උතුරේ ඉඩම් හිමිකම් ඔප්පු කළ නොහැකි 80%ට පර්චස් 20 තමයි; ඇමති හේමකුමාර තහවුරු කරයි

(2009 ජුලි 15) උතුරේ සහන ගම්මානවල වැසියන්ට පර්චස් 20 බැගින් ලබා දෙන බවට ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමැති ජීවන් කුමාරතුංග විසින් කර ඇති ප්‍රකාශය පිළිබඳ අද දිනමිණ පුවත්පතට අදහස් දක්වන කෘෂිකර්ම සංවර්ධන අමාත්‍ය හේමකුමාර නානායක්කාර පවසන්නේ "උතුරේ ඉඩකඩම්වලට හිමිකම් කියූ හිමිකම් තිබුණු සියලු දෙනා ම තම තමන්ගේ බිම් ප‍්‍රදේශ වල පදිංචි කරවන" බවයි. 

එහෙත් අවතැන් වූවන්ගෙන් 80%කට ඉඩම් හිමිකම් ඔප්පු කිරීම සඳහා ලියකියවිලි නොමැති බව ඉඩම් ඇමතිවරයා පවසා තිබිණි. කොටි සංවිධානයේ පාලනය යටතේ තිබුණු ප්‍රදේශවල ඉඩම් ප්‍රශ්න විසඳීම සඳහා අවශ්‍ය පියවර දශක දෙකක් පමණ කාලයක් තිස්සේ රජය විසින් ගෙන නොමැති අතර, නිරන්තර අවතැන් වීම් වැනි කාරණා නිසා ඉඩම් අයිතිය පිළිබඳ ඇත්තේ අවුල් සහගත තත්වයකි. එහෙත් මෙම ප්‍රදේශයේ ජනයාගෙන් 80%ක් ගොවීන් බව රජය පිළිගනියි. ඔවුන්ට ගොවිතැන සඳහා පර්චස් 20ක් සෑහෙන්නේ නැත.


දිනමිණ පුවත් පත සමග සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙමින් ඇමතිවරයා මෙසේ ද පවසයි. "අක්කර ගණනින් ගොඩින් හා මඩින් ඉඩම් තිබුණු අයට ඒ විදිහට ම තමන්ගේ ඉඩ කඩම් ලබා දෙනවා. ඒත් දකුණේ වගේ ම උතුරේත් වැසියන් සියලු දෙනා ම ඉඩම් හිමියෝ නොවෙයි. සමහර අය මහා පරිමාණ ඉඩම් හිමියන්ගේ ඉඩම් කුලියට වගා කරගෙන හිටියා. කුලී නිවාසවල හිටියා. මේ විදිහට ඉඩම් නොමැති ගෙවල් නොමැති අයට තමන්ගේ ම පදිංචියට ඉඩමක් හැටියටයි පර්චස් 20 ක් ලබා දෙන්නේ. එහෙම නැතුව අක්කර ගණන් තිබුණු අයගේ ඉඩම් පවරාගෙන ඒ අයට පර්චස් 20 ක් දෙන්නේ නෑ. ඒ විතරක් නෙවෙයි යුද්ධය හේතුවෙන් කඩා බිඳ වැටුණු නිවාස ඉදි කර දීමටත් ආණ්ඩුව පියවර ගනිමින් සිටිනවා."
 
හිමිකාරයන්ට තමන්ගේ ම ඉඩ කඩම් තිබූ ප‍්‍රමාණයෙන්ම පවරා දී ඉඩම් හා නිවාස නැති අයට පර්චස් 20 බැගින් ලබාදී ආණ්ඩුවට අයිති හිස් ඉඩම් තිබුණොත් ඒවා ආයෝජනය සඳහා විවෘත කරන බව ඇමතිවරයා පවසයි.


නැ‍ඟෙනහිර පළාතේ අවතැන් වූවන් යළි පදිංචි කිරීමේදී මුතූර් සාම්පූර් ප‍්‍රදේශයේ වැසියන් යළි පදිංචි නොකර "අක්කර ගණන් විශාල ඉඩම් ප‍්‍රමාණයක් ඉන්දීය සමාගමකට ලබා දී" ඇති බව දිනමිණ පුවත්පත පෙන්වා දෙයි. මෙවැනි උදාහරණ මඟින් උතුරේ ජනයාගේ ඉඩම් ඔවුන්ගෙන් උදුරාගෙන බහුජාතික සමාගම්වලට ලබාදීමේ සැලසුමක් කි‍්‍රයාත්මක වන බවට ඇතැමුන් චෝදනා නගන බවද දිනමිණ පුවත්පත ඇමතිවරයාට පෙන්වා දී ඇත.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා