මධ්‍යම, බස්නාහිර වාර විභාග ප්‍රශ්න පත්‍ර පිට වෙලා; වාර විභාගයක් හෝ පවත්වාගන්නට බැරි ලංකාවේ අධ්‍යාපන නිලධාරි


විභාග යනු ලංකාවේ අධ්‍යාපනයේ තිබෙන වටිනාකම් අතරින් ප්‍රධාන එකකි. ලංකාවේ පාසල් අධ්‍යාපනය සිදු වන්නේ ම ප්‍රධාන විභාග කීපයක් ඉලක්ක කරගෙන ය. වාර විභාග, මාසික පරීක්ෂණ, ඇගයීම් පවා කරන්නේ ප්‍රධාන විභාග කේන්ද්‍රීයව ය.
විභාග කේන්ද්‍රීයත්වය ටියුෂන් ව්‍යාපාරිකයන්ට කල්ල මරේ තත්වයක් නිර්මාණය කරයි. එහෙත්, ටියුෂන් ගුරුවරුන් අතර ඇති තරගකාරිත්වය බලු පොරයක් වැනි ය. තම පන්තියට සිසුන් ආකර්ෂණය කරගැනීම සඳහා ඕනෑ ම පීචං වැඩක් කිරීමට තමන් සූදානම් බව තාප්ප, බිත්ති පුරා ඇලවෙමින් ටියුෂන්කාරයෝ පෙන්වා දෙති.
විභාග ප්‍රශ්න සොරකම් කර දී හෝ සිසුන් සමත් කර ඊළඟ වසරේ තමන්ගේ ආදායම වැඩි කර ගැනීම ඇතැම් ටියුෂන් ගුරුවරුන්ගේ පරම චේතනාවයි. ඔවුන් විසින් සිසුන් අතර ද ප්‍රවර්ධනය කරනුයේ ඉගෙන ගැනීම නොව, මොනවා හෝ කර විභාග සමත් වීමයි.
මෙයින් සැබෑ දක්ෂ සිසුන්ට හා මෙවැනි කූට ප්‍රයෝගවලට ප්‍රවේශය අහිමි සිසුන්ට බරපතල අසාධාරණයක් සිදු වේ.
තමන්ගේ පන්තියට එන ළමයින් වාර විභාගවලදී වැඩිපුර ලකුණු ගන්නා බව පෙන්නන්නට ටියුෂන් ගුරුවරුන් කරන අපූරු වැඩක් පිළිබඳ තොරතුරු අපට ලැබී තිබේ. ඒ වාර විභාග ප්‍රශ්න පත්තර පිට කිරීමයි.
මේ සමග පළ වන ජංගම දුරකථන තිර රූපවලින් නිරූපණය වන්නේ එසේ පිට වී තිබෙන වාර විභාග ප්‍රශ්න පත්‍ර කීපයකි. මධ්‍යම පළාත් සභාව විසින් පවත්වනු ලබන මෙම විභාග ප්‍රශ්න පත්‍ර මේ වන විට වට්ස්ඇප් වැනි සමාජ මාධ්‍ය හරහා හිටු කියා සංසරණය වේ.
බස්නාහිර පළාත් සභාවේ තත්වය ඊටත් අන්ත ය. නිලධාරීන්ට විදේශ සවාරි සපයන්නට මුදල් තිබෙන පළාත් සභාවට ප්‍රශ්න පත්තර මුද්‍රණය කරන්නට සල්ලි නැත. ඒ නිසා ප්‍රශ්න පත්‍ර සකසා ඒවා සීඩී තැටිවලට කවා විදුහල්පතිවරුන්ට දී තිබේ. විදුහල්පතිවරුන් වැඩිදෙනෙකුගේ පරිගණක දැනුම දුර්වල ය. ඇතැමෙකු මේවා මුද්‍රණය කරවා ගන්නේ කොමියුනිකේෂන් කඩවලිනි. ප්‍රශ්න පත්‍ර පිට වෙන එක පුදුමයක් ද?
හොඳම විහිළුව බස්නාහිර පළාතේ වාර විභාග ප්‍රශ්න පත්‍ර විභාගයට කලින් අන්තර්ජාලයෙන් බාගත කර ගන්නට හැකි වීමයි.
අධ්‍යාපන පරිපාලනය වෙනුවෙන් තීරු බදු රහිත වාහන බලපත්‍ර වරප්‍රසාද එහෙම හිමි අධ්‍යක්ෂවරු පමණක් සිය ගණනක් සෑම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවක ම සිටිති. එහෙත් හරියට වාර විභාගයක් හෝ පවත්වා ගැනීමට ඔවුන්ට බැරි ය.
වාර විභාගයට දින ගණනකට පෙර ප්‍රශ්න පත්‍රය පමණක් නොව පිළිතුරු පත්‍රය ද සිසුන්ගේ ජංගම දුරකථනවල ය.
අප සතුව තිබෙන සාක්ෂි ආචාරධාර්මික හේතු මත මෙහි පළ නොකරන බව කරුණාවෙන් සලකන්න.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා