික සෞඛ්‍ය ප්‍රවර්ධනය, මෙවර ලෝක මානසික සෞඛ්‍ය දිනයේ තේමාවයි. 

ලංකාවේ ජනගහණයෙන් 3%ක් පමණ කුමන හෝ මානසික රෝගයකින් පෙළෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තා පෙන්වා දෙයි. 2%ක් ජනයා බරපතල මානසික රෝගවලින් පෙළෙති. 10%ක් දෙනාට මානසික ගැටළු තිබේ. ලංකාව ලෝකයේ වැඩිම සිය දිවි නසාගැනීම් හා මත්පැන් වැරදි පරිහරණය සිදු වන රටක් ලෙස හඳුනාගෙන තිබේ. දීර්ඝ කාලීන යුද්ධය හා සුනාමි වැනි හේතු මත පසුගිය කාලයේ ලංකාවේ මානසික සෞඛ්‍ය තත්වයේ පිරිහීමක් දක්නට ලැබිණි.



දැනට අංගොඩ සහ මුල්ලේරියාව මානසික රෝහල්වල 3000ක් පමණ රෝගීහු නේවාසිකව සිටිති. මුල්ලේරියාවේ සිටින 800ක් පමණ දෙනා කාන්තාවෝ වෙති. දීර්ඝ කාලයක් රෝහලේ ප්‍රතිකාර ලබන මොවුන් අතරින් බොහෝ දෙනෙකු සුවය ලබා සිටිය ද රෝහලෙන් පිට කිරීමට නො හැකිව ඇත්තේ ඔවුන් භාර ගැනීමට කිසිවකු ඉදිරිපත් නො වන හෙයිනි.

මානසික රෝගීන් යනු රටේ දිළිඳුම ප්‍රජාවන්ගෙන් එකකි. ඉතා ම පහළ ආදායම් මට්ටම්වල සිටින මානසික රෝගීන්ගෙන් බහුතරයකගේ තත්වය නඟා සිටුවීම අපහසු වී ඇත්තේ ද දරිද්‍රතාව නිසා ඔවුන්ට නිසි ප්‍රතිකාර නො ලැබෙන බැවිනි. රෝහල්වල ඖෂධ හිඟ වීම, ඖෂධ මිළ දී ගැනීම‍ට රෝගීන් අත මුදල් නොමැතිකම හා නිසි කලට සායන වෙත ගෙන ඒම සඳහා ප්‍රවාහන පහසුකම් නොමැති වීම වැනි හේතු මෙහිදී බලපායි. 

ලංකාවේ මිලියන විස්සක් වන ජනගහණය සඳහා විශේෂඥ මානසික වෛද්‍යවරුන් සිටින්නේ 35කි. එනම් ජනගහණයෙන් මිලියනයක‍ට විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනෙකුට අඩු ය. සංඛ්‍යාලේඛන අනුව මේ වනාහි  රෝගීන් 17,000කට පමණ එක් අයෙකු බැගිනි. පුහුණු මානසික සෞඛ්‍ය හෙද හෙදියන් සිටින්නේ ජනගහණයෙන් මිලියනයකට 18දෙනෙකු පමණි. දැනට දිවයින පුරා මානසික වෛද්‍ය නිලධාරීහු 110ක් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.



මානසික රෝගීන්ගේ මානව හිමිකම්වලට ගරු කිරීම ලංකාවේ ඉතා පහළ මට්ටමක පවතී. පොලීසි, අධිකරණ වැනි ආයතනවල පමණක් නොව මානසික රෝහල් හා සායනවල ද රෝගීහු දැඩි පීඩාවට හා හිංසනයට ලක් වෙති. සාමාන්‍ය ජනයා අතර මානසික රෝගීන්ට මානුෂිකව සැලකීමේ අවශ්‍යතාව පිළිබඳ අධ්‍යාපනයක් ලබා දීම අවශ්‍යව තිබේ.

- ඊශා කප්පරගේ විසිනි

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා