දේශපාලන විසඳුම් යල් පැන ගිහින් - චම්පික රණවක නිහැඬියාව බිඳියි


(2009 ජුලි 14) ජාතික ප්‍රශ්නයට දේශපාලන විසඳුම් යල් පැන ගොස් ඇති බවද, අද අවශ්‍ය වන්නේ යුද්ධයෙන් හානියට පත් වූ ප‍්‍රදේශ ප‍්‍රතිසංස්කරණය කිරීම සහ අවතැන් වූ ජනතාවට අවශ්‍ය පහසුකම් සැලසීම බවද, 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමට එරෙහිව ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කරුණු දැක්වීමෙන් අනතුරුව සති කීපයක් නිහඬව සිටි ජාතික හෙළ උරුමය නියෝජනය කරන පරිසර හා ස්වාභාවික සම්පත් ඇමති චම්පික රණවක පවසයි.


අද දිනමිණ පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකදී ඔහු මෙසේ පවසයි. "අවුරුදු තිහක් තිබුණ යුද්ධය අපිට අවුරුදු තුනක් ඇතුළතදී ඉවර කරන්න පුළුවන් වුණා. යුද්ධය තියෙද්දී තමයි දේශපාලන විසඳුම් සහ සර්වපාක්ෂික කමිටු යෝජනා ගැන කතා කෙළේ. මේ වෙද්දී එදා තිබුණ තත්ත්වය හාත්පසින්ම වෙනස්. ඒ හින්දා දේශපාලන විසඳුම් වගේ දේවල් යල් පැනලා ගිය දේවල් විදිහටයි සලකන්න පුළුවන්. අද අවශ්‍ය වෙලා තියෙන්නේ යුද්ධයෙන් හානියට පත් වූ ප‍්‍රදේශ ප‍්‍රතිසංස්කරණය කිරීම සහ අවතැන් වූ ජනතාවට අවශ්‍ය පහසුකම් සැලසීමයි. අද රටේ මූලික අවශ්‍යතාව වෙලා තියෙන්නේ මේ දේ. 

"එහෙම නැතිව දේශපාලන විසඳුම් සාමාන්‍ය දෙමළ ජනතාව ඉල්ලා සිටින්නේ නැහැ. දේශපාලන විසඳුම් ගැන රුදාවක් ඇතිවෙලා තියෙන්නේ සුළුතර පිරිසකට පමණයි. අපි දකින විදිහට මේ අවස්ථාවේ මූලික අවශ්‍යතාව දෙමළ ජනතාවට අවශ්‍ය සුබසාධන කටයුතු සැලැසීමයි."

සර්ව පාක්ෂික නියෝජිත කමිටුව විසින් නුදුරේදී ඉදිරිපත් කරන බව කියන ජාතීන්ගේ ප්‍රශ්නය විසඳීම සඳහා වූ යෝජනා පිළිබඳ අදහස් දක්වමින් රණවක මෙසේ පවසයි. "ජාතික හෙළ උරුමය සර්ව පාක්ෂික කමිටුවෙන් ඉවත් වෙලා සිටින්නේ. ඒ නිසා සර්ව පාක්ෂික කමිටුවේ යෝජනා ඉදිරිපත් වූ පසු අපිට පුළුවන් අපේ පක්ෂයේ අදහස් දැක්වීමට. මගේ අදහස නම් මේ වෙලාවේ අනවශ්‍ය මාතෘකා ගැන කතා කරමින් කාලය කා දැමීම නෙමෙයි සිංහල, දෙමළ, මුස්ලිම් සමගිය තහවුරු කිරීමට කටයුතු කිරීමයි."

Reblog this post [with Zemanta]

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා