හොඳ පොදු ප්‍රවාහනයක් වෙනුවෙන් අරගල කරන්නට ඔබත් එන්න


ඇය සුරැකි ගමනක ද?
හොඳ පොදු ප්‍රවාහන සේවාවන් වෙනුවෙන් අරගල කිරීම යහපත් සමාජයක් සඳහා වන අරගලයේ වැදගත් අරමුණක් ලෙස මම සලකමි.
පොදු ප්‍රවාහනය යනු සමාජවාදී සංකල්පයකි. එය ඉන්ධන වැනි වටිනා සම්පත් පිරිමසයි. පරිසර දූෂණය අවම කරයි. බෙදා හදා ගත් ප්‍රවාහනයකට හා පොදු ජීවිතයකට මිනිසුන් පොළඹවයි.
හොඳ පොදු ප්‍රවාහන පද්ධති නැති කල මිනිස්සු පෞද්ගලික ප්‍රවාහන මාදිලිවලට පෙළඹෙති. එය සම්පත් නාස්තියට, පරිසර දූෂණයට හා මාර්ග තදබදයන් හේතුවෙන් නිර්මානය වන කාලකණ්ණිකමට හේතු වෙයි.
කාන්තාවන්ට හා ගැහැණු ළමයින්ට ද සුරක්ෂිත වීම හොඳ පොදු ප්‍රවාහනයක මූලික ලක්ෂණයකි. ලංකාවේ වයස අවුරුදු 15-35 අතර කාන්තාවන්ගෙන් 90%ක් එක් වරක් හෝ පොදු ප්‍රවාහනයේදී ලිංගික හිංසනයට ලක් වී ඇති බව 2015දී එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල විසින් කරන ලද අධ්‍යයනයකින් හෙළි විය. එය කාන්තාවන්ගේ හා ගැහැණු ළමයින්ගේ හැකියාවන් මල්ඵල ගැන්වීමෙහි ලා සමස්තයක් ලෙස බලපාන අතර විශේෂයෙන් ම ගැහැණු ළමයින්ගේ අධ්‍යාපනයටත්, කාන්තාවන්ගේ රැකියා නියුක්තියටත් අහිතකර ලෙස බලපායි. 
ලංකාවේ ධාවනය වන බස්වලින් 99%ක් ම ලොරි චැසිවලට බොඩි ගසා සකසා ගත් මගී ප්‍රවාහනයට නුසුදුසු බස් බව ජාතික ගමනාගමන කොමිෂම පවසයි. බස් නියාමනය සඳහා ජාතික ගමනාගමන කොමිෂම හා පළාත් සභාවලට අයත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරී තිබේ. ඒවා විසින් බස් සඳහා මාර්ග බලපත්‍ර ලබා දෙන්නේ කොන්දේසි හතළිස්ගණනකට යටත්ව ය. එහෙත්, බස් හිමිකරුවන් හා බස් සේවකයන් ඒවා අමු අමුවේ උල්ලංඝනය කරති. බස් හා නීති ගැන හොඳ ලිපියක් පසුගියදා සිළුමිණ පුවත්පතේ පළ විය. එය කියවන්න.
දුම්රිය ගැන කතා කරන්නට දෙයක් නැති තරම් දුම්රිය සේවාව පසුගාමී ය.
විධිමත් කාලසටහන්වලින් හා මනා නියාමනයකින් තොරකමත්, බස් සේවකයන්ගේ වෘත්තිකභාවයේ ගැටලුත්, පොදුවේ සේවා සම්පාදනය ඉතා අවිධිමත් වීමත් හේතුවෙන් මේ වන විට මගීහු පොදු ප්‍රවාහනයෙන් ඈත් වෙමින් සිටිති. කාර්යාල සේවකයෝ වැඩි වැඩියෙන් කාර්යාල ප්‍රවාහන සේවා වෙත නැඹුරු වෙමින් සිටිති. විශේෂයෙන් ම ගම්බද මාර්ගවල කෙටි දුර සඳහා කාන්තාවන් පවා ස්කූටර් වැනි වාහන යොදා ගැනීම වැඩි වෙමින් තිබේ.
පසුගියදා බස් ගාස්තුව 12.5%කින් වැඩි කරන ලද මුත්, මගීන් සංඛ්‍යාව 10%කින් පහත වැටී ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසයි. බස් කර්මාන්තය කඩා වැටීමේ අවදානමක ඇති බව ජාතික මාර්ග ආරක්ෂණ සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ පෙන්වා දෙයි.
කාන්තාවන්ට හා ගැහැණු ළමයින්ට ද සුරක්ෂිත, විධිමත් පොදු ප්‍රවාහන සේවාවක් සඳහා අරගල කිරීමට අවශ්‍ය දැනුම, ආකල්ප හා ශක්තිය ගොනු කර ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල විසින් මාධ්‍ය වැඩමුළුවක් සංවිධානය කර තිබේ. හොඳ පොදු ප්‍රවාහනයක් වෙනුවෙන් අරගල කිරීමට කැමති මාධ්‍යකරුවකු, සමාජ මාධ්‍යකරුවකු නම් ඔබත් එක්වන්න.
මාධ්‍ය වැඩමුළුවේ විස්තර මෙසේ ය:
දිනය: 2018 ජුනි 13දා, බදාදා
වේලාව: පෙ.ව. 8.30 – ප.ව. 1.30
ස්ථානය: පෙ.ව. 8.30ට පොදු ප්‍ර‍වාහනය පිළිබඳ අත්දැකීම් බෙදාගැනීමේ ප්‍රායෝගික නාට්‍යමය වැඩසටහනක් කොළඹ 7, බෞද්ධාලෝක මාවතේ, අංක 202-204, එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී පැවැත්වේ. වැඩමුළුව පැවැත්වෙන්නේ කොළඹ 4, ක්ලිෆඩ් පෙදෙසේ ඕසෝ හෝටලයේදී ය (Ozo Hotel). එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ සිට ප්‍ර‍වාහන පහසුකම් සැපයේ. (පෞද්ගලික වාහන සඳහා නැවැත්වීම් පහසුකම් නැති බව කරුණාවෙන් සලකන්න.)
භාෂා මාධ්‍යය: සිංහල 
ඉඩකඩ සීමිත බැවින් කරුණාකර පහත සබඳතාව ඔස්සේ අන්තර්ජාලය හරහා ලියාපදිංචි වන්න.
කාන්තාවන්ට සුරක්ෂිත පොදු ප්‍ර‍වාහනයක් උදෙසා පෙනී සිටිමු.
මාධ්‍ය වැඩමුළුව
න්‍යාය පත්‍ර‍ය
08:30 – 09:00 : කොළඹ 7, බෞද්ධාලෝක මාවතේ, අංක 202-204, එක්සත් ජාතීන්ගේ මූලස්ථානය වෙත පැමිණීම, ලියාපදිංචිය සහ සංග්‍ර‍හය
09:00 – 10:00 : නාට්‍යමය ක්‍රියාකාරකම
10:00 – 10:30 : OZO හෝටලය වෙත ළඟාවීම හා තේ පැන් සංග්‍ර‍හය (එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ සිට සියලු දෙනාට ප්‍ර‍වාහන පහසුකම් සපයනු ලැබේ.)
10:30 – 10:35 : පිළිගැනීමේ කතාව
10:35 – 10:45 : එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ නියෝජිත රිට්සු නකේන් මහත්මියගේ කතාව
10:45 – 11:00 – පොදු ප්‍ර‍වාහනයේදී කාන්තාවන්ට මුහුණ දීමට සිදු වන හිංසනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල විසින් සිදු කරන ලද සමීක්ෂණයේ සොයාගැනීම් හඳුන්වා දීම – ශාරිකා කුරේ, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ ජාතික වැඩසටහන් විශ්ලේෂිකාව
11:00 – 12:00 – සාකච්ඡා සභාව (විශේෂඥ මණ්ඩලයේ අදහස් දැක්වීම් එක් අයෙකු විනාඩි 12 බැගින්)
12:00 – 12:55 : ප්‍ර‍ශ්න හා පිළිතුරු සැසිය
විශේෂඥ මණ්ඩලය:
  1. උදේනි තෙවරප්පෙරුම මිය, ව්‍යාපෘති උපදේශක, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල – පොදු ප්‍ර‍වාහනය හා සම්බන්ධ ස්ත්‍රී පුරුෂ සමාජභාවී කාරණා
  2. වෛද්‍ය සිසිර කෝදාගොඩ මයා, සභාපති, ජාතික මාර්ග ආරක්ෂණ සභාව – පොදු ප්‍ර‍වාහනයේ ප්‍ර‍මිති
  3. ලක්ෂි සඳමිණි විජේන්ද්‍ර‍ මිය, සහකාර අධ්‍යක්ෂ – තත්වාරක්ෂණ හා බාහිර සම්බන්ධතා, ජාතික ප්‍ර‍වාහන කොමිෂම – පොදු ප්‍ර‍වාහනය සම්බන්ධයෙන් නියාමන යාන්ත්‍ර‍ණයන්ගේ වගකීම
  4. චන්දිම පුංචි බණ්ඩාර මයා, සහකාර අධ්‍යක්ෂ, ප්‍ර‍වාහන අමාත්‍යාංශය – පොදු ප්‍ර‍වාහනය සඳහා ප්‍ර‍තිපත්ති සංවර්ධනය
  5. මංජුල සමරසේකර මයා, මාධ්‍යවේදී, ලේක්හවුස් ආයතනය – සුරක්ෂිත පොදු ප්‍ර‍වාහනයක් වෙනුවෙන් බලපෑම් කිරීමෙහිදී මාධ්‍ය කාර්යභාරය
*සත්‍ය බස් රියදුරකු සහ කොන්දොස්තරවරයකු ද මෙම සැසියට සහභාගි වනු ඇත.
12:55 – 13:00 – ස්තුති කතාව
13:00 – දිවා භෝජනය

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා