කොල්ලන්, බල්ලන්, මීඩියාකාරයන්, සරසවි ඇදුරන්, දොස්තරලා, වාමාංශිකයන් හා නිකමුන් ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම් ගැන විශාරදයන් විය යුතු ද?


සිංගප්පූරුව සමග අත්සන් කරන ලද නිදහස් වෙළඳ ගිවිසුමට විරෝධය පෑමට පළමු පියවර ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දැනටමත් රෝගීන් ඇපයට තබා වැඩ වර්ජනයක් කර හමාර ය. එහෙත්, තමන් එයට විරුද්ධ ඇයි ද යන්න ගැන ඔවුන්ට පැහැදිලි අදහසක් ඇති බවක් ඔවුන් කරන ප්‍රකාශවලින් දක්නට නො ලැබේ. මේ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙන් ම ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි වැනි විද්‍යාර්ථීන් ද පළ කරන්නේ ගැඹුරක් නැති අදහස් ය. මූලිකව ම ඔවුන් කතා කරන්නේ නොදන්නා මගුලක් ගැන ය.
සාමාන්‍යයෙන් ඒ අදහස් මෙවැනි ය. සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම අවිශ්වසනීය පුද්ගලයෙකි. ඒ නිසා මේ පසුපස කොමිස් ජාවාරමක් තිබිය හැකි ය. මේ ගිවිසුම ගැන අප හරියට දන්නේ නැත. ඒ නිසා මෙය කුමන්ත්‍රණයක් විය හැකි ය. මෙයින් ලංකාවේ රැකියා අවස්ථා විදේශිකයන් අතට යා හැකි ය. සිංගප්පූරුවෙන් කරනු ලබන ආනයන හේතුවෙන් ලංකාවේ කර්මාන්ත බිඳ වැටිය හැකි ය.
ලංකාවේ සිටින ඕනැ දේකට විරුද්ධ පිරිස වන වාමාංශිකයන්, රාජ්‍ය සේවක වෘත්තීය සමිතිකාරයන්, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමය, ජාතිවාදීන්, රාජපක්ෂවාදීන් වැනි ඉච්ඡා භංගත්වයට පත් පිරිස් දැන් වහ වහා මේ සිංගප්පූරු විරෝධය පසුපස පෙළ ගැසෙමින් සිටිති. තම තමන්ට රිසි පරිදි අර්ථ නිරූපණ සපයති.
දැන් අප ද මේ විරෝධය සමග එල්ලිය යුතු ද? මූලික වශයෙන් අපි ආර්ථික ජාතිවාදය ප්‍රතික්ෂේප කරන්නෙමු. ලෝකයට ඉදිරියට යා හැක්කේ ආර්ථික ජාතිවාදය පරදවා කලාපීය හා අන්තර් රාජ්‍ය සහයෝගිතාවන් නිර්මානය කර ගැනීමෙන් බව අපි විශ්වාස කරන්නෙමු.
අප මෙන් ම ඉහත සඳහන් කළ අය ද ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම් සම්බන්ධ විශේෂඥයෝ නොවෙති. ඒ නිසා ඔවුන්ගේ නන්දෙඩවීම්වල හරයක් නැත. මේ පිළිබඳ රජයේ පැත්තෙන් ද නිසි පැහැදිලි කිරීමක් තවම සිදු වී නැත. සාමාන්‍යයෙන් සිදු වන පරිදි ම අල්පශ්‍රැතයන් සියල්ල අවුල් කර මිථ්‍යාව වපුරන තෙක් රජය නිකම් බලාගෙන සිටියි.
මේ සම්බන්ධ පැහැදිලි කිරීමක් කළ යුත්තේ කවුරු ද?
මේ රටේ සිටින සියලු කොල්ලන්, බල්ලන්, මීඩියාකාරයන්, සරසවි ඇදුරන්, දොස්තරලා, වාමාංශිකයන් හා නිකමුන් ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම් විශාරදයන් වීම අවශ්‍ය නැත. එසේ ම, සියලු දේශපාලකයන් ද එසේ වන්නේ නැත. මේ හා සම්බන්ධ විශේෂඥයෝ රාජ්‍ය සේවයේ සිටිති. මේ ගිවිසුම් සම්බන්ධ සාකච්ඡා මෙහෙයවන්නේ ද, ගිවිසුම් සම්පාදනය කරන්නේ ද, ඒවා නීතිගත කිරීමට කටයුතු කරන්නේ ද මේ රාජ්‍ය නිලධාරියෝ ය.
මේවා ගැන දේශපාලකයන් හරහා ජනතාවට පැහැදිලි කිරීම හරියට කළ හැක්කේ මෙම නිලධාරීන්ට ය. එසේම, ඒ සාකච්ඡා රටට, ජනතාවට හා අනාගතයට හිතකර වන පරිදි සියලු පැතිකඩ සැලකිල්ලට ගනිමින් මෙහෙයවිය යුත්තේ ද එම නිලධාරීන් විසිනි. ඔවුන් එය හරි හැටි කළ යුතු ය. ඒ වෙනුවෙන් මේ රටේ මහජනතාව ඔවුන්ට වැටුප්, වරප්‍රසාද, පුහුණුවීම්, ශිෂ්‍යත්ව, විදේශ චාරිකා ආදිය සපයා තිබේ. ඔවුන් එය හරි හැටි කරනු ඇති බවට විශ්වාසය තැබීමට මේ රටේ මහජනතාවට අයිතියක් නිර්මානය වන්නේ එසේ ය.
රජය එය හරි හැටි කරන්නේ නැතිනම්, එය මේ රාජ්‍ය ක්‍රමය පිළිබඳ බරපතල ගැටලුවකි. එහෙම ගැටලුවක් ඇති බව අපි හැමදාමත් කියන්නෙමු. අප කියන්නේ රජය ප්‍රමාණාත්මකව කුඩා කරමින්, එහි ගුණාත්මකභාවය සංවර්ධනය කරමින්, කාර්යක්ෂම නියාමන යාන්ත්‍රණයක් බවට එය පත් කළ යුතු බව ය.
අප එසේ කියන විට රජය යනු සිල්ලර වෙළඳාම දක්වා ජන ජීවිතයේ හැම දෙයකට ම මැදිහත් විය යුතු අති දැවැන්ත ව්‍යූහයක් බවට පත් විය යුතු බව කියන්නේ ද අප ඉහත කී කොල්ලන්, බල්ලන්, මීඩියාකාරයන්, සරසවි ඇදුරන්, දොස්තරලා, වාමාංශිකයන් හා නිකමුන් ම ය.
කෙසේ වෙතත්, අප නම්, මේ හා සම්බන්ධ සාකච්ඡා හා ගිවිසුම් ක්‍රියාවලිය මෙහෙයවූ රාජ්‍ය නිලධාරීන් හා දේශපාලකයන් පිළිබඳ විශ්වාසය තබා ඔවුන් කියන්නේ කුමක් ද යන්න ගැන විමසිල්ලෙන් සිටිමු. මේ පිළිබඳ පාර්ලිමේන්තු විවාදයක් හෝ පැවැත්විය යුතු ය. කොල්ලන්, බල්ලන්, මීඩියාකාරයන්, සරසවි ඇදුරන්, දොස්තරලා, වාමාංශිකයන් හා නිකමුන්  වෙනුවට මේ ගැන හැදෑරූ විශේෂඥයන් කතා කළ යුතු ය.
එතෙක්, කොල්ලන්, බල්ලන්, මීඩියාකාරයන්, සරසවි ඇදුරන්, දොස්තරලා, වාමාංශිකයන් හා නිකමුන් බල්ලන්ගේ වැඩේ කරන්නට ගොස් ඇන ගන්නා බූරුවන් නොවී සිටිනවා නම් හොඳ ය.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා