රනිල් – මහින්ද සාම සාකච්ඡා අරඹනු!

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහින්ද රාජපක්ෂ සමග කරන ලද බලය ඇල්ලීමේ කුමන්ත්‍ර‍ණය හේතුවෙන් මේ වන විට රට දරුණු අර්බුදයක ගිලී තිබේ. අලුතෙන් පත් කරන ලද ‘අගමැති’ මහින්ද රාජපක්ෂට පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය දිනාගන්නට බැරි වී තිබේ. එහෙත්, ජනාධිපති බලතල පාවිච්චි කරමින් මේ වන විට ඔහු වැරදි ආකාරයකින් බලය අල්ලාගෙන හමාර ය. රට පාලනය කරන්නේ ඔහු ය.
‘හිටපු’ අගමැති රනිල් වික්‍ර‍මසිංහ තවදුරටත් නීත්‍යානුකූල අගමැති ධුරයටහිමිකම් කියයි. ඔහු විසින් සිය ප්‍ර‍තිවාදියා වන මහින්ද රාජපක්ෂට කර තිබෙන්නේ සරල අභියෝගයකි. එනම් පාර්ලිමේන්තුව කැඳවා බහුතරය පෙන්වන ලෙසයි. මහින්ද රාජපක්ෂ බලය අල්ලාගත් ආකාරය වැරදි වුණත්, මෙම මාර්ගය ඔස්සේ ගැටලුව පහසුවෙන් විසඳාගත හැකි ය. නැතිනම් සිදු වන්නේ මෙය ව්‍යවස්ථා අර්බුදයක් ලෙස දිග්ගැසීමයි.
මෑත වකවානුවේදී, විශේෂයෙන් රනිල් වික්‍ර‍මසිංහගේ නායකත්වය යටතේ එක්සත් ජාතික පක්ෂයේ ගැඹුරු පරිවර්තනයක් සිදු වී තිබේ. අද වන විට එය වනාහි අතීතයේ මෙන් මහා ජන බලමුළු නිර්මාණය කළ හැකි, අධිකාරවාදී, සටන්කාමී පක්ෂයක් නොවේ. දැන් එය බොහෝ දුරට නාගරික ඉහළ මධ්‍යම පන්තික ආධිපත්‍යයට නතු වූ, ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදී භාවිතාවන්ට වැඩි නැඹුරුවක් දක්වන, ව්‍යවසායක ස්ථරයේ උවමනාවන් වැඩිපුර නියෝජනය කරන පක්ෂයකි. සිය පැරණි ජන පදනම වන ග්‍රාමීය පහළ මධ්‍යම පන්තිය හා දිළිඳු ජනයා ඇද බැඳ තබාගැනීමට එජාප නායකත්වය අසමත් වී තිබේ. එජාපයෙන් ගිලිහුණු එම ජන බලවේගයට දැන් නායකත්වය දෙන්නේ මහින්ද රාජපක්ෂ ය. එය එම සමාජ තීරයේ අගතිගාමිත්වයන් තව තවත් තීව්‍ර‍ කරන්නත් මිස සැබෑ නායකත්වයක් නොවේ.
එහෙත්, මෙතැනදී රනිල් වික්‍ර‍මසිංහ බලය අත්හැර යනු ඇතැයි සිරිසේන – රාජපක්ෂ හවුල වැරදි පූර්ව නිගමනයකට පැමිණ සිටිය හ. සති දෙකකට ආසන්න කාලයක් තිස්සේ තවමත් එජාපය සටන අත් නොහැර සිටියි. එසේ ම, සිරිසේනගේ ගුණමකුකම, එජාපට නිතැතින් හිමි වන සදාචාරමය ඉහළ තත්වය වැනි වාසි භාවිතා කරමින් ඔවුන් දේශීයවත්, විදේශීයවත් සිය අරගලය ඉදිරියට ගෙන යමින් සිටියි. එහි ප්‍ර‍තිඵලයක් ලෙස රාජපක්ෂ – සිරිසේන ආණ්ඩුවට නිල පිළිගැනීමක් නැත. දේශප්‍රේමය ගැන කොයි තරම් කයිවාරු ගැසුවත්, ලෝකය දිනා නොගෙන මහින්දට ආණ්ඩු කළ නොහැකි ය.
දැන් පළමු වරද වසන්නට දෙවන මහා වරදක් ද කරන්නට සිරිසේන – මහින්ද කුමන්ත්‍ර‍ණ කණ්ඩායම උත්සාහ කරති. ඒ තමන්ට බහුතර විශ්වාසයක් නැති පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙනි. එසේ කළ නොහැකි නම් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා ජනමත විචාරණයක් පැවැත්වීමෙනි. එසේ කරන්නට හදන්නේ ව්‍යවස්ථා නීතියෙහි තවත් සිදුරකින් රිංගා යමිනි. ව්‍යවස්ථාව යනු නිශ්චිත අරමුණු සහිතව නිර්මාණය කරගන්නා ලද නීතියක් ලෙස නො සලකා කූට නීතිඥයන් සේ කටයුතු කරමින් මොවුන් උත්සාහ කරන්නේ නීතියේ සිදුරුවලින් රිංගන්නට ය. අධිකරණයේදී මේ සඳහා ඉඩක් ඇත. ඒ විත්තිකරුවකුට එරෙහිව සැකයකින් තොරව චෝදනා ඔප්පු කිරීමේ වගකීමක් පැමිණිලි පාර්ශ්වයට ඇති හෙයිනි. එය සාධාරණ නඩු විභාගයක් සඳහා පුද්ගලයකුට තිබෙන මානව හිමිකම සමග සම්බන්ධ ය. ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාව ද එසේ සිදුරුවලින් රිංගා යා හැකි නීතියක් බවට පත් කරගැනීමට දරන උත්සාහය ඉතා නරක තත්වයකි.
නැවත නැවතත්, සිරිසේන – රාජපක්ෂ බල හවුලේ අරමුණ වන්නේ විවිධ කූට උපායන් ඔස්සේ කල් අල්ලමින්, සහයෝගය මිළ දී ගනිමින්, බලහත්කාරය භාවිතා කර ආණ්ඩු බලය තහවුරු කරගැනීමයි. එහෙත්, මේ රටේ මහජන නියෝජිතයන් තමන්ට ඕනෑ ඕනෑ විදියට මිළ දී ගැනීමට හැකි භාණ්ඩ විශේෂයක් ලෙස භාවිතා කළ රාජපක්ෂ යුගය තීරණාත්මක ලෙස අවසන් වී ඇති බව මහජන නියෝජිතයන් සැලකිය යුතු පිරිසක් විසින් පෙන්වා දී තිබේ. එය රාජපක්ෂලා ද බලාපොරෛාත්තු නොවූ තත්වයකි. අප කළ යුත්තේ ඔවුන්ට සිනාසීම නොව, ඒ සාධනීය ලක්ෂණ දිරිගැන්වීමයි. ඔවුන්ට එසේ කළ හැකි වූයේ මහජනතාව ඔවුන් සමග සිටි නිසා ය.
අප යෝජනා කරන්නේ අර්බුදය තවදුරටත් දිග්ගස්සන්නේ නැතිව එජාප විසින් යෝජනා කරන ලද විසඳුමට හැකි ඉක්මණින් එළඹීමයි. එනම්, පාර්ලිමේන්තුව කැඳවා ඇති දිනයේ බහුතර විශ්වාසය පිළිබඳ විශේෂ යෝජනාවකට බාධා නොකර ඉඩ දීමයි. එසේ නොමැති නම්, ජනාධිපතිවරයා හා මහින්ද රාජපක්ෂ විසින් මෙහෙයවන ලද රාජ්‍ය විරෝධී කුමන්ත්‍ර‍ණය නිසා අවසානයේදී බැට කන්නේ ඔවුන්ගේ අණ අනුව කටයුතු කළ රාජ්‍ය නිලධාරීන් ය.
රාජපක්ෂ පවුලට තිබෙන මූලික ගැටලුව වන්නේ තම පවුලේ සාමාජිකයන්ට එරෙහිව තිබෙන නඩු ය. එසේ නොවේ නම් මේ තරම් හදිසියේ බලය අල්ලාගැනීමට කුමන්ත්‍ර‍ණ කිරීමේ උවමනාවක් ඔවුන්ට නැත. මේ කුමන්ත්‍ර‍ණය දක්වා මැතිවරණයකින් පහසුවෙන් ජයගැනීමේ හැකියාව ඔවුන්ට තිබිණි. එහෙත්, දැන් ඔවුන් කළ දෙයින් සිදු වී තිබෙන්නේ එජාපට අනවශ්‍ය ශක්තියක් ගොනු වීම හා රාජපක්ෂ විරෝධී බලවේග නැවත එක්සත් වීමයි.
ජන බලය ගැන අන්ධ විශ්වාසයෙන් තොරව විමසා බැලුවහොත්, මේ අනවශ්‍ය ගූ මුට්ටියට කරගැසීම නිසා ඉදිරි මැතිවරණ ද ඔවුන්ට අභියෝගයක් වන බව වටහා ගත යුතු ය. කළ යුතුව තිබෙන්නේ සාම සාකච්ඡා ඔස්සේ සම්මුතියකට පැමිණීමයි.
මෙම කුමන්ත්‍ර‍ණය නිසා රටෙහි ඇති වූ අර්බුදය සම්බන්ධයෙන් වගකිව යුතු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට තම පිරිසිදු කරගන්නට අවශ්‍ය නම් ජනාධිපතිවරණයක් වහා පැවැත්විය යුතු ය.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා