කළු ජුලියයි ඒලියනුයි නිර්මාලුයි



ජුලිය කළු වුණත් අපි හරි සුදු ය රාජිනී
දෙමළ කඩ කඩපු උන් ආවේ පිටසක්වළිනී
ඒ වෙලාවෙ අප කළ දේ දෙයියො දනී
කරුමෙ තමයි උඹ විතරක් එය නොදනී
ඒලියන්වරුන් රට ගිනි තබන විට
නිර්මාලුන් විතරයි එක් වුණෙ උන්ට
සිංහල අපි කළේ මොනවද දැනගන්න
රැකවරණය දුන්නා අපි දෙමළුන්ට
හැම සිංහල ගෙදරක හැම කුස්සියෙම
දෙමළෙකු හංගගෙන හිටියා අපි සැවොම
ඒලියනුයි නිර්මාලුයි විතරක් ම
කඩ කැඩුවා ගිනි තැබුවා ඇත්තෙන් ම
ඇල්⁣ලේ ගුණවංශ වැනි විරු හාමුදුරුවරු
අදත් අප අතර හිඳ මේ ලෙස කියති
රට කන උන්ව වනසා රට දැය රැකුම
තමයි අපේ අද දවසේ ‘මහන’කම!
මිනිස්කම අපේ සිංහල නිමක් නැත
පහත් වුණත් මට නම් එය කමක් නැත
ටිකක් කළු වුණත් ඒකත් කමක් නැත
දෙමළ ලියක් හට හදවත ඉඩක් ඇත
කඩ කැඩුවේ ගිනි තැබුවේ ඒලියන්
සීගිරි ගලේ කවි ලිව්වේ ඒලියන්
සිංහල මිනිස්කම හෙළි වේ ජූලියෙන්
පැදුරේ මෙදා නිදියන්නේ නිර්මලුන්
– අජිත් පැරකුම් ජයසිංහ
පසුගිය දිනෙක අගනාගරික සිංහල ප්‍ර‍ජාවක ඉංගිරිසියෙන් කරන සාකච්ඡාවකට සහභාගි වුණා. ඒ හුඟදෙනෙකු 1983 කළු ජූලිය ගැන දන්නෙ ඒගොල්ලන්ගෙ අප්පච්චිලා ගෙදර කුස්සියෙ දෙමළ මිනිසුන් හංගගෙන හිටපු හැටි සහ කාරෙකේ ඩිකියෙ හංගගෙන එයාපෝට් එකට ගිහින් ඇරලපු වගේ කතා. සාමාන්‍යයෙන් ඉතින් ටෙලි නාට්‍යවල එහෙම තියෙන්නෙත් ඒවනේ. එතකොට කවුරු ද අර පණ පිටින් මිනිසුන් ගිනි තිබ්බෙ. මං හිතන්නෙ පිටසක්වළ ජීවීන්.
මේ දවස්වල කළු ජූලියට අවුරුදු 35ක් පිරෙන නිසා හැම තැන ම සැමරුම් නේ. මං මොකවත් ලිව්වෙ නැතිනම් මං කොන් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඔන්න මං ලිව්වා සිංහලයන්ගේ කවිය.
මේකත් කියන්න ඕනැ. මේ මං නිර්මාල් ගැන ලියන දෙවෙනි කවිය. මෙන්න මෙතන තියෙනවා පළමු කවිය. ඒක ලිව්වෙ 2012දී. ඒ අදහස් දැන් එහෙමම ද කියන එක මට ෂුවර් නැහැ.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා