ප්‍රශ්න පත්‍ර ප්‍රශ්නය ගැන ප්‍රශ්න පත්‍රයක්

(2009 ජුලි 24, W3Lanka) ඊයේ පාර්ලිමේන්තුවේදී ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක හෙළි කළ වසර මැද වාර විභාග ප්‍රශ්න පත්තර සෙල්ලම් කීපයක් මෙසේ ය. 

උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව 09 ශ්‍රේණිය සඳහා සිසු දරුවන්ට ලබා දුන් බුද්ධ ධර්මය 1 ප්‍රශ්න පත්‍රයේ 16 වැනි ප්‍රශ්නය:


"මෘත ශරීර ස්‌වභාවය, යහපත් දේශනා විලාසය, නිවන් අවබෝධය යන කරුණු අනුව බුදුන් වහන්සේ හඳුන්වන විශේෂ නාම වන්නේ...? (පිළිතුරු හතරක්‌ දී ඇත)
'මෘත' යනු 'මනා' නම් වචනය වැරදි ලෙස මුද්‍රණය කිරීමකි.

එම ප්‍රශ්න පත්‍රයේ 23 වැනි ප්‍රශ්නය:

"ශ්‍රී ලංකාවේ මුලින්ම "දේපිඨක ධර්මය ග්‍රන්ථාරූඪ කළේ කොහේද." "දේපිඨක" යන්න  "ත්‍රිපිටකය" ලෙස නිවැරදි විය යුතුය.

උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව අටවැනි ශ්‍රේණිය සඳහා දුන් බුද්ධ ධර්මය ප්‍රශ්න පත්‍රයේ 26 වැනි ප්‍රශ්නය:


"ගන්න හිතන දෙනු නොහිතන - ටිකක්‌ දීලා හු ක් ගන්න"

මෙහි 'හු ක්' යන්න 'හුඟක්' ලෙස නිවැරදි විය යුතු ය. හු ක් ගන්න යනු පාර්ලිමේන්තුවේ සඳහන් කළ නොහැකි අසභ්‍ය වදනක් බව අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා පවසයි. අප දන්නා පරිදි නම් එවැනි සිංහල කුණුහරුපයක් නැත. 


එම ප්‍රශ්න පත්‍රයේම 33 වැනි ප්‍රශ්නය:


"සසර විය බේදය නොගෙන මුනි අපවාදය..." 
මෙහි "අපවාදය" "අවවාදය" යනුවෙන් නිවැරැදි විය යුතුය.

මෙම සියලු දෝෂ සෝදුපත් නිවැරදිව නොකියවීමෙන් ඇති වූ මුදණ දෝෂයි. ප්‍රශ්න පත්‍ර මුද්‍රණය යනු ජවාරමකි. අධ්‍යාපන බලධාරීන් මේ සඳහා කොන්ත්‍රාත් ලබා දෙන්නේ තම හිතවතුන්ටයි. ඒ වෙනුවෙන් ඔවුන්ට සන්තෝසම් ලැබේ. මේ කොන්ත්‍රාත්කරුවන් බොහෝවිට අච්චු කන්තෝරුවක්වත් හරියට පවත්වාගෙන ගිය අය නොවෙති. කෙසේ වෙතත්, අවසාන සෝදුපත් අනුමත කිරීමේ වගකීම ඇත්තේ අධ්‍යාපන බලධාරීන්ටයි. අඩු තරමේ ප්‍රශ්න පත්‍රය සිසුන්ට බෙදා දීමට පෙරවත් එහි වැරදි, අඩුපාඩු පිළිබඳ සොයාබැලීමක් කර නොමැති බව පැහැදිලි ය.

දකුණු පළාත් සභාව විසින් දෙන ලද එක් ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයක උත්තර පත්‍රය ද අමුණා තිබුණු බව අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා පවසයි.

"සඳ නාවත් කමක්‌ නැතේ රත්තරං පුතේ හිරු නාවත් කමක්‌ නැතේ රත්තරං පුතේ" ගීය කවුරුන් ගැන කියන ලද්දක්‌ද යනුවෙන්ද ප්‍රශ්නයක්‌ අසා ඇති අතර ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා කළ කතාවක්‌ ඇසුරින්ද ප්‍රශ්නයක්‌ අසා ඇති බව මන්ත්‍රීවරයා පවසයි. 'ආයුබෝ වේවා' ගීය යුගයේ විශිෂ්ඨම ගීය ලෙස සලකන සමාජයක මෙවැනි ප්‍රශ්න වාර විභාග ප්‍රශ්න පත්‍රයකට ඇතුලත්වීම පිළිබඳ පුදුම විය යුතු නැත.

"ප්‍රභාකරන් මරා දැමූ බව ඇසූ විට ඔබට ඇති වුණ හැඟීම කුමක්‌ද?" යනුවෙන් ද ප්‍රශ්නයක්‌ අසා තිබූ බව අනුර කුමාර දිසානායක මහතා කීය.
 

පසුගිය දිනවල ජවිපෙද ඇතුළු බොහෝ දේශපාලන පක්ෂ විසින් දෙමින් සිටියේ මෙම ල්‍රශ්නයට පිළිතුර හැර වෙන කුමක්ද? මෙම ප්‍රශ්නයට සැබෑ බෞද්ධයකු ලෙස පිළිතුරු දුන්නොත් එම සිසුවාට නතර වන්නට සිදු වන්නේ ත්‍රස්ත විමර්ශන කාර්යාංශයේ ය.  


"ප්‍රභාකරන්ගේ බාල පුතු වූ බාලචන්ද්‍රන් මරා දැමූ බව ඇසූ විට ඔබට ඇති වුණ හැඟීම කුමක්‌ද?" යයි ප්‍රශ්නයක් පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට ඉදිරිපත් කළහොත් ලැබෙන පිළිතුරු කෙබඳු වනු ඇත්ද?

මෙවැනි ප්‍රශ්න නැඟීමෙන් පිළිබිඹු වන්නේ අධ්‍යාපන බලධාරීන්ගේ මනෝභාවයන් ය. අධ්‍යාපන බලධාරීන් කියා වැඩි වශයෙන් ඉන්නේ එක් එක් දේශපාලනයන්ට බත්බැලකම් කර තනතුරු ලබා ගත් අදක්ෂ ගුරුවරුන් බැවින් මෙම තත්වය පිළිබඳ පුදුම විය යුතු නැත.  





අද මේවා පිළිබඳ උපහාසයෙන් ප්‍රශ්න නඟන ජවිපෙද මෙම අප්‍රබුද්ධ සමාජ තත්වය වර්ධනය කිරීමට බෙහෙවින් දායක වී තිබෙන බව මතක්කර දෙන්නට කැමැත්තෙමු.





දිවයින පුවත්පතේ ලේඛක අජිත් අලහකෝන් මේ පිළිබඳ විග්‍රහ කරමින් පවසන්නේ මෙය බලය බෙදීම පිළිබඳ ගැටළුවක් බවයි. ‍"අධ්‍යාපනය විමධ්‍යගත කිරීමේ ප්‍රතිඵලය මෙසේ නම් පොලිස්‌ බලතල, ඉඩම් බලතල මේ පළාත් සභාවලට පැවරුවොත් පළාත් සභා ලොක්‌කෝ පිස්‌සු කෙළින ආකාරය කෙසේ දැයි සිතාගන්නටවත් බැරිය" යි හේ පවසයි. 


අපට පෙනෙන පරිදි නම් මෙතැන ඇත්තේ සමස්ත සමාජ ක්‍රමයේ ම ගැටළු වන දූෂණය හා මුග්ධකම පිළිබඳ කාරණායි. මධ්‍යම ආණ්ඩුව හා පළාත් සභා කියා මෙහි වෙනසක් නැත. එකී මුග්ධත්වයේම කොටස්කරුවන් වන මෙකී පඬිවරුන් තර්ක කරන්නේ පළාත් සභාවල මුග්ධකමට වඩා මධ්‍යම ආණ්ඩුවේ මුග්ධකම හොඳ ය කියාද? පළාත් සභාවල දුෂණයට වඩා මධ්‍යම ආණ්ඩුවේ දූෂණය හොඳ ය කියාද?


Comments

  1. උතුරට පලාත් සභා දීල බලන්න ඔනේ උන් ඔහොම වැඩ කරනවද කියලා. ඕක සිංහලයො කරාට කවදාවත් දෙමළ ජාතිකයන් එගොල්ලොන්ට එහෙම කරන්නෙ නෑ. පලාත් සභා දුන්නත් නැතත් කරුණායි පිල්ලයානුයි (ජීවත් වෙලා හිටියොත්) නැගෙනහිර හදලා ගන්නවා ඉක්මනට දකුණේ පස්ස බිම ඇනෙන්න.

    ReplyDelete
  2. පලාත් සබා මුග්ධයි නම් ඒ පලාත් සබා සම්පූර්නයෙන් ක්‍රියාත්මක කරන්න කියල එහෙනම් මැරෙන්න යන්නේ ඇයි?ජවිපෙ දේශපාලනය තමයි සමාජ ක්‍රමය වෙනස් කරන්න සටන් කරන එක.ජවිපෙට විරුද්ධ වාම ස්වරූපයක් තියන පිරිස් එයාලම මුග්ධයි කියල පිලිගන්න පලාත් සබා වගේ දේවල් වල එල්ලෙමින් ධනපති ක්‍රමය තුල ‍රටේ ප්‍රශ්න වලට විසදුම් සොයමින් සිටී.

    ReplyDelete
  3. මෙතන මම නම් දකින්නේ බලය බෙදීම ගැන ගැටලුවක් නෙමෙයි... බලය එක් තැනකට ලැබීමේ ගැටලුවක්.
    අපි ඉස්කෝලෙ ගිය කාලෙ පලාත් සභාවෙන් ප්‍රශ්න පත්‍ර දුන්නෙ 11 වසර මැද වාර පරීක්ෂණය විතරයි. අනිත්වට ප්‍රශ්න පත්‍ර ගැහුවෙ එක්කෝ පාසලෙන්ම. නැත්නම් පර්ෂද මට්ටමින්(අද පර්ෂද නෑ). නැත්නම් අධ්‍යපන කොට්ඨාශ මගින් හෝ කලාප කාර්යාලය මගින්.

    ඒ කාලෙ මේ වගේ ප්‍රශ්න නොතිබුණාමත් නොවෙයි.ඒත් ඒක බලපෑවෙ ඉතා සුළු පිරිසකට නිසා කතිකාවට ගැනුනේ නෑ.

    පළාත් මට්ටමින් විභාග පැවැත්වීමේ හොඳ සහ නරක දෙකම තියනවා....

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා