පශ්චාත් සරත් නන්ද සිල්වා යුගය?

(2009 ජුලි 08) අද දිවයින පුවත්පතේ පළ වන මෙහි පහත උපුටා දක්වනු ලබන ප්‍රවෘත්තිය වැදගත් යයි අප සිතන්නේ මෙය අප දන්නා පරිදි ලංකාවේ අගවිනිසුරුවරයකුට විරුද්ධව බලය අනිසි ලෙස භාවිතා කළේ යයි චෝදනාවක් එල්ල වන පළමු අවස්ථාව වන බැවිනි. 

ඉන්  අනතුරුව උපුටා දක්වනු ලබන අද දිනමිණ පුවත්පතේ ප්‍රවෘත්තිය ද ඉතා වැදගත් වේ. එහි සිරස්තලයෙන් කියවෙන පරිදි වෝටර්ස් එජ් ඉඩම් ගනුදෙනුව පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දුන් නඩු තීන්දුවෙන් අගතියක් වී ඇද්දැයි ශ්‍රේෂ්ඨාධිකරණයම පරීක්ෂා කරයි.


දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය පරදවා ලබා ගත් ජයග්‍රහණය තිරසාර සාමයක් බව‍ට පත් කර ගැනීමට නම් ලංකාවේ රජය වහා අධිකරණය ප්‍රතිසංස්කරණය කළ යුතු බව ජාත්‍යන්තර අර්බුද කණ්ඩායම (International Crisis Group) නම් ලොව පිළිගත් බුද්ධිමය සංවිධානය පසුගියදා පැවසීය. 


හිටපු අග්‍ර විනිශ්චයකාරවරයා යටතේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු මගින් සිංහල ජාතිකවාදී බලවේග අතර අන්තවාදීන් ශක්තිමත් වූ බවද, අර්බුද සමනය කරනවා වෙනුවට අධිකරණය නීතියේ පාලනය බිඳ දමා වාර්ගික ආතති උත්සන්න කළ බවද, සමාජය මිලිටරීකරණය වීම වැළැක්වීමට හෝ සුළුතර ප්‍රජාවන්ගේ අයිතිවාසිකම් රැක දීමට හෝ කටයුතු නොකළ බවද, දේශපාලනීකරණය වූ විනිසුරු මඬුලු විසින් හිතවතුන් ආරක්ෂක වළල්ලක් ලෙස යොදා ගනු ලැබූ බවද, සතුරන්ට දඬුවම් කර, දෙමළ සුළුතරය සමග සම්මුතීනට එළඹීම බාධා කළ බවද, වැදගත් දේශපාලන ප්‍රශ්නවලට නිරන්තරයෙන් අත පොවමින් වාර්ගික ප්‍රශ්නයේදී සමථයකට එළඹීමේ ඉඩකඩ සීමා කළ බවද එම සංවිධානයේ වාර්තාව පවසයි.



බලය අනිසි ලෙස පාවිච්චි කළේ යෑයි හිටපු
අගවිනිසුරුට එරෙහි පෙත්සමක්‌

සරත් ධර්මසේන

හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතාට එරෙහිව බලය අනිසි ලෙස පාවිච්චි කළ බවට චෝදනා කරමින් මහනුවර බහිරවකන්ද පුෂ්පදාන වීදියේ පදිංචි බී. කේ. අභය පත්මසිරි බාලසූරිය නමැති අයකු ඊයේ (07 වැනිදා) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්‌ ගොනු කළේය.

පෙත්සම්කරු සිය පෙත්සමෙන් කියා සිටින්නේ සරත් එන්. සිල්වා මහතා අභියාචනාධිකරණයේ සභාපති තනතුරේ කටයුතු කරමින් සිටියදී මහනුවර දිසා අධිකරණ විනිසුරුවරයකු ලවා තමාට එරෙහිව බොරු පැමිණිල්ලක්‌ කර දින 294 ක්‌ තමාව රක්‍ෂිත බන්ධනාගාරගත වීමට සැලැස්‌වූ බවයි. ඔහු එලෙස සිය තනතුරේ බලය අයුතු ලෙස පාවිච්චි කිරීමෙන් තමාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළ බව ද පෙත්සම්කරු කියා සිටී.

තමාට සිදු වූ එකී අසාධාරණයට එරෙහිව ඉකුත් වර්ෂයේදී ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමකින් පැමිණිල්ලක්‌ කළ නමුත් එම පෙත්සම කැඳවූ දිනයේදී හිටපු අගවිනිසුරුවරයා තමාට කරුණු දැක්‌වීමටවත් අවස්‌ථාවක්‌ ලබා දෙන්නේ නැතිව බැණවැදී පන්නා ගත් බවත්, එනිසා යළි පෙත්සමක්‌ ගොනු කිරීමට ඔහු තනතුරෙන් විශ්‍රාම යන තෙක්‌ බලා සිටි බවත් පෙත්සමේ සඳහන් කර ඇත.

මෙම පෙත්සම පිළිබඳව වැඩිදුරටත් කරුණු ඉදිරිපත් කිරීම සඳහා ජූලි 21, අගෝස්‌තු 04, අගෝස්‌තු 28 යන දින 03 න් එකක විවෘත අධිකරණය හමුවේ පෙත්සම කැඳවන ලෙස ද පෙත්සම්කරු ඉල්ලා ඇත. (2009 ජුලි 08, දිවයින)


‘වෝටර්ස් ඒජ්’ තීන්දුවෙන් අගතියක් වී ඇත්නම්
දින දෙකක් ඇතුළත කරුණු ඉදිරිපත් කරන්න

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග

(නෙල්කා මැදගෙදර)
බත්තරමුල්ල “වෝටර්ස් ඒජ්” අවන්හල සහ ගෝල්ෆ් පිටිය සම්බන්ධයෙන් ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සහ පසුව ලබා දුන් නියෝගවලින් තමන්ට යම් හානියක් වී ඇත්නම් ඒ පිළිබඳව සහ වෙනත් කරුණු දින දෙකකදී ඉදිරිපත් කරන ලෙස ඒෂියා පැසිපික් ගොල්ෆ් කෝස් ලිමිටඩ් සහ අදාළ පාර්ශ්වයන්ට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (07) නියෝග කෙළේය.
අදාළ තීන්දුව සහ නියෝග මගින් තමන්ට හානි වී ඇති බැවින් එම තීන්දුව නැවත සලකා බලන ලෙස ඉල්ලා ගොනු කළ මෝසමක් සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය මේ නියෝගය කෙළේය.
ඒෂියා පැසිපික් ගොල්ෆ් කෝස් ලිමිටඩ්, ඇක්සෙස් ඉන්ටනැෂනල් සමාගම සහ වෝටර්ස් ඒ ජ් හි නිවාස අයිතිකරුවන් විසින් මේ මෝසම් ඉදිරිපත් කරනු ලබා තිබිණි.
අගවිනිසුරු අශෝක ද සිල්වා, ශිරාණී තිලකවර්ධන, කේ. ශී‍්‍රපවන් යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියෙහි මේ මෝසම් සලකා බැලිණි.
”වෝටර්ස් ඒජ්” අවන්හල සහ සෙසු ගොඩනැගිලි රජයේ තක්සේරුකරු විසින් තක්සේරු කරනු ලබා ඇති අතර එකී මුදල ප‍්‍රමාණවත් නොවන බව ඒෂියා පැසිපික් ගොල්ෆ් කෝස් සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ඩී. එස්. විජේසිංහ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට කියා සිටියේය.
එසේම තීන්දුව මගින් යළි පවරා ගන්නා ලද වෝටර්ස් ඒජ් හී නිවාස එම හිමිකරුවන් වෙත යළි ලබා දෙන ලෙස නීතිඥ සංජීව ජයවර්ධන මහතා ඉල්ලීමක් කෙළේය.
කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල තීන්දුව සහ නියෝග නැවත සලකා බැලීම පිළිබඳව තීරණය කිරීම ජූලි මස 20 දිනට කල් තබන ලදී.
බත්තරමුල්ල ප‍්‍රදේශයෙහි පිහිටි රජයේ ඉඩමක් ඒෂියා පැසිපික් ගොල්ෆ් කෝස් සමාගමට ලබා දෙමින් සිදුකළ ගනුදෙනුව නීති විරෝධී බවට මීට පෙර තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම ගනුදෙනුව බල රහිත කෙළේය.
අදාළ ඉඩම නැවත නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගෙන නිශ්චල දේපල, රජයේ තක්සේරුකරු ලවා තක්සේරු කර එම මුදල අදාළ සමාගම වෙත ගෙවන ලෙස නාගරික සංවර්ධන අධිකාරියට එම තීන්දුව මගින් නියෝග කරන ලදී. (2009 ජුලි 08, දිනමිණ)


Reblog this post [with Zemanta]

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා