මුළු ලෝකෙන් ම බුලත්සිංහල විතරක් තියෙන හොරවැල් ශාඛය


හොරවැල් කියන්නෙ මුළු ලෝකයෙන් ම කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, දම්පරාදුගොඩ, වතුරාන ප්‍රදේශයේ පමණක් හමු වන සුවිශේෂ ශාකයක්. එය තිබෙන්නේ වතුරාන, වලව්වත්ත නම් පෞද්ගලික අක්කර 12ක් පමණ වන වගුරු බිමක යි. ඒ ඉඩම පිහිටා තිබෙන්නේ කළු ගඟේ අතු ගංගාවක් වන කුඩා ගඟට මායිම්ව කුඩා ගඟේ පිටාර තැන්නේ යි. නිතර වතුරට යට වෙන නිසා තමයි එයට වතුරාන කියන නම වැටිලා තියෙන්නෙ.
පේරාදෙණිය උද්භිද උද්‍යානයේ හිටපු අධ්‍යක්ෂවරයකු වන ‘Catalogue of Ceylon Plants’ නම් ග්‍රන්ථය රචනා කළ ඇලෙක්සැන්ඩර් මූන් (Alexander Moon) විසින් 1820 දී පමණ මේ වනය ආශ්‍රිතව හඳුනාගත් බව ප්‍රකාශ වෙනවා. එහෙත්, පසුගිය සමයේ මෙම ශාකය සොයා ගත නොහැකිව තිබුණා.
හොරවැල් ශාකයේ විද්‍යාත්මක නමෙහි මූන් මහතාගෙ නමත් තියෙනවා. එහි විද්‍යාත්මක නම තමයි, Stemanoporus Mooni.
ඒ පිළිබඳ පරිසරවේදී  ෂර්ලි උපුල් කුමාර මෙසේ පවසනවා.
”හොරවැල්” ශාකය හෙවත් ”බොරු මැන්දෝර ” දකින්න ලැබෙන ලෝකයේ එකම තැන තමයි කළුතර, බුලත්සිංහල පිහිටි වලව්වත්ත වගුරු වනාන්තරය. ශ්‍රී ලංකාවට අවේණික මේ ශාකය 1820 දී මුල් වරට හඳුනාගන්නා ලද්දේ එවකට පේරාදෙණිය උද්භිද උද්‍යානයේ අධිකාරිවරයා වූ ඇලෙක්සැන්ඩර් මුන් විසින්. අවුරුදු 160ක් පමණ කාලයක් මේ ශාකය ලංකාවේ දකින්න ලැබුනේ නෑ. ඒ නිසා පර්යේෂකයන් විස්වාස කළේ හොරවැල් ශාකය මුළු ලොවින්ම වඳ වී ගියා කියලයි. නමුත් බුලත්සිංහල වලව්වත්ත වගුරු වනාන්තයේ ඉතිරි වී ඇති මේ ශාකය 1979 දී නැවත සොයාගන්නට මහාචාර්ය ඒ.ජේ කොස්ටර්මන් සහ මහාචර්ය නිමල් ගුණතිලක මහතාට හැකි වුණා.
හොර කුලයට (Dipterocarpaceace) අයත් වුවද හොරවැල් ශාකය මීටර් 8-10කට වඩා උස යන්නේ නෑ. කඳේ මහතද ඉතා අඩුයි. මේ ශාකයේ තියෙන විශේෂත්වයක් තමයි මල් පිපෙන්නේ කඳේ.
දැඩි ලෙස වඳ වීමේ අවදානමට පත් ශාකයක් ලෙස රතු දත්ත පොතට ඇතුළත් කර තිබෙන හොරවැල් ශාකය බුලත්සිංහලින් වඳ වුණොත් ලංකාවෙන් පමණක් නොව මුළු ලෝකයෙන්ම සදහටම වඳ වී යනවා.
හොරවැල් ශාකය පිළිබඳ දිනමිණ පුවත්පතට ලිපියක් ලියන අසිරු වේදිත කරුණාරත්න එය මෙසේ විස්තර කරනවා.
හොර වැල් ශාක මීටර් 4 – 5 පමණ උසට වැඩෙන පත්‍ර කිරුලක ආකාරයෙන් පිහිටන ශාක විශේෂයක්. මේ ශාකවල පත්‍ර අරලිය පත්‍රවල හැඩයට සමානයි. මේ ශාක පත්‍රයක් 45cm පමණ දිගකින් සහ 8cm පමණ පළලකින් යුක්තයි. මෘදු දලු ලා රතු පැහැවන අතර කඳ පහළට විහිදිලා තියෙනවා. සාමාන්‍යයෙන් අතු බෙදීමක් දක්නට නොලැබෙන හොර වැල් ශාකවල සෘජු කඳක් දකින්න පුළුවන්. මෙම ශාකවල පුෂ්ප කුඩා සුදු පැහැයෙන් යුක්තයි. මෙයින් හටගන්නා ගෙඩි 3cm පමණ විෂ්කම්භයකින් යුතු ගෝලාකාර පලතුරු විශේෂයක්. ඉතා සෙමෙන් වැඩෙන නිසා වර්තමානය වන විට දකින්න තියෙන්නෙ මේ ශාක ඉතා‍ සුළු ප්‍රමාණයක් පමණයි.
මෙම වගුරු බිමේ තිබෙන තවත් එහි පමණක් ඇති ශාකයක් තමයි Mesua Stylosa යන විද්‍යාත්මක නමින් හඳුන්වන සුවඳ ශාක. දිනමිණ ලිපියේ එම ශාකය මෙසේ විස්තර කරනවා: මීටර් 10 – 15 පමණ උසට වැඩෙන සිහින් දිගැටි පත්‍ර සහිත නා කුලයේ ශාක විශේෂයක්. අද වන විට ඉතිරි වෙලා තියෙන්නෙ මේ ශාක වලින් ඉතා සුළු ප්‍රමාණයක් පමණයි. ඉතිරි වෙලා තියෙන ශාකත් ප්‍රමාණයෙන් කුඩා ඒවා. අතීතයේ විශාල ප්‍රමාණයේ සුවඳ ගස් මේ වනාන්තරය තුළ තිබිලා තියෙනවා. 1988 දී පමණ සිදු කරපු සමීක්ෂණයකදී අතීතයේ තිබූ විශාල ශාක කපා දැමු බවට සාධක හමුවෙලා තියෙනවා. මෙහි හටගන්නා පුෂ්ප නාමල් වැනිම වූ සුදුපාට සුවඳවත් පුෂ්ප.
මෙම සුවිශේෂ වගුරුබිම මුහුණ දී සිටින තර්ජන පිළිබඳ දිනමිණ ලිපියේ මෙසේ දැක්වෙනවා: මේ වනය මේ තරම්වත් ආරක්ෂා වෙලා තියෙන්නේ පෞද්ගලික ඉඩමක කොටසක් නිසා. මේ වනය රැක ගැනීම වෙනුවෙන් විජේසේකර පවුල විශාල දායකත්වයක් ලබාදීලා තියෙනවා. නමුත් අනවසර වැලි ගොඩ දැමීම වනයේ සතුන් දඩයම හා ගස් කැපීම මේ වනයට විශාල තර්ජනයක් වෙලා තියෙනවා. විශේෂයෙන් හොරවැල් ශාක සෘජු කෙලින් වැඩෙන සිහින් ශාක නිසා ඉදල් හා කොසුවල මිට සකස් කිරීම බොහෝ අය මේ ශාක කපා ගෙන යනවා. වැසි කාලයට මසුන් අල්ලන්නන්ගෙන් වනයට සිදුවෙන්නෙ විශාල හානියක්. වැසි කාලයට මේ වනයම ජලයෙන් යට වෙනවා. මේ කාලයේදී මසුන් අල්ලන්නන් වනය වටා දැල් ඇද ජලය බැස ගිය පසු මසුන් එකතු කිරීම සිදු කරනවා. මේ කාලවල වනය තුළ වාඩි සකස් කර ගනිමින් මේ අය නැවතිලා ඉන්නෙ. මේ නිසා වනයට විශාල හානියක් සිදුවෙනවා.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා