ජෝති කියන්නේ අව්‍යාජ, ජෝතිමත් ජීවිතයක්


හෙට්ටිආරච්චිගේ රෙජිනෝල්ඩ් ජෝතිපාල හෙවත් එච්. ආර්. ජෝතිපාල හෙවත් අප කවුරුත් දන්නා ජෝති මිය ගොස් වසර තිහකටත් වැඩියි. අද නාඹර තුරුණු වියේ සිටින අයත් ඉපදී ඇත්තේ ජෝති මිය ගිය පසුවයි. මේ ලියන මම ඉපදුණේ, ජීවත් වුණේ ජෝතිපාලලා අතින් මෙහෙයවුණු හෝ නො මෙහෙයෙවුණ නිසා ම සුන්දර වූ සංගීත ලෝකයක. ඒ කාලේ කියන්නේ මහගම සේකරලා බස් එකේ යන ගමන් අහුලා ගත් හිස් සිගරැට් පැකට්ටුවක කවි ලියපු, ප්‍රේමකීර්තිලා කාර් බොනට් එක උඩ තියාගෙන අමරණීය ගී ලියපු, ජෝතිලා හිතවතුන්ට කමිසය පවා ගලවලා දීපු, නාට්‍යකාරයෝ එකට වැටිලා ඉඳගෙන නාට්‍ය කරපු, කවුරුත් සතුටින් ඉන්න උත්සාහ කළ, වඩා නිදහස් ලිංගික ඇවතුම් පැවතුම් තිබුණු, ඒවා ගැන මහ ලොකු පශ්චාත්තාපයකුත් නො තිබුණු, අව්‍යාජ ජීවිත අගය කෙරුණු යුගයක්.
මම ළමයෙක් කාලෙ, ඒ කියන්නේ හැත්තෑව දශකයේදී මට මතකයි, අපි මුලින් ස්වාභාවිකව ම ඇලුම් කළේ ජෝතිට; ජෝතිගේ වේග රිද්මයට; හින්දි චිත්‍රපට සංගීත නැඹුරුවට; අපේ ප්‍රියතම සංගීත භාණ්ඩ වන ඩොල්කියට, ඩ්‍රම් සෙට් එකට ඒ ගීතවල තිබුණු හිතවත්කමට. අමරදේවගේ රිද්මය එතකොට අපට කම්මැලියි. තබ්ලා අරහන්. පස්සේ කාලෙක රුසියානු සාහිත්‍යය, සිළුමිණේ ශාස්ත්‍රීය ලිපි එහෙම කියවලා, ගුවන් විදුලියේ ශාස්ත්‍රීය වැඩසටහන් අහලා අපි ‘ප්‍රබුද්ධ’ වෙනකොට අපි ආයාසයෙන් වගේ ජෝතිව පිළිකෙව් කරමින් අමරදේවට ඇලුම් කරන්න පටන් ගත්තා. ජෝති යූ.ඇන්.පී.කාරයා. මැරුණෙත් ප්‍රේමදාසගේ වේදිකාවක සිංදු කියද්දී අසනීප වෙලා. ඒකත් අපි අප්‍රිය කළ දෙයක්.
අපේ රැඩිකල් දේශපාලන අදහස්වලට හරියට ම පෑහුණේ නන්දක්කායි. නන්දක්කාගේ ‘පවන’ තමයි, අපට ලෝකේ තිබුණු සංගීත අග්‍ර ඵලය වගේ පෙනුණේ. ඒ දවස්වල සුජාතා අත්තනායක නන්දා මාලිනීගේ ගායනා විවේචනය කළා. ඒ කාලේ සුජාතා හින්දි තනුවලට සිංදු කියමින් හෝ ගාලා කැසට් ගහනවා. නන්දක්කා විවෘත සංගීත ප්‍රසංග වේදිකාවේ සිංදු කියන එක ප්‍රතික්ෂේප කළා. අපට එයා තමයි පොර. සුජාතාව පෙනුණේ ඉරිසියාකාර ගැහැනියක් ලෙසයි.
අසූ නමයේ කැරැල්ලෙන් පසුව අපි ආපහු සංගීතය රස විඳින්න පටන් ගන්නකොට ජෝති මැරිලා. එළියකන්ද වධකාගාරයේ හමුදාකාරයෙක් උදේ ඉඳන් හැන්දෑ වෙනකල් පුන්සිරි සොයිසාගේ කැසට් එකක් වාදනය කළා. ‘එකම මගක පියවර මැන යන්නයි’ වගේ ගීත ඇහෙනකොට අදත් මට ඒ ගීතය ඉක්මවා ගිය ගුප්ත හැඟීමක් දැනෙනවා. හෙට්ටියාවල හමුදා කඳවුරේ හිටපු බෙල්ල කපන්න ප්‍රසිද්ධ සාජන් මහ හයියෙන් රූකාන්තගේ ‘බඹර පහස ලබන මලක්දෝ’ සිංදුව දාලා නටනවා මට මතකයි. ඒ තමයි, මට රූකාන්තගේ ගීයක් අහනවා මතක ඉඳපු මුල් වතාව.
අසූ නමයෙන් පසු ජවිපෙ සිර ගෙයිනුත් නිදහස් වෙලා බොහිමියානු ජීවිතයක් ගත කරමින් මතට, දුමට හිතවත් වෙමින් ඉන්න කාලෙ ජෝති අපේ ජීවිත පුරා පැතිරුණේ ඉබේමයි. සංගීතය ගැන අපේ දැනුම පුළුල් වුණේ නන්දා මාලිනීගේ සංගීතමය සීමාවන් තේරුම් ගැනීමත් සමගයි. කේමදාස මාස්ටර්ගේ මැදිහත්වීම් අපේ පරම්පරාවේ සංගීත රසාස්වාදය වැඩි දියුණු කරන්න ගොඩක් හේතු වුණා. මතුපිටින් හෙළා දකිමින් සැබැවින් රස විඳිමින් සිටි ජෝති සීරියස් ගායකයකු ලෙස නැවත ඉපදුණා. හැබැයි මම නම් හිතන්නේ නැහැ ජෝතිටවත් ජෝති සීරියස් පොරක් වුණා  ය කියලා.
ජෝති කියන්නේ ගායන පෞරුෂයක් වගේ ම සරළ, නිදහස්, විනෝදකාමී ජීවන විලාසයක්. ඔහු‍ගේ ගායනා පෞරුෂයේ තිබෙන ජොලිය ඔහුගේ ජීවිතයෙන් ම ආපු දෙයක්. ජෝති අද වෙනකල් හිටියා නම් මොනවා වෙයි ද දන්නේ නැහැ. මේ ඉතින් ඒ කාලෙ හොඳට ජොලි කරපු ගායකයොත් සුදු ඇඳගෙන රූපවාහිනී සාකච්ඡාවලට ඇවිත් භාවනා කරන හැටියි, උදේට වතුර වීදුරුවක් බොන එකයි, අරක මේක අපට දේසනා කරන කාලයක්නේ. ඒත් අදත් කොල්ලෝ සංගීත සංදර්ශන බලන්න ගිහින් බීලා, ගංජා ගහලා එළි වෙනකල් නටනවා. අර භාවනා කරන කට්ටියත් SUV වාහනවලින් ඇවිත් ඒ අයට ගැලපෙන්න සිංදු කියලා සල්ලි සාක්කුවේ දාගෙන ගෙදර යනවා. බෑන්ඩ් එකේ එවුන් හරි සුපර් ස්ටාර්ලා හරි තවමත් ජෝතිගේ සිංදු කියනවා.
ජෝතිපාලගේ වගේ ජීවන ශෛලීන් ගත කරන අය අදත් ඇති. ඒත්, මට හිතෙන්නේ අද කාලෙ තමන්ගේ ප්‍රාසාංගික ජීවිතයයි, ගායනා අන්තර්ගතයේ තිබෙන විනෝදකාමිත්වයයි, පෞද්ගලික ජීවිතයයි පරස්පර ඒවා බවට පත් කර නො ගත් අව්‍යාජ ජීවිත අඩුයි. ජෝති‍ට වඩා දක්ෂ ගායකයෝ බිහි වෙන්න ඇති. ඒත්, ජෝති වැනි පෞරුෂයක් නම් බිහි වෙලා නැහැ. ජෝති එහෙම පෞරුෂයක් වුණේ ගායන කුසලතාව විතරක් ම නිසා නොවෙයි. ගායනයට සම්බන්ධව පිටින් තිබෙන ජීවන භාවිතාවන් නිසායි.
ජෝතිගේ කාලේ සංගීතය මේ තරම් දැවැන්ත ප්‍රාසාංගික ව්‍යාපාරයක් වුණේ නැහැ. ඒත්, ජෝති අද සිටින ව්‍යාපාර මෙහෙයුම්කරුවන්ට වඩා ඒ පැත්තෙනුත් දැවැන්ත චරිතයක්. එහෙම වුණේ තනිකර ම ගායනා පෞරුෂය නිසා ය කියා මම හිතන්නේ නැහැ.  ජෝතිගේ ගායනා පෞරුෂය ඔප් නැංවුණේ එදා හිටපු දක්ෂ සංගීතඥයන් හා ශිල‍්පීන් නිසා. ඒ විතරක් නොවෙයි, කරුණාරත්න අබේසේකරගේ සිට ප්‍රේමකීර්ති ද අල්විස් දක්වා විශිෂ්ට පද රචකයන් පිරිසකුත් ජෝතිගේ ඇසුරේ  හිටියා. මේ ගීත රචකයන්, සංගීතඥයන් තමයි, ජෝතිගේ හඬින් නිමැවුණ ගායනාවල නිර්මාණ සංකල්පයන්ගේ පියවරු. විශේෂයෙන් ම මේ ගීත රචකයන් නිර්මාණය කළේ සංකල්ප. අද ඉන්න ගේය පද රචකයන් ය කියා තමන් හඳුන්වා ගන්නා ගෙවලයන් වගේ සෝබන වචන ටිකක් එක එක විදියට කලවම් කරලා දෙන එක හෝ එහෙන් මෙහෙන් සංගීත කෑලි ටිකක් අනලා දෙන එක නොවෙයි. එදා නිර්මාණයක් කියන්නේ සාමූහික මිනිස් භාවිතාවක්. ඒ අද වගේ ස්ටුඩියෝ එකට ඇවිත් තමන්ගේ කෑල්ල වාදනය කරලා යන ක්‍රමයක් තිබුණ යුගයක් නොවෙයි. හැම දෙයක් තුළ ම සාමූහිකත්වයක්, සාමූහික මිනිස් ගුණයක් ගැබ් වෙලා තිබුණා.
මේ මිනිසුන්ගේ ජීවිත අධ්‍යයනය කර බැලුවා ම අදයි එදායි ප්‍රාසාංගික කලාවන්ගේ වෙනස හා එහි ගුණයේ වෙනස තේරුම් ගන්න පුළුවන්. ජෝති, රොක්සාමි, කරුණාරත්න අබේසේකර, ප්‍රේමකීර්ති වගේ මිනිසුන්ගේ ජීවිත යටින් ඉරක් අඳින මහා පොදු සාධකය තමයි, මේ මිනිසුන්ගේ අව්‍යාජත්වය. ඔවුන් සල්ලි හම්බ කළා. කෑවා, බිව්වා. ඒත්, සල්ලි පොදි බැන්දේ නැහැ. දැවැන්ත ව්‍යාපාරිකයන් වෙන්න උත්සාහ කළේ නැහැ. හැමදාමත් කලාකරුවන් ලෙස ජීවත් වෙන්නයි ඔවුන්‍ට උවමනාව තිබුණේ. ඒ ඒ කාලයේ නැගලා යන රැළිවල නැගලා ෂෝට් කට්වලින් ජීවිතෙන් එතෙර වෙන්න උත්සාහ කළේත් නැහැ. ඒ නිසා ඔවුන් ම තමයි රැල්ල වුණේ.
අද කලාවේ නැති ප්‍රධාන ම දේ තමයි මේ අව්‍යාජත්වය. අද කලා ශිල්පියෝ කරන්නේ එකක්. කියන්නේ තව එකක්. කරන්න තියෙන තරම් අලුගුත්තේරු වැඩ කරලා බොරුවට කියනවා, වතුරු වීදුරුවක් බීලා භාවනා කරලා දවස පටන් ගන්නවා ය, පෝයට අනිවාර්යයෙන් ම සිල් ගන්නවා ය ආදිය. අද ඉන්න එවුන් සංගීතය වුණත් කරන්නේ පස්සෙ කාලෙක ආණ්ඩුවේ කොන්ත්‍රාත් කරන්න, විදෙස් සමාගම්වල ෆ්‍රැන්චයිස් එහෙම දමාගන්න අවශ්‍ය මුල්‍ය ප්‍රාග්ධනය හෝ ආණ්ඩුවේ තනතුරක් ගන්න සමාජ ප්‍රාග්ධනය හෝ උපයා ගන්න. ඉගෙන ගත්තත් ඉගෙන ගන්නේ සංගීතය වැනි විෂයන් නොවෙයි, ව්‍යාපාර කළමනාකාරය වැනි දේ. රැල්ල යන්නේ මොන පැත්තට ද උනුත් ඒ පැත්තේ. මේ දවස්වලනම් උන් ‍ඔක්කොම පට්ට සිංහල ජාතිවාදියෝ. ‍උන් ඒ කාලේ සාම එන්ජීඕත් එක්ක සාමෙට සිංදු කියලා, පස්සේ හමුදාවත් එක්ක යුද්දෙටත් සිංදු කියපු උන්. මහින්ද උස්සලා මොනවා හරි කරන එක කලාවට රාජ්‍ය අනුග්‍රහය ලබා ගැනීමේ උපාය වෙලා තිබෙන කාලෙ මුන් ගජරාමෙට කරන කලාව ඒක.
හැත්තෑව දශකයේ කට්ට කාගෙන කලාව කරපු එවුන් දැන් කට්ට, කෛරාටික මුදලාලිලා.මේක සල්ලි ප්‍රතිපත්තිවලට වඩා බොහොම වැදගත් කාලයක්. නෙළුම් පොකුණ විවෘත කරපු වෙලාවේ ඒ ගැන අතිශය බැරෑරුම් දේශපාලනික විවේචනයක් කළ ධර්මසිරි බංඩාරනායකට පවා නෙළුම් ‍පොකුණෙන් කතා කරලා අපි සල්ලි දෙන්නම් ධවල භීෂණ එතැන පෙන්නන්න ය කිව්වා ම ප්‍රතික්ෂේප කරන්න බැරි කාලයක්. අපට ධර්මසිරි බංඩාරනායක කියන කලාකරුවා නඩත්තු කරන්න බැරි තත්වයක් තුළ ඔහුට බැනලා වැඩක් නැහැ.
අද වෙනකල් ජීවත් වුණා නම්, ජෝතිට වුණත් මේ අගතියෙන් ගැලවී ඉන්න පුළුවන් පෞරුෂයක් තිබුණා ය කියා මම හිතන්නේ නැහැ. මොකද, ඔහු මහා ලොකු දැක්මක් නොතිබුණ අහිංසක මිනිහෙක් නිසා. ඒ අතින් ජෝති වාසනාවන්තයි. කලින් මැරුණ නිසා ජෝති තාමත් පිපිච්ච මලක් වගේ සුන්දර මතකයන් ලෙස අපේ හදවත් තුළ ජීවත් වෙනවා. කලින් මැරෙන්න වාසනාව නො තිබිච්ච හුඟ දෙනෙක් පණ පිටින් කුණු වෙනවා.
මට නම් ජෝති කියන්නේ අව්‍යාජ, ජෝතිමත් ජීවිතයක්. බේබදුකම වගේ ඇතැම් බොහිමියානු ලක්ෂණ අයින්කළාම අප සොයා යන පරමාදර්ශී ජීවිතයේ එක් පැතිකඩක් ජෝති ජීවත් කළා.
(ජනරළ පුවත්පතේ ආරාධනයෙන් 2013 ජුලි මාසයේ ලියන ලද ලිපියකි. පහත දැක්වෙන්නේ )
ජෝති ගැයූ ගී අතරින් මේ ගීයේ තිබෙන සුන්දරත්වය පරදවන්නට සමත් වෙනත් ගීයක් තිබෙනවා ද කියා මට හිතෙනවා. හැබැයි සුන්දරත්වය තිබෙන්නේ මෙම මුල් ගීයේයි. පසුකාලීනව කරන ලද පටිගත කිරීම් විසින් එහි සුන්දරත්වය විනාශ කර තිබෙනවා. ඒකට මූලික හේතුව ඩ්‍රම්ස් හඬ උස්සා තිබෙන එක විය හැකියි.
දෑසෙ විමන් දොරින්
සිහින රුවන් තිරෙන්
නික්මී ගොලු බසින්
පරෙවි රැජින ලෙසින්
ඔබ පියඹා ගොසින්
පැහැය සුවඳ ඇතී
සිහින් සිනිඳු පෙතී
රේණු සැලෙන මුදු
පිපුණු මලක් බඳු
ඔබේ සළුවෙ වැදී
සිහිල් සුලං ඇදී
හෙමින් සැරේ එබී
මගේ සවන් සිඹී
මහද කුටිය පුරා
ඔබ සැරි සර සරා
බෙදයි මියුරු නුරා
විඳිමි පෙරුම් පුරා
ගීත පබැදුම: කරුණාරත්න අබේසේකර
ගැයුම: එච්.ආර්.ජෝතිපාල
සංගීතය: පී.එල්.ඒ. සෝමපාල
චිත්‍රපටය: ආදරේ හිතෙනව දැක්කම
අධ්‍යක්ෂණය: නීල් රූපසිංහ
තිරගත වූ වසර :1972
මේ ගීය ගැන විස්තරයක් අස්වැන්න බ්ලොගයේත් තිබෙනවා

Comments

Popular posts from this blog

දීප්ති කුමාර ගුනරත්න යනු මොකක්ද?

මාතර දෙයියන්ගෙ හාල්වලින් පිසූ බත් දන්සැල

එළියකන්දේ වැසිකිලි සැප