මංමුලා වූ අවතාරයෙන් පාර අසා උඩහමුල්ල දුම්රියපොළ පාරෙන් ගංගොඩවිලට යාම
ඇයත් නොදන්නිය ඇය යන මානය
උන් හිටි තැන් මතකය අඩමානය
පාර කියන්නේ කෙලෙසද මා හට
ඇයටද පාරක් ඇති නැති ගානය
උන් හිටි තැන් මතකය අඩමානය
පාර කියන්නේ කෙලෙසද මා හට
ඇයටද පාරක් ඇති නැති ගානය
අවතාරය සඟරාවට විදර්ශන කන්නන්ගර ලියා තිබෙන ‘ජනතා විමුක්තීන් වෙනුවෙන් පෙරටුගාමී වාමාංශයට පශ්චාත්-මාක්ස්වාදය මුණගැසීම’ නම් ලිපිය කියවන විට මට සිහිපත් වුණේ ගුණදාස කපුගේ ගායනා කළ මංමුලා වී පාර සොයාගෙන හසරක් සොයමින් යන ගමනේ නම් ගීයේ පද යි.
විදර්ශනලාගේ කණ්ඩායමේ උපායමාර්ගය ඔවුන් හඳුන්වන්නේ ‘නව ප්‍රජාතාන්ත්‍රික හෙජමොනික අරගලයෙන් සමාජවාදයට’ යන්නයි. මෙය කාටවත් තේරෙන දෙයක් නොවන නිසා ලංකාවේ වාමාංශිකයන් එය මාර සිරා වැඩකැයි ඇතැම් විට සිතනවා ඇත.
මෑත වකවානුවේ මෙම ‘නව ප්‍රජාතාන්ත්‍රික හෙජමොනික අරගලයෙන් සමාජවාදයට’ උපායමාර්ගය ක්‍රියාත්මක කළ උච්චතම අවස්ථාව ලෙස ඔවුන් විසින් ම හඳුනා ගනු ලබන සයිටම් විරෝධී අරගලය ඔස්සේ එය තේරුම් ගැනීමට උත්සාහ කළ හැකි ය.
ජනතා විමුක්ති පෙරමුණේ මෑතකාලීන උපායමාර්ගික දැක්ම ‘ජාතික විමුක්තියෙන් සමාජවාදයට’ ලෙස ඔවුන් විසින් හුවා දක්වනු මෙම ලිපියෙහි දැකිය හැකි ය. 20වන සියවසේ අගභාගයේදී මාක්ස්වාදී සමාජවාදී විප්ලවය පිළිබඳ ෆැන්ටසික සටන් පාඨයේ ආකර්ශනය ගිලිහී යාමත් සමග ලොව පුරා වාමාංශික ව්‍යාපාර බොහොමයක් ජාතික විමුක්තියෙහි එල්ලුණ හ. ඒ අතරින් ජාතික විමුක්තියෙහි අන්තයට ම ගිය පිරිසක් වන්නේ දෙමළ ජනයා යි. අවසානයේදී දෙමළ වම හා රැඩිකල් තරුණ පිරිස් මාක්ස්වාදය සම්පූර්ණයෙන් ම අතහැර දමා ජාතිකවාදය ඔස්සේ ෆැසිස්ට්වාදය ද වැළඳගත් හ.කෙසේ වෙතත්, කොටි සංවිධානයේ මිලිටරි පරාජයෙන් පසු ලෝකයේ තව දුරටත් ජාතික විමුක්ති අරගල ද ආකර්ශනීය නැත.
ජනප්‍රියවාදයන් සමග එල්ලීමේ ලෙහෙසි පහසු දේශපාලනය සොයා යන ලාංකික වමට මේ අතර මුණගැසුණු ‘හෙජමොනික අරගලය’ වූයේ සයිටම් විරෝධයයි. විදර්ශන කන්නන්ගර උජාරුවෙන් කතා කරන ‘නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍ය සේවය වෙළඳපොළකරණය වීමට එරෙහි ජනප්‍රිය ව්‍යාපාරය’ යනු දකුණේ සිංහල වමට ජාතික විමුක්තිය තුළ ඉඩක් නැති වීමේ සංදර්භය තුළ දියේ ගිලෙමින් සිටියදී ලැබුණු පිදුරු ගසක් විය. එය නිකම් ම පිදුරු ගසක් නොව, බඩේ අජීර්ණයට තණකොළ කෑ බල්ලකුගේ වසුරු පිඬක තිබුණු දිරච්ච තණ දණ්ඩකි. ඔවුන් මහත් උජාරුවෙන් කතා කරන ජයග්‍රහණය ඇත්තට ම ඔවුන්ගේ ශක්තියක් නොව, ලංකාවේ අන්ත ම ප්‍රතිගාමී වෘත්තීය සමිතිය වන, රාජපක්ෂවාදීන් විසින් නායකත්වය දෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ රෝගීන් ඇපයට තබා කේවල් කිරීමේ ශක්තියයි.
මෙවැනි ‘නව ප්‍රජාතාන්ත්‍රික හෙජමොනික අරගල’ තව කීයක් කරන්නට ඔවුන්ට ලැබේ ද යන්න අපි නො දනිමු.
මේ අතර ‘නව ප්‍රජාතාන්ත්‍රික හෙජමොනික අරගලයෙන් සමාජවාදයට’ උපායමාර්ගයේ දෙවෙනි පැතිමානය ලෙස දක්වනු ලබන්නේ ‘ආර්ථික සමානාත්මතාවය සඳහා වන අරගලයට පිටතින් පැන නගින නිදහස්කාමී හා විමුක්ති අරගලයන්ගේ’ දෘෂ්ටිවාදීමය හෙජමොනිය අත්පත් කර ගැනීමයි. ඒ සඳහා ගර්හිත මාක්ස්වාදී ආගම පශ්චාත් මාක්ස්වාදී දහමින් ප්‍රතිස්ථාපනය කිරීම මෙම උපායමාර්ගයයි. නිදහස්කාමී අරගලයන්ගේ මූලික ම හරය නිදහස් චින්තනයයි. ඒ මත දෘෂ්ටිවාදීමය හෙජමොනි නිර්මානය කරන්නට යාම ම දරුණු ප්‍රතිවිරෝධයකි.
‘නව ප්‍රජාතාන්ත්‍රික හෙජමොනික අරගලයෙන් සමාජවාදයට’ උපායමාර්ගයේ මෙම පැතිකඩ දෙක ම අනාගතවාදී සමාජයන් විසින් අළුයම ලූ කෙළ පිඬු සේ පිළිකෙව් කරන බව අපි සහතික කරන්නෙමු. එය දැනටමත් සිදු වී හමාර ය. ඒ සංඥා තේරුම් ගන්නට වම අපොහොසත් විය. මවාගත් ජනප්‍රියවාදයක හිරවෙමින් රජයේ දුර්වලකම්වලින් ලැබූ ප්‍රීනනය විදර්ශනවාදයේ අසරණ ස්වයං වින්දනය පමණි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමයේ ත්‍රස්ත ක්‍රියා නොවී නම් ඊනියා සයිටම් අරගලය සමාජයෙන් ප්‍රතික්ෂේප වී බොහෝ කල් ය. එයට හේතුව අන් කිසිවක් නො වේ. මේ සියල්ල විදර්ශනගේ ම වචනවලින් කියැවෙන නිදහස්කාමී හා විමුක්ති අරගලයන්ගේ අරමුණුවලට පටහැණි වීම එයට මූලික හේතුවයි. අධ්‍යාපනයේ නිදහස වෙනුවෙන් පෙනී සිටින අය සෙසු සියලු නිදහස්කාමිත්වයන් වෙනුවෙන් ද සමාන බරකින් පෙනී සිටිති. ඔවුන්ට වාමාංශිකයන්ට මෙන් බලය බෙදීම, ලිංගික නිදහස, ස්ත්‍රී පුරුෂ සමාජභාවය වැනි කාරණා සම්බන්ධයෙන් සෙවල ප්‍රතිපත්ති නැත. වාමාංශිකයන් අධ්‍යාපනයේ නිදහසට විරුද්ධ වනවා සේ ම, කැම්පස් නංගිලා මල්ලිලාගේ ඇඳුම් ඇඳීමේ නිදහසටත් විරුද්ධ වෙති. වධයට පාත්‍ර නොවී සිටීමේ මූලික මානව හිමිකමටවත් ඔවුහු ගරු නො කරති. නිදහස යන වචනය හෝ වාමාංශිකයන්ට අයිති එකක් නොවන්නේ ඒ නිසා ය.
අනාගත පරම්පරාවන් සොයමින් සිටින නිදහස නව ලිබරල්, ලිබරල් ආදී වචනවලින් ලේබල්ගත කරන්නට විදර්ශන උත්සාහ කරනමුත්, මෙම අරගලයන්ගේ මූලික ම අරමුණ වන්නේ මේ ලේබල්වලින් ද නිදහස් වීමයි. කොටින් ම මෙවැනි ලේබල් නිර්මානය කරන දෘෂ්ටිමය රාමු ද ප්‍රතික්ෂේප වී හමාර ය.
අනාගත සමාජයන් දෘෂ්ටිවාදයන් මුළුමනින් ම ප්‍රතික්ෂේප කරන බවක් මින් නොකියවේ. අප කියන්නේ දෘෂ්ටිවාදය කියා නිශ්චිත එකක් නැති බවයි. ලොව දෘෂ්ටිවාද පවතින අතර ඒ කිසිවක් පරිසමාප්ත නැතුවා සේ ම ඒවා පොදු පිළිගැනීමකට ලක් වන්නේ ද නැත. ඒ කිසිවකට හෙජමොනි නිර්මානය වන්නේ නැත. අනාගත දේශපාලනය යනු හෙජමොනි, ප්‍රති හෙජමොනි ද්වෛතයෙන් ද මිදුණු එකකි. පූර්ණ නිදහස් චින්තනයක් මත පදනම් වූවකි.
අනාගතය නිර්මානය කිරීමේ හැකියාවන් පවතින ඉදිරිගාමී සමාජ කණ්ඩායම් කිසිවක් සයිටම් අරගලයට පක්ෂ වූයේ නැත. එය පසුපස සිටියේ ආචීර්ණකල්පිත අාකල්ප සහිත ප්‍රතිගාමී වෘත්තීය කණ්ඩායම්, ගතානුගතික වාමාංශිකයන් හා ඔවුන් විසින් හසුරුවනු ලබන නවක වද මූලික විශ්වවිද්‍යාල දේශපාලන සංස්කෘතික හෙජමොනියේ නිවට ගොදුරු වන විශ්වවිද්‍යාල මල්ලිලා හා නංගිලා ය. (මොවුන් සිසුන් ලෙස හැඳින්වීම අදේශපාලනික ය.)
නිදහස යනු පුළුල් සංකල්පයකි. එයට ජාතිවාදයෙන් මිදීම, ජාතික හා වාර්ගික සමානාත්මතාව, ස්ත්‍රී පුරුෂ සමාජභාවී සමානාත්මතාව, ලිංගික නිදහස, දෘෂ්ටිවාදී ඇදහිලිවලින් මිදීම, සිතීමේ නිදහස, ප්‍රකාශනයේ නිදහස ආදී නිදහස්කාමිත්වයන් රැසක සංකලනයකි. නිදහස යනු සකලවිධ අධිපතිවාදයන්ගෙන් හෙවත් හෙජමොනීන්ගෙන් නිදහස් වීමයි. කොටින් ම, නවලිබරල්වාදය, ලිබරල්වාදය, නව ප්‍රජාතන්ත්‍රවාදය, ප්‍රති හෙජමොනික අරගලය, පෙරටුගාමී වාමාංශය, සමාජවාදය, විප්ලවය වැනි භාෂා උගුල්වලින් නිදහස් වීම ද එයට ඇතුළත් ය. අනාගතවාදී විභවයන් සහිත ප්‍රජාවන් විසින් මේ සියල්ල නැවත ලිවීම ආරම්භ කර තිබේ. එය පිළි නො ගත්ත ද මෙම ඊනියා දෘෂ්ටිවාදීමය ආගම් සමාජය විසින් ප්‍රතික්ෂේප කර ඇති බව හෝ පිළි ගැනීමට සිදු වේ.
ලංකාවේ මෝඩ පහේ කැම්පස් නංගිලා මල්ලිලා හා ඔවුන්ගේ ඊළඟ රූපාන්තරණය වන කුහක රජයේ සේවක මධ්‍යම පන්තිය මත පදනම්ව විප්ලව කරන්නට යන අසංවේදී වාමාංශික බුවාලාට ඒ හඬ ඇසෙන්නේ නැත. මෙම පන්තිවල සමාජය වෙනස් කිරීමේ කිසිදු විභවයක් නැත. ඔවුන් සමග විප්ලවීය දේශපාලනය කරන්නට යන අයට වන්නේ බල්ලන් සමග නිදාගත්තවුන්ට මෙන් මැක්කන් සමග නැගිටින්නට ය. අවතාරය කරන්නේ ඒ මැක්කන් හල හලා හීනෙන් ඇවිදීම ය.
‘නව ප්‍රජාතාන්ත්‍රික හෙජමොනික අරගලයෙන් සමාජවාදයට’ යනු උඩහමුල්ල දුම්රියපොළ පාරෙන් ගංගොඩවිලට යාමට වැඩි දෙයක් නොවන්නේ ඒ නිසා ය.

Comments
Post a Comment
මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.