විජයකලාව හා හිට්ලර් මේනියාව එකම කාසියේ දෙපැත්තයි
දකුණේ ඉල්ලීම හිට්ලර් ය. ඒ හිට්ලර් වීමේ බලාපොරොත්තුව ගෝඨාභයයි. ඔහු ද හිට්ලර් නොවන බවක් කියා නැත.
උතුරට ඕනෑ කර තිබෙන්නේ ප්‍රභාකරන් කෙනෙකි. තවම එවැන්නෙකු මතු වී නැත. ඇත්තේ ෆැන්ටසියකි.
අපේ සමාජයට මේ සිදු වී තිබෙන්නේ කුමක් ද?
පසුගිය වසර තුනහමාර තුළ අප සමාජයක් ලෙස ප්‍රජාතන්ත්‍රවාදය එපා වන තැනට තල්ලු වූයේ ඇයි?
රටේ අපරාධ බහුල වී ඇතැයි බොහෝ දෙනෙක් සිතති. එහෙත් විකුණාගෙන කන්නට දේ නැතිව වේලෙන ජනමාධ්‍යවලින් මතු කර පෙන්වන තරම් උග්‍ර තත්වයක් තිබේ ද යන්න පොලිස් සංඛ්‍යාලේඛනවලින් විමසිය යුතු ය.
යුද්ධයේ අවසානයෙන් පසු උතුරේ සිදු වන බොහෝ දේවලට හේතුව දරුණු පීඩනයකින්, මර්දනයකින් නිදහස් වීමෙන් පසු ඇති වී තිබෙන තත්වය හා ගලා එන ප්‍රාග්ධනය සමග සිදු වන සමාජ විපර්යාසයයි.
ඒ පිළිබඳ සමාජ ක්‍රියාකාරිකයකු වන හෂිත අබේවර්ධන තම අත්දැකීම් ඔස්සේ කරන මේ පැහැදිලි කිරීම කියවන්න.
විජයකලා ගේ කටින් පැන්නේ එහෙ තියෙන සාමූහික විඥානය. පහුගිය අවුරුදු ගානක් ම ප්‍රජාවන් එක්ක වැඩ කරනකොට ඒවා ඇහුණා. එක අතකින් නීතිය, පොලිසිය, රාජ්‍ය සේවය අකාර්යක්ෂම වුණා. අනෙක් අතින් සාමාන්‍ය අපරාධ වැඩි වෙනකොට මිනිස්සු කිව්වේ එල්ටීටීඊ එක ඉන්න කාලේ මෙහෙම නෑ, ඉක්මනට විසඳුම් දෙනවා, අපරාධ වුණේ නෑ කියලයි. (එතකොට එයාලා පොලිසියක් දැම්මේ ඇයි කියලා අහන්න වෙනවා, විස්වමඩු වල හිරගෙවල් තිබුණේ ඇයි කියලා අහන්න වෙනවා).
එල් ටී ටී ඊ එක වියෝජනයෙන් පස්සේ තවත් වුන දෙයක් තමයි එතෙක් එහෙට ආගන්තුක අපහසු දෙයක් වුන පාරිභෝජනවාදය ඉතා වේගයෙන් ගලපු එක. පිටින් ආව අය හා තාක්ෂණය නිසා ‘අපේ උත්තුංග සංස්කෘතියට’ කෙළ වුණා කියලා බොහොම දෙනෙක් කියනවා. පිටින් ආව අය ගෑනුන්ගේ බඩට දරුවන් දීලා මාරු වුණා. (11,700ක් යුද වැන්දඹු කාන්තාවන් ඉන්නවා කිළිනොච්චි හා මුලතිව්) දැන් දැන් පිට සිරිතක් වුන ලිවින් ටුගෙදර් වැඩි වෙලා කියලා වැඩිහිටියෝ කියනවා. ඉන්දියානු නිවාස යෝජනා ක්‍රමයේ ශ්‍රම හිලව්ව ට අල්ලපු ගෙදර අයියා උදව් කළ නිසා ගැබ්බර වූ කතුන් බහුලයි.
ඔය අස්සේ පිරිමින්ට ගෙවන පඩියෙන් බාගයයි ගෑණුන්ට ගෙවන්නේ. පිරිමින්ට ඒ නිසා කුලී වැඩ ලැබෙන්නේ නෑ. ඇතැමුන් කරන්නේ ආතල් ගන්න කෂියා ගහන එක. එහෙම නැත්තම් පොඩි ළමයින්ට අපචාර කරන එක.
මේ ඔක්කොම එල්ටීටීඊ එක නැති නිසා කියල කියන්න තරම් ඒ අය සාහසික වෙන්නේ ‘තමන්ගේ එකාගේ පීඩනය’ සෝක් කියලා හිතන නිසා. කුල ක්‍රමය නැවත සොයා ගැනීමකුත් මේ අස්සේ තියෙනවා. එල්ටීටීඊ එකෙන් බේරෙන්න ඕනම කුලයකින් බන්දලා දුන්න අය වෙන්වෙලා යනවා. තමන්ගේ කුලයේ අය හොයා ගන්නවා.
අපි මේ සංකීර්ණතා කිට්ටු වෙලා බලනකොට තමයි විජයකලා ගේ ප්‍රකාශය උපදින තැන අහුවෙන්නේ.
මේ වෙනස්කම්වල ප්‍රතිපලයක් විදිහට ගෑණු අයට ආචීර්ණ කල්පික නීති පනවන්න, වැඩිහිටි අයගේ බලය තහවුරු කරන්න ලොකු උත්සාහයක් තියෙනවා. ඔය අස්සේ කසිප්පු ජනප්‍රිය වෙලා තියෙනවා. කිළිනොච්චිවල ගමක් තියෙනවා ධර්මපුරම් කියලා. ඒ ගම ප්‍රසිද්ධ කසිප්පු වලට. දැන් කරකියා ගන්න දෙයක් නැති මිනිස්සු-ගෑණු මේ ඔක්කොම පටවන්නේ එල්ටීටීඊ එක පරාජය වීම නිසා ඇති වුනු හිඩැසට. විජයකලා මේ සමස්තයේ මවුත්පීස් එකක් විතරයි.
ලංකාවෙ සමාජයට ප්‍රජාතන්ත්‍රවාදය දරා ගැනීමේ අපහසුවක් තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය නිසා සිදු වුණ ලොකුම අලකලංචිවලින් එකක් තමයි ආණ්ඩුව රජයට කරන ඇඟිලිගැසීම් අවම වුණ එක. එහෙම වුණාම රාජ්‍ය ආයතන ශක්තිමත් විය යුුතු වුණත්, සිදුවුණේ අනෙක් පැත්ත. රාජ්‍ය ආයතන කළමනාකරණය, පරිපාලනය කරන නිලධාරීන් තමන්ට ලැබුණු ස්වාධීනත්වය කාර්යක්ෂම ලෙස භාවිතා කරන්නට අසමත්. එයට මූලික හේතුව තමයි ඔවුන් කාලයක් තිස්සේ හුරු වී සිටි ක්‍රමය. ඒ කියන්නෙ දේශපාලකයන් පසුපස යාම. ඒ වගේ ම පසුගිය සමය පුරා ම රාජ්‍ය අංශයේ වැඩියෙන් ඉදිරියට ආවේ දේශපාලන, නිලධාරි හිතවත්කම් මත අවස්ථා ලද අදක්ෂයන්. ඔවුන්ට ස්වාධීන රාජ්‍ය සේවයක් කළමනාකරණය, පරිපාලනය කරන්නට අවශ්‍ය හැකියාවන්, ධාරිතාවන් නැහැ.
අනෙක් පැත්තෙන් අපේ රටේ ජනතාවත් ප්‍රජාතන්ත්‍රවාදය සලකන්නේ වල්බූරු නිදහසක් ලෙසයි. අධ්‍යාපනය, මාධ්‍ය විතරක් නෙමෙයි, ආගම් විසින් පවා ප්‍රවර්ධනය කරන පාරිභෝජනවාදය නිසා හැමෝට ම අවශ්‍ය ඉක්මණින් ධනවත් වෙන්න. අඩුවෙන් වැඩ කරලා වැඩියෙන් සැප විඳින්න. ඒ සඳහා ජනප්‍රිය මාර්ග තිබෙනවා. දේශපාලනය, දොස්තර කෙනෙකු වෙන එක, ටියුෂන්, ආගමික බිස්නස්, පිරමිඩ් ජාවාරම්, ගිනි පොළී, ජ්‍යෝතිෂය, කට්ටඩි වැඩ විතරක් නෙමෙයි, ලෙඩ රෝග ක්ෂණිකව සුවපත් කරන ප්‍රාතිහාර්යකාර හොර වෙද්දුත් මේ රටේ වැහි වැහැලා තිබෙන්නෙ මෙම සංදර්භය තුළයි.
ඉක්මණින් ධනවතුන් වෙන්නට කැමති එක් පිරිසක් මංකොල්ලකනවා. කම්සැපෙහි ලොල් තව පිරිසක් මල් කැකුළු තලනවා. පොලිසිය, අධිකරණය එහෙම නීති ක්‍රියාත්මක කරනවා. ඒත්, කලින් වගේ නීතියට පිටින් ගිහින් කරනු ලබන මර්දනයන් අවමයි. එහෙම කරන අයට එරෙහිව පවා නීතිය ක්‍රියාත්මක වෙනවා. හැබැයි ඉතින් නීතියේ සිදුරු තිබෙනවා.
මෙම තත්වය අප සියලුදෙනා විසින් නිර්මානය කරගන්නා ලද ගොහොරුවක් බව කවුරුත් අමතක කරනවා. මෙම තත්වය වෙනස් කරන්නට නම් කළ යුතුව තිබෙන්නේ රාජ්‍ය ක්‍රමයට සිදු කළ වෙනස එහෙමම තබාගෙන එහි අඩුපාඩු හඳුනාගෙන අවශ්‍ය තැන් ශක්තිමත් කිරීමයි. උදාහරණයක් ලෙස අධිකරණයේ ඇති නඩු පමාව වැනි නීතියේ ආධිපත්‍යය කෙරෙහි විශ්වාසයට බලපානවා. ඒ වගේ ම, පොලිසිය ප්‍රජාතාන්ත්‍රික රාමුවක් තුළ කාර්යක්ෂම කළ හැකි වන පරිදි නිලධාරීන්ගේ හැකියාවන් ගොඩනැගිය යුතුයි.
සමාජ ආකල්ප හා චර්යාවන් වෙනස් කිරීමත් ඒ හා සමාන ම වැදගත්කමකින් යුක්තයි. ඒ වෙනුවෙන් අද වන විට නිවැරදිව මාධ්‍ය භාවිතා වන්නේ නැහැ. ඔවුන් එක පැත්තකින් රටේ සිදුවන අපරාධ ආධිය අධි සංවේදී ලෙස ඉදිරිපත් කරනවා. අනෙක් පැත්තෙන් රටේ ප්‍රජාතාන්ත්‍රික පදනම් අර්බුදයට පත් වන ආකාරයේ වාර්තාකරණයක යෙදෙනවා. හිට්ලර්ලා ප්‍රවර්ධනය කරනවා.
මේ අතර, කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් නම් වන කොටි සංවිධානය විසින් මරා දමන ලද සැමියකුගේ වැන්දඹු බිරිය ද එල්.ටී.ටී.ඊ. සංවිධානය නැවත ගොඩනැගිය යුතු බවට වහසි බසක් දොඩනවා. ඇගේ දරුවන්ගේ පියා කෘර ලෙස ඝාතනය කළ සංවිධානයක් විසින් දෙමළ දරුවන් ආරක්ෂා කරනු ඇතැයි ඇය කියනවා.
විජයකලා මහේෂ්වරන්ගේ දැන් යළි කොටින් නැගිටුවන්නට කතා කරන්නේ දැරියක දූෂණය කර මරා දැමීමේ සිද්ධියක් හේතු කරගෙන සංවේදී වෙමින් වුණත්, ඇගේ දෙබිඩිබව හෙළිදරව් වන තවත් සිද්ධියක් වන්නේ විද්‍යා දැරිය ඝාතනය කළ ප්‍රධාන විත්තිකරු වූ ස්විස් කුමාර් නමැත්තාට පොලිස් අත්අඩංගුවෙන් ගැලවී සිටින්නට උපකාර කළ බවට ඇයට එරෙහිව චෝදනා එල්ල වීමයි.
මේ කතාවත් හිට්ලර් කෙනෙකු වී රට හදන්නැයි ගෝඨාභයගෙන් කළ ඉල්ලීම වගේ ම මෝඩ කතාවක් බව අමුතුවෙන් කිව යුතු නැහැ. හැබැයි මේ මෝඩ අදහසට සමාජයේ ඉල්ලුමක් තිබෙනවා. අපි හිතනවා මෝඩකම අපේ අයිතිවාසිකමක් ය කියලා.
Comments
Post a Comment
මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.