අප උතුරට දෙන්න යන සුපිරි ප්‍රජාතන්ත්‍රවාදය මෙන්න

උතුරේ මැතිවරණය අලුතින් බිහිවන ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ආරම්භය බව කම්කරු ඇමැති, කැලණිය ශී‍්‍රලනිප ප‍්‍රධාන සංවිධායආචාර්ය මර්වින් සිල්වා කියා තිබේ.(අද දිනමිණ කියවන්න)

අප උතුර හෙවත් කැරැළිකාර දෙමළුන් ප්‍රභාකරන්ගෙන් මුදාගත්තෙමු. දැන් අපි ඔවුන්ට ප්‍රජාතන්ත්‍රවාදය දීම අරඹා තිබේ. 

අපට අනුන්ට දීමට හැක්කේ අප ළඟ තිබෙන දේ පමණි. ඒ නිසා අප
උතුරට දෙන්නට යන්නේ අප ළඟ තිබෙන ප්‍රජාතන්ත්‍රවාදයයි. එහි ලක්ෂණවලින් සමහරක් මෙසේයි.

ආණ්ඩු ක්‍රමය සැකසෙන්නේ විධායක ජනාධිපති, ජනාධිපතිගේ මල්ලී, ජනාධිපතිගේ අනෙක් මල්ලී, බිරිඳ, අයියා, ලොකු පුතා, අයියාගේ පුතා, ව්‍යවස්ථාදායකය හා අධිකරණය ලෙසයි.

දේශපාලනය යනු පරම්පරාවෙන් දේශය පාලනය කිරීම උරුම වී තිබෙන රජ, සිටු පවුල්වල හා ඔවුන්ගේ හිතවතුන්ගේ වැඩකි. ඡන්දදායකයන්ට තිබෙන්නේ මැතිවරණවලදී වැඩියෙන් වියදම් කරන, වැඩියෙන් මැරයන් ඇති අපේක්ෂකයකුට ඡන්දය දී, එතැන් සිට ඊළඟ ඡන්දය එනතෙක් රජයට බදු ගෙවීම පමණි.

දේශපාලනය කළ හැක්කේ, ඡන්දවලට ඉදිරිපත් වී දිනිය හැක්කේ පිරිමින්ට පමණි. ගැහැනුන් කළ යුත්තේ රස්සා කිරීම, බත් ඉවීම හා යහනේ කටයුතු පමණි. පාලනය පිරිමින්ගේ ය. එහෙත්, මිය ගිය දේශපාලකයන්ගේ කණවැන්දුම් භාර්යාවන් ගැන පමණක් සලකා බැලිය හැකිය.

පක්ෂවලින් නාමයෝජනා ඉදිරිපත් කර සභාවලට තේරී පත්වීම සඳහා ලොකුම සුදුසුකම දේශපාලක තාත්තාකෙනෙකුගේ පුතා, සහෝදරයා, බෑණා වීමයි. 

මහජන දේපල යනු දේශපාලකයන්ටත්, ඔවුන්ගේ පවුල්වල අයටත් රිසි සේ භුක්ති විඳිය හැකි, ඉතිරි වන‍ දෙයින් හැකි නම් ජනතාවට යමක් කරන සම්පත් විශේෂයකි.

රාජ්‍ය මාධ්‍ය යනු දේශපාලකයන්ට තම මැතිවරණ හා පෞද්ගලික ප්‍රචාරක කටයුතු  සඳහා ද, විරුද්ධවාදීන්ට මඩගැසීම සඳහාද මහජන මුදලින් නඩත්තු කරන ආයතන විශේෂයකි. 

නීතිය යනු නඩු අසන්නන්ගේ හිතු මනාපයයි. දණ්ඩ නීති අදාළ වන්නේ දිළින්දන්ට පමණි. සල්ලි හා බලය ඉදිරියේ නීතිය ද දණ නමනු ඇත.

පොලිසිය තිබෙන්නේ ප්‍රභූන්ට ආරක්ෂාව සැලසීමට හා දුප්පතුන්ගේ කොඳු කැඩීමට ය. 

මානව හිමිකම් යනු මේ රට ආක්‍රමණය කිරීමට සැකසෙන බටහිර කුමන්ත්‍රණයකි.

සංවර්ධනය යනු කොන්ත්‍රාත්වලින් ඒ ඒ මට්ටම්වලදී යට මඩි ගසා ගැනීම් ටික අවසානයේදී ඉතිරි වන රොඩ්ඩයි.  

(මෙය නරක යයි කියන අය කොටි හිතවාදීන් බව කරුණාවෙන් සලකන්න) 

Comments

  1. ඕක ඇත්ත , යුද්දේ දිනන්න පුලුවන් වෙච්ච කෙනාටම රටේ සාමය වත් ප්‍රජාතන්ත්‍රයවත් හොදට රකින්න පුලුවන් කියලා අපි පිලි ගන්නවා නම් වැරදියි. පවතින රජය රට දියුනු කරන්න හදන එක ඇත්ත. එත් බලන්න
    එයාලා පාතාලය මර්දනය කරන්නේ එයාලගේ පාතාලේ කට්ට්ටිය ඉතුරු කරගෙන,එයාලට ඇමති කමුත් තියෙනවා
    රටේ රස්සවල් ගන්න නම් එයාගෙ නැදෑයෙක්ට ලක්ෂ ගානක් දිලා ලියුමක් ගත්තොත් පුලුවන්
    පොලීසිය කියන්නේ දවල්ට හොරට මිනිස්සුන්ට හින්සා කරන රෑට එලිපිටිම මිනිස්සුන්ට හින්සා කරන කට්ටියකට. උන් රෑට මිනිහෙක්ට පරේ ඉන්න දෙන් නෑ(කොලබ ඇරෙන්න )
    හිටියොත් කිසිම කතාවක් නැ අම්මටත් කුනුහර්පෙන් බැනලා ගහනවා. මේවා වෙනස් වෙන්න ඕනේ .
    මේවා වෙනස් කරන්න පුලුවන් රජයක් අපි පත් කර ගන්න ඕනේ. හැමදාම එකම කෙනාට තැන දීලා බෑ. සුඩුසු වැඩෙට සුදුසු කෙනාව පත් කරන්න ඕනේ

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා