යාපනයේ උදයන් පුවත්පත මරණයේ දොරටුව අබියස

රට රකින දෙමළ එක්සත් බලකාය නමැති මෙතෙක් කිසිවකු නොදැන සිටි සංවිධානයක් විසින් තර්ජනාත්මක ලිපියක් එවමින් යාපනය උදයන් පුවත්පතේ කාර්ය මණ්ඩලයට ඉල්ලා අස් වීමට දී තිබුණු කාලසීමාව ඊයේ අවසන් විය.


අද සිට උදයන් පුවත්පතේ සේවය කරන හා එය බෙදාහරින අලෙවි කරන අයට මරණ දඬුවමට මුහුණ දීමට සිදු වන බව තර්ජනාත්මක ලිපියේ සඳහන් වන අතර පුවත්පතේ ප්‍රකාශන හා අලෙවි කටයුතු මේ වන විට ඉතා දුෂ්කර වී තිබෙන බව වාර්තා වේ. පුවත්පකේ කළමනාකාර අධ්‍යක්ෂ වන ජනාධිපති මහින්ද රාජපක්ෂට සමීප පුද්ගලයකු වන ඊ. සරවනබවන් මේ වන විට යාපනයට ගොස් සිටින අතර පොලිසිය හා හමුදාව විසින් පුවත්පත් කාර්යාලයට අමතර ආරක්ෂාව සපයා ඇති බව ඔහු දේශසීමා නොමැති මාධ්‍යවේදියෝ සංවිධානයට ඊයේ පැවසීය. 

යාපනය මහ නගර සභා මැතිවරණයට තරග කරන ඊ.පී.ඩී.පී., දෙමළ ජාතික සන්ධානය හා දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ මෙම තර්ජනය හෙළා දකිමින් නිවේදන නිකුත් කර තිබේ. මෙම පුවත්පත පළ කිරීමේ නිදහස තහවුරු කිරීම  දැනටමත් මතභේදාත්මක වී තිබෙන මෙම මැතිවරණයේ විශ්වසනීයත්වය පිළිබඳ වැදගත් පරීක්ෂාවක් බව දේශසීමා නොමැති මාධ්‍යවේදියෝ සංවිධානය කියයි.


2006 මැයි මස උදයන් පුවත්පතේ කාර්යාලයට එල්ල වූ ප්‍රහාරයේදී පුද්ගලයන් දෙදෙනෙකු මිය ගිය අතර එම සිද්ධිය පිළිබඳ නිසි පරීක්ෂණයක් සිදු වූයේද නැත. පසුගිය මාර්තු 24දා පුවත්පත් කාර්යාලයට බෝම්බ ප්‍රහාරයක් එල්ල විය. ගිය සතියේ උදයන් පුවත්පතේ පිටපත් සිය ගණනක් නාඳුනන මැර පිරසක් විසින් පුළුස්සා විනාශ කරනු ලැබුවේ අලෙවි ඒජන්තවරයකුද මරා දැමීමට තැත් කරමිනි.

මේ අතර, උදයන් පුවත්පතේ සහෝදර පුවත්පතක් වන කොළඹ සිට පළ වන සුඩර් ඔලි පුවත්පතේ කර්තෘ එන්. විද්‍යාධරන්ට තර්ජනාත්මක ඇමතුම් දුන් ඩයලොග් දුරකථන දෙකක් යාපනයේ ලියාපදිංචි කරන ලද ඒවා බව මේ වන විට හඳුනාගෙන තිබේ.








Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා