ගෝඨා මුස්ලිම් විරෝධීන්ගේ ආතල් කැඩීම



බේරුවල, 2018

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කිරීමේ වෑයමක් තිබේ. ඔහුට ද සිය පවුලේ අයියලා, මල්ලිලා කපාගෙන එතැනට යාමේ උන්නතිකාමයක් ඇති වී තිබෙන බවක් පෙනේ. අවාසනාවන්ත ම තත්වය නම් ලංකාවේ විරුද්ධ පාක්ෂිකයන් ය කියන පිරිසට රාජපක්ෂ පවුලෙන් පිටත ලෝකයක් නැතිකමයි.
කෙසේ වෙතත්, තවමත් මහින්ද, බැසිල්, ගෝඨාභය යන තිදෙනා ම ජනාධිපතිවරණයක් සඳහා තරග කිරීමට සුදුසුකම් ඇති අය නොවේ. මහින්ද හරහට 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඇති අතර, අනෙක් දෙදෙනා ඇමරිකාවේ ද්විත්ව පුරවැසියෝ ය. ඔවුන්ට ලංකාවේ ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා ඇමරිකාවේ මනාපය අවශ්‍ය ය. මේ සංදර්ශනවල එක් අරමුණක් වන්නේ ඇමරිකාවේ මනාපය ලබා ගැනීමයි.
ගෝඨාභය රාජපක්ෂ බේරුවල මුස්ලිම් ප්‍රජාව සමග පැවැත්වූ සංදර්ශනය මෙහිදී විශේෂයෙන් ම ඇමරිකාව දෙස බලාගෙන කරන ලද්දකැයි සිතිය හැකි ය. තම අපකීර්තිමත් අතීතය කෙසේ වෙතත්, රටේ සියලු ප්‍රජාවන්ට නායකත්වය දෙන්නට තමන්ට හැකියාව තිබෙන බව පෙන්නීමට ඔහුට අවශ්‍ය ය.
ඇමරිකා එක්සත් ජනපදයට ද ගෝඨාභය රාජපක්ෂ තෝරාගැනීම එතරම් අමාරු දෙයක් නොවේ. එතැනදී ඊනියා ඩයස්පෝරා දෙමළ ජාතිවාදීන්ට කළ හැකි බම්බුවක් නැත.
කොයි හැටි වෙතත්, මේ දෙදෙනා ම තවමත් 2015 ජනවාරි වන විට මහින්ද රාජපක්ෂ සිටි බලවත් තත්වයේ නැත. තවමත්, මේ දෙදෙනාට ම වඩා මහින්ද දේශපාලනික වශයෙන් බලවත් ය.
ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙන ඒම සඳහා දියත් වන ව්‍යාපෘතිය පසුපස ඇත්තේ ‘මේ රට හදන්නට නම් ඒකාධිපතියකු අවශ්‍ය ය’ යන මුග්ධ, ජනප්‍රිය, යල්පැනගිය අදහස ය. එයට හැමදාමත් විවිධ සමාජ කණ්ඩායම් අතර ඉඩක් තිබේ. මෙවර වියත් මග සමග එක් වී සිටින බාගෙට උම්මත්තක, තමන් දේශපාලන වශයෙන් ආධුනික බව නොදත්, ඉච්ඡා භංගත්වයෙන් පෙළෙන, අතේ සල්ලි ටිකක් තියෙන නිසා තමන් මාර පොරවල් යයි සිතා සිටින, ඉහළ මධ්‍යම පන්තික ව්‍යාපාරික හා වෘත්තික පැළැන්තියක් මේ වියත් දෙකේ දේශපාලනයට කර ගසා තිබේ.
විරුද්ධ පක්ෂයේ මෙම බල අරගල අතරතුර තවමත් මේ රටේ ශක්තිමත් ම පක්ෂය වන්නේ එක්සත් ජාතික පක්ෂයයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වන විට කෑලි කැඩී සීසීකඩ විසිරී ගොසිනි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වුණත්, ඒ කැඳහැලිය සමග ආණ්ඩු කරනවාට වඩා එජාප සමග හවුල් ආණ්ඩුවක් පිහිටුවීම පහසු ය.
එසේම, වියත් මග විසින් ගෝඨාභයට පෙන්වමින් සිටින ආර්ථික මාවත මේ වන විටත් එජාප විසින් එළිදක්වා හමාර ය. එජාපට තිබෙන ගැටලුව වන්නේ ආකර්ශනීය නායකත්වයක් නැතිකම යි. එය විසඳා ගැනීමට බැරි ගැටලුවක් නොවේ.
බල ව්‍යාපෘතිය ඉදිරියට යන විට ජාතිවාදී ව්‍යාපාරය ද අවුල් වෙමින් යයි. සුළු ජාතීන්ට එරෙහිව යමින් මේ රටේ රාජ්‍ය නායකත්වයට පත් විය නොහැකි බව ගෝඨාභය මෙන් ම බැසිල් රාජපක්ෂ ද අවබෝධ කරගෙන තිබේ. අප හැමවිට ම පෙන්වා දුන් කාරණය වන්නේ ලංකාවේ සාමය ස්ථාවර කර ගැනීම සඳහා බලය බෙදා ගැනීම වැදගත් වන බවයි. ඒ සඳහා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය ය. ඒකාධිපති ධනවාදයක් විසින් එක් දෙයක් නම් කළ හැකි ය. මේ මොහොතේ ආර්ථික ස්ථාවරභාවයට හානිකර වන ජාතිවාදී හා වාමාංශික අන්තවාදයන්ට නම් එයට වගකිව හැකි ය.
මුස්ලිම්, දෙමළ විරෝධයෙන් පණ ගැට ගසා ගන්නා අයගේ ආතල් නම් දැනටමත් කැඩී හමාර ය. ගෝඨා බේරුවල යන්නේ එහි ගලගොඩඅත්තේ ඥානසාර හිමි විසින් ඇති කරන ලද කලබලයට සිව් වසරක් පිරෙන්නට සති දෙකකට පමණ පෙර ය. එසේ ම, සන්ධ්‍යා එක්නැලිගොඩට තර්ජනය කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ එම භික්ෂුවට දඬුවම් පැමිණවීමට ද සති දෙකකට පමණ පෙර ය.කියවන්න: අලුත්ගම වාර්ගික කලබලවලට සිව් වසරක් පිරෙන විට ඥානසාර හිමි හිරේ ද?
ඒකාධිපතිවාදය වෙනුවෙන් ඍජුව හා වක්‍රව සේවය කරන බොහෝ දෙනෙකුගේ ආතල් ගෝඨා 2020 යථාර්ථයක් වුණොත් කුඩු වනු ඇත.
අපට නම් ඇත්තට ම ප්‍රශ්නයක් නැත. ගෝඨාභය ආවත්, බැසිල් ආවත්, රනිල් ආවත්, වෙන කවුරු ආවත් ලංකාවට යන්නට තිබෙන පාර මේ වන විට එජාප විසින් හෙළි පෙහෙළි කරමින් තිබේ. වෙන පාරවල් නැතුවා නොවේ. එහෙත්, ඒවා යොමු වන්නේ වලට ය. එගොඩ වෙන්නට උත්සාහ කරන්නට හෝ තිබෙන්නේ අතුරේ ගමනක් වැනි අවදානම් වූ මේ එක ම පාර පමණි.
එය නව ලිබරල් හෝ ලිබරල් මගුලක් නොවේ. ලංකාවට පණ බේරාගන්නට තිබෙන ලයිෆ් සේවිංවාදය එය යි. මොකා ආවත්, අප එයට විවේචනාත්මක සහාය දෙන්නෙමු. කුමන අඩුපාඩු, අසාර්ථකත්වයන් තිබුණත්, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් දිගට ම පෙනී සිටින්නෙමු. ඔව්, 2020න් පසුව ඒකාධිපති පාලනයක් බලයට පත් වුවහොත් මුලින් ම ආතල් කැඩෙන්නට ඉඩ ඇති ජාතිවාදී හා වාමාංශික අන්තවාදීන්ගේ ප්‍රජාතාන්ත්‍රික හිමිකම් වෙනුවෙනුත් අපි පෙනී සිටින්නෙමු.
අපට කීමට ඇත්තේ එක දෙයකි. ඒකාධිපතිවාදය කිසි සේත් අත්හදා නොබැලිය යුතු භයානක පුපුරන ද්‍රව්‍යයකි.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා