එළියකන්ද වධ කඳවුර හා කේපොයින්ට් නවකතාව ගැන


කේපොයින්ට් නවකතාව සම්බන්ධයෙන් මේ වන විටත් මතභේදයක් ඇති වී තිබෙනවා. එය පැනනැගුණේ කිසි සේත් ම බලාපොරොත්තු නොවූ තැනකින්.
මීට කලිනුත් එළියකන්ද වධකාගාරය පිළිබඳ පොතක් ලියැවී තිබේ. එහි නව එළියකන්ද වධ කඳවුරයි. එහි වරහන් ඇතුළේ ඉංග්ලිෂ් අකුරෙන් K-Point යනුවෙන් ද ලියැවී තිබේ.
මගේ නවකතාවේ නම සිංහලෙන් කේපොයින්ට් ය. අවුෂ්විට්ස් වධ කඳවුර ගැන ලියවුණු බොහෝ පොත්වල අවුෂ්විට්ස් යන වදන භාවිතා වී තිබේ. එවැනි වදනක් කිසිවකුගේ බුද්ධිමය දේපලක් නොවේ. ඒවා කිසිවකුට අයිතිවාසිකම් කියන්නට අවශ්‍ය නොවන තරම් අපකීර්තිමත් නම් ය.
තම පොතේ නම මා කොපි කළ බවක් රෝහිත මුණසිංහ සිතන බව මට පෙනේ. අපි මේ කේපොයින්ට් යන නම වෙනුවට ආදර වැනි වචනයක් ආදේශ කර බැලුවොත්, ඒ වචනය විවිධ කලා නිර්මාන කොයි තරම් ප්‍රමාණයක විවිධාකාරයෙන් භාවිතා කර තිබෙනවා ද යන්න තේරුම් ගත හැකි ය. රෝහිත මුණසිංහ ඒ වචනය ඉංග්ලිෂ් බසින් වරහන් ඇතුළේ යොදා තිබෙන පළියට එය වෙනත් කෙනෙකුට යොදාගන්නට බැරි යයි සිතනවා නම් එය බොළඳ අදහසකි. මේ සම්බන්ධ බුද්ධිමය දේපල නඩුවක් පැවරීමෙන් අවශ්‍ය නම් නීතිමය අර්ථනිරූපණයක් ලබා ගත හැකි ය.
රෝහිත මුණසිංහ සඳහන් කරන තවත් කරුණක් වන්නේ මා ඒ හා සම්බන්ධ ආරාධනා පත්‍රයෙහි කතුවරයාගේ නම සඳහන් නොකිරීමෙන් එය ඔහුගේ වැඩක් බව පෙන්නා ඔහුට තිබෙන කීර්තිය සොරකම් කරගැනීමට උත්සාහ කළ බවයි. මෙම පොත මා ලියමින් සිටින බව හා එය පළ කරන බව මා සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනය කර දැන් අවුරුද්දකට ආසන්න ය. සමාජ මාධ්‍යවල මගේ මිතුරෝ එය දනිති. එහෙයින් ආරාධනා පත්‍රය මුද්‍රණය කිරීමේදී පොතේ නම පමණක් එහි සඳහන් විය. එය එතරම් සිතාමතා කළ දෙයක් නොවේ. රෝහිත මුණසිංහගේ කීර්තියක් සොරාගැනීමේ චේතනාවක් නම් එහි කොහොමත් නොතිබිණි.
එළියකන්ද වධකාගාරයෙන් නිදහස් වී පැමිණ, එතැන් සිට ද දිගට ම දේශපාලනයේ සක්‍රියව යෙදෙමින්, ඒ හේතුව නිසා ම 2007දී ස්වයංව රටින් පිටුවහල් වන්නට පවා සිදු වූ, තර්ජන මැද පවා දිගට ම ලංකාවේ රැඳී සිටි, නව මාධ්‍ය හා සම්ප්‍රදායික මාධ්‍ය ඔස්සේ ද නිරතුරු සංවාදයේ නියැලී සිටින සමාජ ක්‍රියාකාරිකයකු වන මා ගැන දන්නා සුළු පිරිසක් අඩු තරමේ විකල්ප කතිකාව තුළ හෝ මේ රටේ සිටින නිසා මට විදෙස්ගත ලාංකිකයකු වන රෝහිත මුණසිංහගෙන් කීර්තිය සොරකම් කිරීමට අවශ්‍යතාවක් නැත. එය තේරුම්ගැනීමට රෝහිත මුණසිංහට බැරි වීමෙන් පෙනෙන්නේ ඔහු ලංකාවේ විකල්ප දේශපාලන කතිකාවන්ගෙන් ඉතා දුරස්ථ ජීවිතයක් ගතකරන බවයි.
රෝහිත ඊළඟට කියන්නට පටන් ගත් දේ මා සිතන පරිදි නම් අමානුෂික ය. එළියකන්දේදී සාමාන්‍යයෙන් පාවිච්චි නොවුණු වදනක් වූ දළයායන්න යොදමින් ඔහු මා හමුදාවට ඔත්තු දී දිවි බේරාගත් අයෙකු ලෙස පෙන්වීමට උත්සාහ දරයි. එළියකන්දේ අවුරුද්දකුත් මාසයක් සිටි මා දිවි බේරාගත්තේ කෙසේදැයි ප්‍රශ්න කරමින් ඔහු උත්සාහ කරන්නේ මා දළයකු ලෙස ඔහු හඳුන්වන අයකු නිසා හමුදාව මා බේරූ බව කියන්නට ය. තොරතුරු නැතිකම මත පදනම් වූ මෙම ප්‍රකාශ ඉතා අමානුෂික ය. එළියකන්දෙන් මා දිවි බේරාගත් ආකාරය දන්නා හා ඉන් පසුත් වසර ගණනාවක් මා සමග සිර කඳවුරු දිගේ ගමන් කළ සගයෝ සිය දහස් ගණනක් අදත් ජීවත් වෙති. තමන් හැර එළියකන්දෙන් නිදහස් වූ සියලු දෙනා ද්‍රෝහීන් ලෙස සලකන මානසිකත්වය කොයි තරම් කෘර එකක්දැයි සිතන විට මට ඇති වන්නේ විස්මයකි.
මා එළියකන්ද වධකාගාරයට යොමු කළ දේශපාලනය පසුපස තිබුණු ආගමික ස්වරූපී ඇදහිල්ලෙන් මා මේ වන විට මුළුමනින් ම නිදහස් වී හමාර ය. මා කේපොයින්ට් ලියන්නේ මානසික වධකාගාරවලින් ද නිදහස් වූ නිදහස් මතධාරියකු ලෙසයි.
කේපොයින්ට් යනු නවකතාවකි. එහි රචක යනු චරිතයකි. රචක මා නොවේ. මා නොවන්නේ ද නොවේ. නවකතාව එවැනි දෙයකි. මා මෙම සිදුවීම් දාමය පසුබිම් කරගෙන නවකතාවක් ම ලිව්වේ ඇයි ද යන්න ගැන ද පැහැදිලි කළ යුතු ය.
මා සිතන පරිදි සමාජ යථාර්ථය ගැඹුරින් ම විග්‍රහ කළ හැක්කේ නවකතාවටයි. එය සමාජ විද්‍යාත්මක පර්යේෂණයන්ට ද වඩා ඉදිරියෙන් සිටින්නකි. නවකතා සඳහා අවශ්‍ය ගැඹුරු කියවීම් ය. එහි පර්යේෂණ වාර්තාවක මෙන් සියල්ල වචනගත කර නැත. නවකතාවේ උඩුපෙළටත් වඩා යටිපෙළ අර්ථ බහුල ය.
මෙම නවකතාව එළිදක්වමින් මා ඉල්ලා සිටින්නේ එය පදනම් කරගෙන තරුණ දේශපාලනය හා තරුණ ප්‍රචණ්ඩත්වය පිළිබඳ කතිකාවකට මුල පුරන ලෙස ය. මම ඒ කතිකාවට සහභාගි වීමට කැමැත්තෙමි.
එය මගේ දේශපාලනික වගකීමක් ලෙස ද සිතමි. උතුරේත්, දකුණේත් තරුණ පරම්පරා තුනක් ගඟේ යනු මම දැක ඇත්තෙමි. තවත් පරම්පරාවකට එය ම සිදු විය හැකි වටපිටාව තවමත් එහෙම ම ය. විනාශ වූ තාරුණ්‍යයේ හිස්තැන ලංකාවේ සමාජ දේහය තවමත් පෙළයි. අප ගමන් කරමින් සිටින්නේ ළමා තරුණ ජනගහණයේ ප්‍රතිශතය ඉක්මවා වැඩිහිටි ජනගහනය වර්ධනය වන අනාගතයක් වෙතයි. මගේ පරම්පරාවට හැට පිරෙන විට වැඩිහිටියන් මේ රටේ ජනගහනයෙන් හතරෙන් පංගුවක් තරම් වෙති. තරුණයන් කොයි තරම් වටිනා සමාජ තීරයක් ද යන්න තේරුම් ගැනීමට ඒ කරුණ ම වුණත් ප්‍රමාණවත් ය.
තරුණ හැකියාවන් මල්ඵල ගන්වාගත හැකි තරුණ දේශපාලනයක් ගැන කතා කරමු. එන්න අද හවස 3ට ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයට. මාත් එක්ක වික්ටර් අයිවන්, උපුල් කුමාරප්පෙරුම, විදර්ශන කන්නන්ගර හා ගීතිකා ධර්මසිංහත් සාකච්ඡාවට සම්බන්ධ වෙනවා.

කේපොයින්ට් කියවන්න. එය ලබන සතිය වන විට පොත් කඩවලට එනවා. ලංකාව තුළ නම් අමතර තැපැල් ගාස්තුවක් නොගෙවා තැපෑලෙන් ගෙදරට ම ගෙන්වා ගන්නටත් පුළුවන්. විදෙස් රටවලටත් පොත තැපැල් කරනු ලැබේ. ඒ ගැන විස්තර මෙතනින් >>>>

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා