2009-07-22

ඉඩං ඉඩං උතුරේ ඇත ඕනැතරම්

(අජිත් පැරකුම් ජයසිංහ)
කඩුවෙල ශ්‍රීමත් සංගීත කණ්ඩායමේ ජනප්‍රිය ගීයක ‍කියැවෙන පරිදි කෝටි ගණන් තිබෙන නිසා කොළඹ රටේ ඉඩම් ගණන් ය. එහෙත් උතුරේ බොහෝ ඉඩම් ඇත. ඒ වෙනුවෙන් බූලි ගණන් ලේ ද හළා ඇත. ඉඩම් යනු ලංකාවේ සිදු වන අපරාධ බොහොමයකට හේතුවයි. ඉඩම් ආරාවුල් නොමැති නම් මෙරට මිනිස් සම්බන්ධකම් බොහෝ යහපත් වන්නට ඉඩ ඇත. ලංකාවේ ලොකුම ප්‍රශ්නය ද ඇත්ත වශයෙන් ම ඉඩම් පිළිබඳ කාරණයකි. 



මව්බිම, පීතෲභූමිය, නිජබිම, දේශය, රට ආදී වචනවලින් රාමුගත කරන සංකල්ප පදනම් වන මූලික සාධකයක් වන්නේ ඉඩම් ය. සිංහලයන් තම ඉඩම් බලහත්කාරයෙන් ජනපදකරණය කරන්නේය යන සැකය දෙමළ ජනයා අතර පැතිර තිබේ. උතුරු පළාතේ ඉඩම් පිළිබඳ බලපාන තේසවලමෙයි නම් සම්ප්‍රදායික නීතියක් තිබේ. මෙම නීතිය වැරදියට අර්ථකථනය කරමින් සිංහලයන්ට උතුරේ ඉඩම් මිළ දි ගත නොහැකි යයි මතයක් සිංහල ජාතිවාදීහු සමාජයේ පතුරවති. එහෙත් ඇත්ත නම් වැඩි මිළක් ගෙවන්නේ නම් සිංහල, දෙමළ, මුස්ලිම් භේදයකින් තොරව රටේ ඔනෑම තැනකින් ඕනෑම කෙනෙකුට ඉඩම් මිළ දී ගත හැකි වීමයි. සල්ලි තිබෙන සුද්දන්ට පෞරාණික ගාලු කොටුවේ ඉඩම් වැඩි හරියක් මිළ දී ගත හැකි වූයේ එසේ ය.


13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරනවාට සිංහල ජාතිකවාදීන් විරුද්ධ වන්නේ එසේ වුවහොත් ඉඩම් පිළිබඳ තීරණය කිරීමේ බලතල පළාත් සභාවලට ලැබෙන හෙයිනි. ලංකාවේ ඉඩම්වලින් වැඩි ප්‍රතිශතයක් හිමි රජයට බැවින් ඉඩම් බලතල දෙමළ මූලිකත්වයෙන් යුත් පළාත් සභාවකට හිමි වීම සිංහල ජාතිකවාදීන්ගේ සැකයට තුඩු දෙයි. උඩරට ජනයා බරපතළ ඉඩම් හිඟයකින් බැට කති. වතුකරයේ දෙමළ ජනයාට ඉඩම් හිමිකමක් නැති තරම් ය. රටේ දකුණුදිගට වන්නට ඇති භූමිය අධික ජන ඝනත්වයකින් යුක්ත අතර, වැඩි වන ජනගහණයට ඉඩම් සැපයිය හැකිකම ඇත්තේ උතුරු -නැඟෙනහිර අඩු ජන ඝනත්වයක් සහිත දිස්ත්‍රික්කවලිනි.

උතුරේ සහන ගම්මානවල වැසියන්ට පර්චස් 20 බැගින් ලබා දෙන බවට ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමැති ජීවන් කුමාරතුංග විසින් කර ඇති ප්‍රකාශය පිළිබඳ 2009 ජුලි 14දා දිනමිණ පුවත්පතට අදහස් දක්වන කෘෂිකර්ම සංවර්ධන අමාත්‍ය හේමකුමාර නානායක්කාර පවසන්නේ "උතුරේ ඉඩකඩම්වලට හිමිකම් කියූ හිමිකම් තිබුණු සියලු දෙනා ම තම තමන්ගේ බිම් ප‍්‍රදේශ වල පදිංචි කරවන" බවයි.

එහෙත් අවතැන් වූවන්ගෙන් 80%කට ඉඩම් හිමිකම් ඔප්පු කිරීම සඳහා ලියකියවිලි නොමැති බව ඉඩම් ඇමතිවරයා පවසා තිබිණි. කොටි සංවිධානයේ පාලනය යටතේ තිබුණු ප්‍රදේශවල ඉඩම් ප්‍රශ්න විසඳීම සඳහා අවශ්‍ය පියවර දශක දෙකක් පමණ කාලයක් තිස්සේ රජය විසින් ගෙන නොමැති අතර, නිරන්තර අවතැන් වීම් වැනි කාරණා නිසා ඉඩම් අයිතිය පිළිබඳ ඇත්තේ අවුල් සහගත තත්වයකි. එහෙත් මෙම ප්‍රදේශයේ ජනයාගෙන් 80%ක් ගොවීන් බව රජය පිළිගනියි. ඔවුන්ට ගොවිතැන හා පදිංචිය සඳහා පර්චස් 20ක් සෑහෙන්නේ නැත.

දිනමිණ පුවත් පත සමග සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙමින් ‍හේමකුමාර නානායක්කාර ඇමතිවරයා මෙසේ ද පවසයි. "අක්කර ගණනින් ගොඩින් හා මඩින් ඉඩම් තිබුණු අයට ඒ විදිහට ම තමන්ගේ ඉඩ කඩම් ලබා දෙනවා. ඒත් දකුණේ වගේ ම උතුරේත් වැසියන් සියලු දෙනා ම ඉඩම් හිමියෝ නොවෙයි. සමහර අය මහා පරිමාණ ඉඩම් හිමියන්ගේ ඉඩම් කුලියට වගා කරගෙන හිටියා. කුලී නිවාසවල හිටියා. මේ විදිහට ඉඩම් නොමැති ගෙවල් නොමැති අයට තමන්ගේ ම පදිංචියට ඉඩමක් හැටියටයි පර්චස් 20 ක් ලබා දෙන්නේ. එහෙම නැතුව අක්කර ගණන් තිබුණු අයගේ ඉඩම් පවරාගෙන ඒ අයට පර්චස් 20 ක් දෙන්නේ නෑ. ඒ විතරක් නෙවෙයි යුද්ධය හේතුවෙන් කඩා බිඳ වැටුණු නිවාස ඉදි කර දීමටත් ආණ්ඩුව පියවර ගනිමින් සිටිනවා."

හිමිකාරයන්ට තමන්ගේ ම ඉඩ කඩම් තිබූ ප‍්‍රමාණයෙන්ම පවරා දී ඉඩම් හා නිවාස නැති අයට පර්චස් 20 බැගින් ලබාදී ආණ්ඩුවට අයිති හිස් ඉඩම් තිබුණොත් ඒවා ආයෝජනය සඳහා විවෘත කරන බව ඇමතිවරයා පවසයි. නැ‍ඟෙනහිර පළාතේ අවතැන් වූවන් යළි පදිංචි කිරීමේදී මුතූර් සාම්පූර් ප‍්‍රදේශයේ වැසියන් යළි පදිංචි නොකර "අක්කර ගණන් විශාල ඉඩම් ප‍්‍රමාණයක් ඉන්දීය සමාගමකට ලබා දී" ඇති බව දිනමිණ පුවත්පත පෙන්වා දෙයි. මෙවැනි උදාහරණ මඟින් උතුරේ ජනයාගේ ඉඩම් ඔවුන්ගෙන් උදුරාගෙන බහුජාතික සමාගම්වලට ලබාදීමේ සැලසුමක් කි‍්‍රයාත්මක වන බවට ඇතැමුන් චෝදනා නඟන බවද දිනමිණ පුවත්පත ඇමතිවරයාට පෙන්වා දී ඇත.

අපි මෙම ප්‍රශ්නයෙහි ඇති සංවේදීභාවය පිළිබඳ සංවේදී අය මිස එවැනි ‍"චෝදනා නගන ඇතැමුන්" නොවෙමු. දශක දෙකක් පමණ කාලයක් රජයේ පාලනයෙන් ගිලිහී තිබුණු වන්නියේ යුද්ධයෙන් අවතැන් වූ ජනයා යළි පදිංචි කිරීමේදී රජයට මුහුණ දීමට සිදු වන සංකීර්ණ ම ප්‍රශ්න අතරින් එකක් වන්නේ ඉඩම් අයිතිය පිළිබඳ ප්‍රශ්නයයි. ජාතීන් අතර ප්‍රශ්න උග්‍ර වීම‍ට හේතු වූ ප්‍රධාන කාරණයක් වන්නේ ඉඩම් අයිතිය පිළිබද ගැටළු බව සිහියේ තබාගෙන අතිශය සංවේදී ලෙස කටයුතු කිරීමේ අවශ්‍යතාවක් මෙම පසුබිමෙහි ඇත. සිංහල ආධිපත්‍යයෙන් යුත් රජය තමන් සම්ප්‍රදායිකව ජීවත් වූ ප්‍රදේශවල බලහත්කාරයෙන් සිංහල ජනපද පිහිටුවන්නේය යනුවෙන් අදහසක් දෙමළ ජනයා අතර පැතිර තිබෙන බව බලධාරීන් අවබෝධ කරගත යුතුය. චිරස්ථායී සාමයක් රටෙහි ඇති වීමට නම් මෙවැනි ප්‍රශ්න කෙරෙහි සංවේදි වීම අත්‍යවශ්‍යය.

වැලිඔය ව්‍යාපාරය යටතේ මුලතිව් දිස්ති‍්‍රක්කයේ නැදුන්කර්නි ප‍්‍රදේශයේ ගොවි පවුල් 2500 ක් පදිංචි කරවීමට පියවර ගෙන ඇති බවද, එසේ පදිංචි කරවන එක් පවුලකට මඩින් අක්කරයක් ද, පොල් සිටුවීමට අක්කර භාගයක් ද ගෙවත්ත සඳහා අක්කරයක් ද ලබා දෙන බව මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් ධර්මසිරි ද අල්විස් මහතා පැවසූ බව ජුලි 14දා දිනමිණ පුවත්පත වාර්තා කළේය.

නැදුන්කර්නි සම්ප්‍රදායිකව දෙමළ වැසියන් වාසය කළ කුඩා නගරයක් කේන්ද්‍ර කර ගත් ප්‍රදේශයකි. එහි වැසියෝ අද වන විට අවතැන් කඳවුරුවල වෙසෙති. මෙම ජනපදකරණයේදී ප්‍රදේශවාසී අවතැන් වු ජනයාගේ ඉරණම හෝ නව පදිංචි කිරීම්වලදී ජනවාර්ගිකත්වය සැලකිල්ලට ගන්නා ආකාරය පිළිබඳ දිනමිණ වාර්තාවේ කිසිවක් සඳහන් නොවේ.

ඩී. එස්. සේනානායක අගමැති සමයේ ඇරඹුණු ජනපදකරණයේ මුල් යුගයේදී ගල්ඔය වැනි ව්‍යාපාරවල ජනතාව පදිංචි කිරීමේදී එම බිම්වල පැරණි පදිංචිකරුවන් එම නව ජනපදවලට අන්තර්ග්‍රහණය කෙරුණ අතර ජන අනුපාතය සැලකිල්ලට ගැනීම ද දක්නට ලැබේ. එහෙත් පසුකාලීනව තත්වය වෙනස් වන්නට පටන් ගත්තේය. 1950 දශකයේ අගභාගයේදී පිහිටුවන ලද පදවිය ජනපදයේ නැඟෙනහිර ප්‍රදේශවල පදිංචි කිරීමට නියමිතව තිබුණේ දෙමළ වැසියන් ය. එවකට එම ප්‍රදේශයේ සිටි තරුණ භික්ෂුවක් වූ අපවත් වී වදාළ පිහිඹියගොල්ලෑවේ ධම්මාලෝක හිමි සිංහල ජාතිවාදී දේශපාලනඥයන්ගේ අනුග්‍රහය ලබමින් ‍‍දෙමළ ජනයා පදිංචි කිරීමට එරෙහිව පදවි ජනපදයේ කලින් පදිංචිව සිටි සිංහල ජනයා උසිගන්වා දෙමළ ජනයා පදිංචි කිරීම වැළැක්වීය. එපමණකින් නොනැවතී දෙමළ ජනයාට වෙන් කර තිබූ ඉඩම්වල සිංහල වැසියන් බලෙන් පදිංචි කරවන ලද අතර සමස්ත පදවි ජනපදයම සිංහල භූමියක් බවට පත් කරන ලදී.

1980 දශකයේදී පදවි ජනපදයට නැඟෙනහිරින් වෙරළාසන්නයේ පිහිටි තෙන්නමරවාඩි වැනි සම්ප්‍රදායික දෙමළ ගම්මානවල පදිංචිව සිටි දෙමළ ජනයාද පළවා හරින ලදී. මෙම ක්‍රියාවලිය ඔස්සේ උතුරු, නැඟෙනහිර දෙපළාත් මැදින් කැබිතිගොල්ලෑවේ සිට කෝකිලායි දක්වා සිංහල ජනපද තාප්පයක් ඉදි විය. ඩී. එස්. සේනානායක සමයේ ජනපදකරණ සැලසුම් තුළ ජාතිවාදී හා බෙදුම්වාදී ප්‍රවණතා මැඬලීමේ අදහසක් පැවති බව සිතිය හැකිමුත් පසුකාලීන ජනපදකරණ වැඩසටහන් සිංහල ජාතිවාදය ව්‍යාප්ත කිරීම සඳහා උපයෝගී කර ගන්නා ලද බව පෙනේ.

විශේෂයෙන්ම, වැලිඔය ජනපදය බිහි කිරීමේදී එය පසුපස සිංහල ජාතිවාදී උවමනාවන් ක්‍රියාත්මක වූ බව එම ජනපදය පිහිටුවීමේ ලා ප්‍රමුඛ කාර්යභාරයක් කළ රාජ්‍ය නිලධාරියකු වූ හර්මන් මාලිංග බංඩාර විසින් පසු කලෙක ලියන ලද 'ස්වෛරී රාජ්‍යයක් උදෙසා' නම් පොතේ කරුණුවලින් හෙළි වේ.
වැලිඔය ජනපදය පිහිටුවීමට පෙර මෙම ප්‍රදේශයේ දීර්ඝකාලීන බදු ඉඩම්වල පිහිටුවන ලද ඩොලර් ෆාම්, කෙන්ට් ෆාම්, සිලෝන් තියටර්ස් ෆාම් ආදී වූ ගොවිපළ තිබිණි. ගාන්ධියම් ව්‍යාපාරය නම් රාජ්‍ය නොවන සංවිධානයක් විසින් ජාතිවාදී කෝලාහල නිසා අවතැන්ව දකුණේ ප්‍රදේශවලින් පැමිණි ජනයා එම ගොවිපළවල පදිංචි කර තිබුණ අතර, උමා මහේෂ්වරන්ගේ ප්ලොට් සංවිධානය වැනි කණ්ඩායම්වල ක්‍රියාකාරික්වයද එහි පැතිරී තිබිණි. 1984දී, කුප්‍රකට ඩොලර් ෆාම්, කෙන්ට් ෆාම් සිංහල ජනපද වැසියන් ඝාතනය කිරීමද ඊට පිළිතුරු ලෙස ඔදියමලේ වැනි දෙමළ ගම්මානවල සිදු වූ අප්‍රකට ඝාතනද සමගින් මෙම කලාපය දශක දෙකකට අධික කාලයක් තිස්සේ ලේ කලාපයක් බවට පත් වීම ඇරඹිණි. පදිංචියට, ගොවිතැනට ඉඩමක් සොයා පැමිණි සිංහල දුප්පතුන් රැසක් මෙම කලාපයේදී මරු වැළඳ ගත්හ.

වැලිඔය ජනපදය පසු කලෙක මහවැලි ව්‍යාපාරයට අනුයුක්ත කර ගන්නා ලද අතර මහවැලි එල් කලාපයේ වැලිඔය නිම්නයේ මුල් සැලැස්මට අනුව අනුරාධපුරය, වවුනියාව, සහ මුලතිව් යන දිස්ති‍්‍රක්ක තුනටම අයත් ප‍්‍රදේශවල හෙක්ටයාර 39000ක ප‍්‍රදේශයක් කලාප හයකට බෙදා තිබේ. එම කලාප 6 ට සම්පත්නුවර, ජනකපුර, කෝකිලායි, නැදුන්කර්නි, නයාරු වැනි ජනාවාස අන්තර්ගත වේ. එයින් මෙතෙක් කලක් සංවර්ධනය කර ඇත්තේ කලාප දෙකක් පමණක් බව මහවැලි අධිකාරිය පවසයි. අනාරක්ෂිත තත්ත්වය යටතේ අනෙකුත් කලාප සංවර්ධනය කිරීමට නොහැකි වී තිබේ. සංවර්ධනය කළ එම කලාප දෙකේ දැනට ගම්මාන වශයෙන් නිකවැව, ඇතාවැටුණු වැව, ඇහැටුගස්වැව, කිරිඉබ්බන්වැව, ජනකපුර, කල්‍යාණිපුර ඇතැම් ප්‍රදේශ, නව මොණර වැව, නව ගජබාපුර යන ප‍්‍රදේශ ජනාවාස තත්ත්වයේ පවතී. ගජබාපුර ඇතැම් ප්‍රදේශ, මොනර වැව, හැළඹවැව, කම්බිලිවැව, කෝන්වැව, වෙහෙරවැව, කල්‍යාණිපුර යන ප‍්‍රදේශවල ජනතාව පදිංචි කරන ලදමුත් ඔවුහු එම ආරක්ෂක ප්‍රශ්න හේතුවෙන් ඉවත් ව ගොස් ඇත.

වසර 22 ක පමණ කාලයක් තුළ වැලිඔය ප‍්‍රදේශයේ ගොවි පවුල් 5000 ක් පදිංචිව සිටි අතර ඉන් පවුල් 3364 ක් නීත්‍යනුකූලව ලබා දුන් ඉඩම් වලත් අනෙකුත් පිරිස අනවසර ඉඩම් වලත් පදිංචිව ආරක්ෂක ප්‍රශ්න හේතුවෙන් ප්‍රදේශය අතහැර යමින් හා ආපසු එමින් ගොවිතැන් කටයුතුවල නිරතව සිටි බව මහවැලි අධිකාරිය පවසයි.
වවුනියාවේ අවතැන් කඳවුරුවල සිටින ජනයා යළි පදිංචි කිරිම ආරම්භ කිරිමටත් පෙර, ඉඩම් නොමැති වැසියන්ට පර්චස් 20ක් පමණක් ලබා දෙන බව ද කියමින් වෙනත් ආකාරයක ජනපදයක් නැදුන්කර්නියේ පිහිටුවන්නට යාම දෙමළ ජනයා තුළ සැකය තව තවත් මෝදු කිරීමට හේතු වන අනුවණ ක්‍රියාවකි. ඇමති කරුණා අම්මාන් පළාත් සභාවලට පොලිස් හා ඉඩම් බලතල අවශ්‍ය නැති බව කියන්නේ ඒවා මේ මොහොතේ සිංහල ජනයාගේ සැකයට හේතු වන බව කියමිනි. දෙමළ නායකයන් වෙතින් පළ වන එවැනි නම්‍යශීලිත්වයකට හෝ ගරු කර දෙමළ ජනයා අතර සැකයේ බීජ පැළ කරන පියවර හදිසියේ නොගෙන සිටීම රජයේ වගකීමකි.