සාමාන්‍ය පෙළ අසමත් වන දරුවන්ට කිසිම චාන්ස් එකක් නොදිය යුතු ද?


මා පදවිය බුද්ධංගල මධ්‍ය මහා විද්‍යාලයේ සේවය කළ සමය වන විට පාසල්වලින් අ.පො.ස. සාමාන්‍ය පෙළ පළමු වර අසමත් සිසුන් බැහැර කිරීම ආරම්භ වී තිබිණි.
දෙවන වර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සාමාන්‍යයෙන් දඩබ්බරයි. ඒ නිසා ඒ පන්තියට යන්නට ගුරුවරුන් කැමති නැහැ. උන් ඉගෙන ගන්නෙ නැහැ ය කියලා අතහැර දාලා යි තිබුණෙ.
“ලොකු ඉස්කෝලවල දැන් ඔය දෙවෙනි පාර ඕ ලෙවල් කරන එවුන්ව ගන්නෙ නැහැ. අපිත් ඔය පන්තිය නවත්තන්න ඕනැ,” ගුරුවරුන් වැඩිදෙනෙකු කිව්වෙ එහෙමයි.
මම මේ පන්තියට ඉංග්‍රීසි ඉගැන්නුවා. ඒක හරි අමාරුයි. එක කොල්ලෙක් හිටියා, ඌ මෙහෙම ප්‍රශ්නත් අහනවා.
“සර් ටීඑච්ඊ මොකක් ද?”
කලබැගෑනි, කෑකෝගැසීම්, දඟ වැඩ මැද්දෙ මාත් ඇරියෙ නැහැ. හැමෝට ම එපා කරලා තිබුණු මේ ළමයින් එකතු කරගෙන පන්ති සඟරාවකුත් කළා. ඒකට ඒ පන්තිය භාර ගුරුවරයා වුණත් එච්චර කැමති වුණේ නැහැ.
එතකොට අපි නතර වෙලා හිටියෙ ඉස්කෝලෙම ගුරු නිවාසයක් චමරිය කරගෙන. ඉතින් මේ ළමයි හැන්දෑවට අපට පිට්ටනියෙදි හමු වෙනවා. අපි එකට ක්‍රිකට් ගහනවා. යාළුවන් වගේ.
පිළිගන්නවා ද? අර “සර් ටීඑච්ඊ මොකක් ද?” කියල අහපු කොල්ලා මම අන්තිම වතාවට විස්තර විමසනකොට හමුදාවෙ මේජර් කෙනෙක්. යුද්දෙදි කුඩා කණ්ඩායම් කැප්ටන් කෙනෙකු විදියට විශාල වැඩ කොටසක් කරපු කෙනෙක්. දෙවෙනි වර අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත් වෙලා, උසස් පෙළත් සමත් වෙලා ඔහු කොතලාවල ගියා.
මේ පන්තියෙ ම හිටිය තව මදාවියෙක් දැන් ඒ ඉස්කෝලෙ ම ජ්‍යේෂ්ඨ ගුරුවරයෙක්. ඊට ටික කාලෙකට පස්සෙ මාරු වෙලා ආපු නිසා මම අනෙක් ළමයින් ගැන විස්තර දන්නෙ නැහැ.
මෙවැනි දරුවන් අතරින් කොටසක් ඉන් පසු අපට කාර්මිකයන්, කම්කරුවන්, සුළු කර්මාන්තකරුවන් විදියට විතරක් නෙමෙයි ඇතැම් විට මහා ව්‍යවසායකයන් ලෙසත් සමාජයට වැඩදායක සේවාවන්හි යෙදී සිටින ආකාරය දකින්නට ලැබෙනවා.
පස්සෙ කාලෙක මම මතුගම පාසලක ක්‍රිකට් භාර ගුරුවරයා වෙලා ඉඳිද්දි මම ඔය සාමාන්‍ය පෙළ අසමත් වන ළමයින් නිතර ඇසුරු කළා. ඔවුන්ට පාසල් එන්නට අවසර නොතිබුණත්, ක්‍රීඩාවලට එහෙම මේ ළමයින් අත්‍යවශ්‍ය වුණා. හැබැයි, ඉස්කෝලවලින් ඒ ළමයින්ට විභාගය සමත් වෙන්නට කිසිම උදව්වක් කළේ නැහැ. සාමාන්‍ය පෙළ අසමත් ළමයින්ට අධ්‍යාපනයෙදි උපකාර වෙන්නෙ පෙරවරු පාසල් කියලා හැඳින්වෙන ටියුෂන් පන්ති විතරයි. ටියුෂන් කොයි තරම් නරක වුණත්, මෙතනදි නම් ඒ පන්ති කරන ගුරුවරුන්ට මල් තියලා වඳින්නට ඕනැ.
අ.පො.ස. සාමාන්‍ය පෙළ අසමත් වන දරුවන්ටත් දිගට ම පාසල් යන්නට පුළුවන් විදියට වසර 13ක අධ්‍යාපනය රජය විසින් අනිවාර්ය කර තිබෙනවා. ඒ වෙනුවෙන් විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. මෙය ලෝක මට්ටමෙන් ගත්තත්, රජයක් විසින් අධ්‍යාපනය සම්බන්ධයෙන් ගන්නා ලද ඉතා ප්‍රගතිශීලී තීරණයක්. එයට සමාජයේ සහයෝගය හිමි විය යුතු යි. ඒ අදහස වඩා හොඳින් ක්‍රියාත්මක කරන්නට සාධනීය යෝජනා තමයි සමාජය පැත්තෙන් ඉදිරිපත් විය යුතු ව තිබෙන්නේ. හැබැයි, දැන් මව්පියන්, ගුරුවරුන් සහ ආදි ශිෂ්‍යයන් මේ වැඩසටහනට එරෙහිව අවි අමෝරාගන්නට පටන් අරන්.
ලංකාදීප පුවත්පත එවැනි සිදුවීමක් අද දින මෙසේ වාර්තා කළා.
අ’පුර මැදි විදුහලේ ස්මාට් පන්ති නවත්වන්නැයි උද්ඝෝෂණයක්
(දයාරත්න ඇඹෝගම)
රජයේ නිර්දේශය මත අනුරාධපුර මැදි විදුහලේ සාපෙළ අසමත් සිසුන් සඳහා පවත්වා ගෙන යන ද්විතියක අධ්‍යාපනය හැදැරිමේ (ස්මාට්) පංති ඉවත් කරන ලෙස ඉල්ලා ආදි සිසුන් සහ දෙමාපියෝ අද (25) අනුරාධපුර මැදි විදුහල ඉදිරි‍පිට උද්ඝෝෂණයක නිරත වෙති.
මෙම උද්ඝෝෂණයට එක්වු අනුරාධපුර මැදි විදුහලේ ආදි සිසු සංගමයේ ලේකම් දිමුතු චින්තක දේවප්‍රිය මහතා මෙසේ පැවසිය.
සි.ඩබ්.ඩබ්.කන්නන්ගර මහතා විසින් පිහිටවු මැදි විදුහල් 54 න් එකක් තමයි අනුරාධපුර මැදි විදුහල. මෙම විද්‍යාලයට ඇතුළත් වන්නේ ශිෂ්‍යත්වය සමත් සිසුන්. ඒ වාගේ අපොස සාමන්‍ය පෙළ උසස් පෙළ ඉහලින්ම සමත් සිසුන්.
එසේ තිබියදි සාමාන්‍ය පෙළ අසමත් සිසුන්. එසේම ඔවුන් විනය විරෝධී ආකාරයටත් හැසිරෙනවා.මේ නිසා පාසලේ විනය පිරිහිලා තිබෙනවා. එම නිසා මෙම ස්මාට් පංති වෙනත් ස්ථානයක පිහිටුවන ලෙස ඉල්ලා සිටිනවා.
දැන් මොවුන් ඉල්ලා සිටින්නේ මේ දරුවන් මරා දමන්නැ යි කියා ද? මේ පන්ති වෙනත් ස්ථානයක පිහිටුවන්නට ම උවමනා ද? ඇයි ඒ දරුවන්ට මෙවැනි පාසලක ඉගෙන ගන්නට බැරි? ඒ දරුවනුත් මේ රටේ දරුවන් නෙමෙයි ද? ඔබේ දරුවකු කිසියම් හේතුවක් මත මේ තත්වයට පත් වුණොත්, ඒ දරුවා සම්බන්ධයෙන් ඔබ කටයුතු කරන්නේත් මේ අන්දමට ම ද?
මොවුන් සී.ඩබ්.ඩබ්. කන්නන්ගර නමත් අපහරණය කරනවා. එතුමා මධ්‍ය මහා විද්‍යාල පිහිටෙව්වේ අවස්ථා නොලබන දක්ෂ දරුවන් වෙනුවෙන් වැඩි අවස්ථා ඇති කරන්නට යි. ඒ පාසල් අයිති කර ගත් වරප්‍රසාදිත පන්තියක් බිහි කරන්නට නෙමෙයි.
කොයි තරම් හොඳ අධ්‍යාපනික තීරණ ගත්තත්, අධ්‍යාපනඥයන් නොවන මෙවැනි අමනයන්ගෙන් සමන්විත ආදි ශිෂ්‍ය සංගම් ආදිය ඒවාට මේ අන්දමින් උදැල්ල දැමීමට ඉදිරිපත් වෙනවා නම් ඒවා ක්‍රියාත්මක කරන්නට බැරි වෙයි.
මෙවැනි අමන දනන් මේ දරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා ඔවුන් සඳහා වන පන්ති වෙනත් ස්ථානයක පිහිටුවීමට වුව සලකා බැලීම නරක නැති බව පෙනේ.
– අජිත් පැරකුම් ජයසිංහ

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා