පළාත් පාලන ස්වයං නිර්ණ හිමිකම හා සයින්දමරුදු කතාව


ස්වයං නිර්ණ හිමිකම ගැන අලුතෙන් කතාබහක් තියෙනවා නේ. අභ්‍යන්තර ස්වයං නිර්ණ හිමිකමක් ගැනත් මේ දවස්වල කතාබහ කෙරෙනවා. මේකත් ටිකක් වෙන්න ඒකට සම්බන්ධයි. මේ මුස්ලිම් ජනතාව සම්බන්ධ කරුණක්. හැබැයි, මුස්ලිම් ජනයාගේ ස්වයං නිර්ණ හිමිකම නෙමෙයි.
මේ සයින්දමරුදු ප්‍රදේශයේ ජනතාවගේ පළාත් පාලන ස්වයං නිර්ණ හිමිකම පිළිබඳ කතාවක්. දැන් අහන්න එපා පළාත් පාලන ස්වයං නිර්ණ හිමිකම කියල එකක් තියෙනවා ද කියලා. අභ්‍යන්තර ස්වයං නිර්ණ හිමිකමක් තියෙනවා නම් පළාත් පාලන ස්වයං නිර්ණ හිමිකමකුත් පවතින්නට පුළුවන්.
සයින්දමරුදු කියන්නේ අම්පාර දිස්ත්‍රික්කයේ කල්මුනේ නගර සභාවට අයිති ප්‍රදේශයක්. එම ප්‍රදේශය මුස්ලිම් බහුතර ජනගහනයක් ජීවත් වන වේගයෙන් සංවර්ධනය වන ජනාකීර්ණ නගරයක්.
පසුගිය පළාත් පාලන ප්‍රදේශ සීමා නිර්ණය කිරීමේ ක්‍රියාවලියේදී සයින්දමරදු ජනතාව තමන්ට වෙනම පළාත් පාලන ආයතනයක් ඉල්ලා සිටියා. හැබැයි ලැබුණේ නැහැ.
එයට විරෝධය පළ කරන්නට ප්‍රදේශයේ මුස්ලිම් ආගමික නායකයන්ගේ මග පෙන්වීමෙන් යුතුව ප්‍රදේශයේ ජනතාව පියවර ගත්තා. ඒ පළාත් පාලන මැතිවරණයේදීයි. ඒක කළේ මෙහෙමයි.
ඔවුන්ගේ සම්ප්‍ර‍දායික පක්ෂය වන මුස්ලිම් කොංග්‍ර‍සයෙන් තරග නො කර, සයින්දමරුදු ප්‍රදේශයේ ආගමික අනුග්‍ර‍හයෙන් ස්වාධීන කණ්ඩායමක් ඉදිරිපත් වුණා. ඔවුන්ගේ ලකුණ වුණේ දොඩම් ගෙඩිය. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී මේ දොඩම් ගෙඩියට ආසන 41න් ආසන 9ක් හිමි වුණා. සයින්දමරුදු ප්‍රදේශයේ ඡන්ද අති බහුතරයක් දිනා ගනිමින් ආසන සියල්ල දිනා ගත්තේ ඔවුන්.
එක්සත් ජාතික පක්ෂය යටතේ අලියා ලකුණින් තරග කළ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍ර‍සය මෙම කල්මුණේ නගර සභා මැතිවරණය ජය ගත්තා. එහෙත් ඔවුන්ට හිමි වුණේ ආසන 12ක් පමණයි.
දෙවන තැනට පත් වුණේ අප ඉහත කී සයින්දමරුදු ස්වාධීන කණ්ඩායමයි.
දෙමළ ජාතික සන්ධානය ආසන 7ක් දිනා ගනිමින් තුන්වන ස්ථානයට ද, රිෂාඩ් බදුර්දීන් නායකත්වය දෙන සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍ර‍සය ආසන 5ක් දිනා ගනිමින් හතරවන ස්ථානයට ද, දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ ආසන 3ක් දිනා ගනිමින් පස්වන ස්ථානයට ද පත් වුණා.
වාර්තා වන ආකාරයට මෙම කල්මුනේ නගර සභාවට සභාපති පත් කරන රැස්වීමට පැමිණ තිබෙන්නේ තෝරා පත් කර ගන්නා ලද සභිකයන්ගෙන් 24ක් පමණයි. එහිදී එක්සත් ජාතික පක්ෂය හා දෙමළ ජාතික සන්ධානය අන්‍යෝන්‍ය අවබෝධයකින් යුක්තව ඡන්දය දී සභාපති තනතුර සඳහා එක්සත් ජාතික පක්ෂයේ කෙනෙකුත්, උප සභාපති තනතුර සඳහා දෙමළ ජාතික සන්ධානයේ අයෙකුත් පත් කරගෙන තිබෙනවා.
අර වෙන ම පළාත් පාලන සභාවක් ඉල්ලා මුස්ලිම් ආගමික නායකයන්ගේ අනුග්‍ර‍හයෙන් ස්වාධීන කණ්ඩායමක් විදියට තරග කළ දොඩම් ගෙඩි නවය මෙම රැස්වීමට නො පැමිණි බවයි වාර්තා වන්නේ.
පල්ලියේ ඉල්ලීම නිසා මේ කණ්ඩායමට ඡන්දය දුන් ජනතාව දැන් අහනවා ලු ඔවුන් සභාපතිකම හෝ නියෝජ්‍ය සභාපතිකම ගන්නට උත්සාහ නො කර අතහැර දැම්මේ ඇයි කියා. දැන් ඔවුන් කියන්නේ ඊළඟ රැස්වීමෙදි සභාපතිට හා උප සභාපතිට විරුද්ධව විශ්වාස භංගයක් ගේනවා කියලාලු.

Comments

Popular posts from this blog

දීප්ති කුමාර ගුනරත්න යනු මොකක්ද?

මාතර දෙයියන්ගෙ හාල්වලින් පිසූ බත් දන්සැල

එළියකන්දේ වැසිකිලි සැප